HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා කවරෙක්ද? ඔහු සුළු මුදලක් තියාගෙන මුළු පඩියම පිනට දෙනවා!

මේ කතාව එන්නෙ උරුගුවේ රටෙන්. ඒත් අපට කතාව ඇහෙන්නෙ එංගලන්තයෙන්. එංගලන්තයේ දේශපාලනඥයන් කීප දෙනකුටම පසුගිය වසර දෙක තුන තිස්සේ රාජ්‍ය මුදල් වංචාකිරීම් හා අනිසි ඉපැයීම් පිළිබඳ චෝදනා එල්ල වුණා. ඇතැම් අයට සිර දඬුවම් පවා නියම වුණා. ඒ බව වාර්තා කරන අතර ඬේලි මේල් පුවත්පතේ පළ වූ මේ විස්තරය මෙහෙම පළ කරන්න අප කල්පනා කළේ ඔබටත් හිතන්න දෙයක් මෙහි ඇති නිසයි.


ලෝකය පුරාම දේශපාලනඥයන් වැඩි දෙනකු සිය බලය හා පදවිය යොදවා අනිසි විදියට හම්බ කරන අය යයි සිතෙන තරමට ලෝක දේශපාලනයේ අල්ලස් හා දූෂණය ඉහවහ ගිහින් තියෙනවා. එහෙම තියෙද්දි ඇහෙන මේ කතාව වැදගත් ප‍්‍රවෘත්තියක් වෙන්නෙ මෙහි ඇත්තේ කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නිසