HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සාප්පුවලට ඔත්තු බලන ඩමි මෝස්තර නිරූපිකාවන් ඇවිත්! රෙදි තෝරන්න සාප්පු යන්නේ බලා ගෙනයි!

රෙදි සාප්පුවල, විලාසිතා මන්දිරවල, කවුළුවල, රෙදිපිලි ප‍්‍රදර්ශනාගාරවල ඔබේ නෙත් සිත් ඇද ගන්නා ඩමි නිරූපිකාවන්, ඩමි විලාසිතාවියන්, අජීවී මෝස්තරකාරියන් ඔබ කොතෙකුත් දැක ඇති. ඒවා දෙස ආසාවෙන් බැලූ අවස්ථාත් ඕනෑ තරම් ඇති.

ඒත් පරිස්සම් වෙන්න! මේ විදියේ ඩමි දැන් ඔබේ තොරතුරු සපයන ඔත්තුකාරියන් වෙලා! ඔබ ගැන තොරතුරු සපයන්න ඔවුන්ගේ එක් ඇසකට දැන් වීඩියෝ කැමරාවක් සවි කරලා. සාප්පුකාරයාට ඒ මගින් දැන ගන්න පුළුවන්, ඔබ කොයි වගේ කෙනෙක්ද, වැඩිපුර මිල දී ගන්න කැමති මොන වගේ දේවල්ද යනාදී තොරතුරු.

ගුවන්තොටුපළවල ආරක්ෂක පද්ධතීන්වලට යොදන, අපරාධකරුවන් හඳුනා ගන්න භාවිත කරන තාක්ෂණයයි, මේ ඩමි විලාසිතාවියන්ටත් යොදා ගෙන තියෙන්නෙ.

පිටතින් බැලූ විට මේ ඩමි විලාසිතාවියන් අනෙක් සාමාන්‍ය ඒවා වගේමයි. ඒත් එහි එක් ඇසකට වීඩියෝ කැමරාවක් සවිකර තියෙනවා. ඒ සාප්පුවට යන එන අයගේ වයස, ගැහැනු-පිරිමි බව හා ඔවුන් අයත් වන්නේ කුමන ජනවර්ගයටද කියාත් දැන ගත හැකි, මුහුණු අඳුනාගත හැකි, මෘදුකාංගයක්ද ඊට එක්කර තියෙනවා. මේ විශේෂ ‘අයිසී’ (EyeSee) ඩමි විලාසිතාවියක් ඩොලර් 3,200ක් තරම් මිලකට අලෙවි කරන බවයි, ඒවා නිපදවන ඇල්මැක්ස් ආයතනය කියන්නේ.

 
අයිසී ඩමි විලාසිතාවියගේ ඇසකට රහස් කැමරාවක් සවිකර තියෙනවා, සාප්පුවට යන එන අය ගැන ඔත්තු බලන්න. විලාසිතා තෝරන්න, මිලට ගන්න එන අය ගැන සාප්පුහිමියාට රහසේ තොරතුරු සපයන්න.

මෙසේ ලබා ගන්නා තොරතුරු පරිගණකයට ලබා දී ඒවා ක‍්‍රමවත්ව විශ්ලේෂණය කර ඒ සාප්පුවට බඩු මිලදී ගන්න එන අනුග‍්‍රාහකයන් ගැන පොදු අදහසක් ලබා දීම තමයි, මේ ‘ඔත්තු බැලීමේ’ අරමුණ කියල ඔවුන් කියන්නෙ. ඒ මගින් අලෙවිය වැඩි කර ගන්නට වෙළඳ ක‍්‍රමෝපායයන් සකසා ගන්නත් පාරිභෝගිකයන්ට අවශ්‍ය පහසුකම් වැඩි කර දෙන්නත් හැකි වේවි කියලයි ඔවුන් විශ්වාස කරන්නෙ.

සාප්පුවට වැඩිපුරම එන්නෙ කොයි වගේ අයද වැඩිපුර සෙනග එන්නේ කුමන වේලාවන්වල දීද විලාසිතා ප‍්‍රදර්ශනාගාරයේ ගැනුම්කරුවන් තෙරපෙන්නේ කුමන තැන්වලද කියා දැන ගන්න සාප්පුව අයිතිකාරයාට පුළුවන්. ඒ වගේම හොරකම් කරන්න එන අය අල්ලා ගන්නත් සාප්පුකාරයාට හැකි වෙනවා.

ඒත් මිනිසාගේ පුද්ගලික නිදහස අගය කරන අය කියන්නේ මේ ක‍්‍රමය ගැනුම්කරුවන්ගේ අවසරයක් නැතිව මෙසේ ඔවුන් ගැන රහසේ තොරතුරු සොයන එක විශාල වරදක් බවයි. සාප්පුකාරයාගේ ලාබය වැඩි කර ගන්න අරමුණින් මේ විදියෙ දෙයක් කරන එන අපරාධයක් කියලයි ඔවුන් අවධාරණය කරන්නෙ.

මේ මෙවලම වෙළඳපළට හඳුන්වා දී ඇත්තේ ඇල්මැක්ස් (Almax) කියන ඉතාලි ඩමි විලාසිතාවියන් තනන සමාගම විසිනුයි. දැනටමත් ඔවුන් ලොකු සාප්පුවල කවුළු ප‍්‍රදර්ශනයටත්, ප‍්‍රදර්ශනාගාර අලංකාර කරන්න තැනින් තැන තියන්නත්, ප‍්‍රචාරක කටයුතුවලටත් ඒ ඒ කාර්යයට සරිලන අයුරින් මේවා සකස් කරලා දීලා තියෙනවා.

මේ විදියට ගැනුම්කරුවන් වීඩියෝ ගත කිරීම අලූත් දෙයක් නෙවෙයි. ඔබ බැංකුවක ඒටීඑම් කුටියකට ගියොත් ඒ බව දැක ගන්න විශේෂ වීඩියෝ කැමරා එහි සවි කර තියෙනවා. ඒත් ඇල්මැක්ස් ආයතනය කියන්නේ මේ ඩමි විලාසිතාවියන් යොදා වීඩියෝ කිරීම අලූත් දෙයක් කියලයි. මේ ක‍්‍රමයට ගැනුම්කරුවන්ගේ ඇස් මට්ටමින්, ඔවුන්ට වඩාත් සමීපව හිඳගෙන රූ ගත කිරීම් කළ හැකියි. සමහර ගැනුම්කරුවන් නොදැනුවත්වම කැමරාවට කෙළින්ම මුහුණ දෙන නිසා ඔවුන් පිළිබඳ තොරතුරු ඉතා හොඳින් හා පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

මේ වීඩියෝ ආවේක්ෂණ ඩමි විලාසිතාවියන් දැනට වසරක පමණ කාලයක් තිස්සේ ඇමෙරිකාවේ හා යුරෝපයේ රටවල් තුනක සාප්පුවල සිට ඔබ සාප්පු සවාරි යන දෙස බලා ඉන්නවා.

ඇල්මැක්ස් කියන්නේ මේ තොරතුරුවලින් සාප්පු හිමියන් දැනටමත් විශාල වශයෙන් ප‍්‍රයෝජනය ගන්නා බවයි. මේ ඩමි විලාසිතාවියක් සවි කර මුල් දින දෙකේදිම, එක සාප්පුවකින් සොයා ගෙන තියෙනව, එහි බඩු ගන්න එන අය අතරින් කාන්තාවන්ට වඩා වැඩියෙන් මුදල් වැය කරලා තියෙන්නේ පිරිමින් බව.

තවත් සාප්පුවක් ළමයින් වෙනුවෙන් වෙනම ම කොටසක් විවෘත කළා, එහි සවස්වරුවේ වැඩියෙන් එන්නේ ළමයින් බව දැන ගත්තාට පසුව.

තව සාප්පුකාරයෙක් චීන කතා කරන සාප්පු සේවකයන් යෙදෙව්වා එක් දොරකට ඒ දොරෙන් සවස හතරෙන් පස්සෙ ආ අයගෙන් තුනකට එකක් චීන ජාතිකයකු බව හෙළිවුණාට පස්සෙ.

ඇල්මැක්ස් ප‍්‍රධාන විධායක මැක්ස් කැටනීස් කැමති වුණේ නෑ මේ ඩමි විලාසිතාවියන් දැනට යොදවලා ඇති සාප්පු මොනවාද කියා කියන්න. ඒ බව රහසක්ව තබා ගන්න බවට සාප්පුකරුවන් සමග ඇති ගිවිසුමක් ඇති කර ගෙන තියෙන නිසා.

කැටනීස් කියනවා, සාප්පුකරුවන් මේ ක‍්‍රමයට කැමති නිසා ඉදිරියේ දී මේ තත්වය වැඩි දියුණු කර ගැනුම්කරුවන් රෙදිපිළි ඇඳුම් පැලඳුම් තෝරන ගමන් කරන කතාබහට ‘හොරෙන්’ ඇහුම්කන් දෙන්නත් හැකි වන විදියට මේ ඩමි සකසන්න ඔවුන් බලාපොරොත්තු වන බව.

 
මේ ඩමි විලාසිතාවියන්ගේ එක් ඇසක් පසුපසට වීඩියෝ කැමරාවක් සවි කර තියෙනවා, ඒ සාප්පුවට යන එන අයගේ වයස, ගැහැනු-පිරිමි බව හා ඔවුන් අයත් වන්නේ කුමන ජනවර්ගයටද කියාත් දැන ගත හැකි, මුහුණු අඳුනාගත හැකි, මෘදුකාංගයක්ද ඊට එක්කර තියෙනවා.

ඇල්මැක්ස් අවධාරණය කරනවා, මේ ක‍්‍රමයට සාප්පු යන්නන්ගේ පුද්ගලිකත්වයට කිසිසේත් හානි නොවන බව. මේ ඩමි විලාසිතාවියන්ගේ ඇස්වල කැමරා සවි කර තිබුණාට ඒවා රූප පටිගත නොකරන බවයි, ඔහු කියන්නේ. ඒ කැමරාවලින් දකින තොරතුරු එසැණ එය හා සම්බන්ධ කර ඇති මෘදුකාංගය මගින් ලබා ගන්නවා මිස ඒ රූප පටිගත කර තබා ගැනීමක් සිදු වන්නේ නෑ.

එය කි‍්‍රයාත්මක වන ආකාරය ගැන ඔහු මෙසේ නිදසුනක් ගෙන හැර පානවා. ”හිතන්න මම මේ ඩමි විලාසිතාවියක් ඉදිරියෙන් ගියා කියලා. එහි සටහන් වන්නේ ‘කොකේසියානු ජාතික වැඩිහිටි පිරිමියෙක්, සවස 6.25ට ඒ ඉදිරියේ මිනිත්තු තුනක් රැඳී සිටියා’ කියා විතරයි. ඒ මම කියා හඳුනා ගන්න විදියක් එහි පටිගත වන්නේ නැහැ. ඒ නිසා සාප්පු එන්නන්ගේ අනන්‍යතාවට එහින් හානියක් වන්නේ නෑ.

”ලොව පුරා බොහෝ සාප්පුවල ඇති ආරක්ෂක කැමරා පද්ධතිවලට වඩා මෙය වෙනස්. ඒවාට ඔවුන්ට අවසර ලැබී තිබෙනවා. ඒත් මේ ඩමි විලාසිතාවියන්ගේ තත්වය ඊට වඩා වෙනස්. ඒ නිසයි අපි රූප පටිගත කිරීමේ පහසුකම ඔවුන්ට ලබා දී නැත්තේ.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
අයිසී පද්ධතිය මගින් මේ ක‍්‍රමයට ලබා ගත් තොරතුරු සාප්පුකරුවන් දැනටමත් ඔවුන්ගේ වෙළඳපොළ උපක‍්‍රම සකසා ගැනීමට යොදා ගෙන ඇතැයි මෙය නිපදවූ ඉතාලි සමාගම කියනවා.

ඒත් මේ කතාවලින් මානව කි‍්‍රයාකාරීන් නම්මා ගන්න ඔවුන්ට බැහැ. මානව කි‍්‍රයාකාරීන් කියන්නේ මොන අතින් බැලූවත් සාප්පුවලට යන එය අයගේ තොරතුරු ඔවුන්ට රහසින් රැුස් කරන එක වැරදියි කියලයි. එවැනි එක් ආයතනයක ප‍්‍රධානී එමා කාර් කියන්නේ, ”සාප්පුවක ඩමි නිරූපිකාවකගේ ඇස්වලට කැමරා සවි කර තොරතුරු රැස් කිරීම වංචාවක්, අපරාධයක්” කියලයි.

”වැඩි ලාබය තකා පාරිභෝගිකයාගේ කැමැත්ත නොගෙන කරන මේ වංචාවට ඉඩ දෙන්න බැහැ. පාරිභෝගිකයාට පහසුකම් සැලසීමේ මුවාවෙන් මේ කරන්නෙ මහා පරිමාණයේ වංචාවක්. මෙයින් පාරිභෝගිකයාට සැලැසිය හැක්කේ ඉතාමත් සුළු පහසුවක් විතරයි. එය ඔහු හෝ ඇය බලාපෙරොත්තු වන්නක් නෙවෙයි. ඊට වඩා විශාල හානියක් මෙයින් පාරිභෝගිකයාට සිදු වෙනවා.” ඇය වැඩිදුරටත් කියනවා.

ඒත් මේ වැඩ පිළිවෙළ මෙතැනින් නවතින්නේ නැහැ. සාප්පුවකට යන ඔබ දිහා බලා ඔත්තු සපයන්න, රහසේ ඔබ කියන දෙයට සවන් දෙන්න හදන නිරූපිකාවන්ටත් භයානක දෙයක් දැන් සිදු වෙමින් පවතිනවා. ඒ මාරක රොබෝලා යුද පිටියට ගේන්න සැලසුම් සැකසීමයි.

ඊළඟ වසර 20-30 ඇතුළත මිනීමරන්න සැලසුම් කළ රොබෝලා ලෝකයේ බලවත් රටවල යුද හමුදාවලට එක් වේවි. විද්‍යාඥ ඉසාක් ඇසිමොව්ගේ රොබෝලා සඳහා වූ නියමයන් තුනෙන් එකක් වූ මිනීමැරීම සඳහා රෝබෝලා සැලසුම් නොකළ යුතුය යන්න ලෝකයේ බලවත් රටවල් විසින් එවිට උල්ලංඝනය කරනු ඇති.

‘ටර්මිනේටර්’ වැනි චිත‍්‍රපටවල මිනීමරු රොබෝලා සිටියද තවමත් සැබෑ ජීවිතයේ එවැන්නකු නිර්මාණය කර නැහැ.

ඒත් යුද බිමේදී සිදු වන තමන්ගේ මිනිසුන්ගේ ජීවිත විනාශය අවම කරන්නට යුද බිමේදී භටයකු මෙන් සිතා අවශ්‍ය විට ස්වයං තීරණ ගෙන සතුරන් ඝාතනය කළ හැකි රොබෝලා තැනීම ගැන දැනටමත් යෝජනා එනවා. මිනිසාට වඩාත් අනතුරුදායක තැන්වල සටන් කරන්නට යොදවන අරමුණින් තමයි ඔවුන් මෙසේ යොජනා කරන්නේ.

 
‘ටර්මිනේටර්’ චිත‍්‍රපටයේ එන මිනීමරු රොබෝලා.

මේ බවට ඔවුන්ගේ අලූත්ම වාර්තාවකින් අනතුරු අඟවන ‘හියුමන් රයිට් වොච්’ ආයතනය අවධාරණය කර සිටින්නේ රජයන් විසින් එවැනි රොබෝලා තනන්න පෙර ඒවා තැනීම වළක්වා ලීමට නීති සම්මත කර ගතයුතු බවයි.

”මිනිස් පාලනයෙන් තොරව සම්පූර්ණයෙන් ම ස්වයං තීරණ ගනිමින් කි‍්‍රයා කළ හැකි මිනීමරු රොබෝලා තැනීම, ඒ සඳහා අත්හදා බැලීම, සපුරා තහනම් කෙරෙන, අන්තර් ජාතික ගිවිසුමක් ලෝකයේ සියලූ රටවල් එක්ව අත්සන් කළ යුතු යයි” කියන එම සංවිධානය එය ඉතා කඩිනමින් කළ යුත්තක් යයි අවධාරණය කරනවා.



Post a Comment

1 Comments

  1. ඇත්තටම හොද සොයාගැනිමක් වගේ. සොරකම් එහෙත් අඩු කරගන්න හැකි වෙයි.

    ReplyDelete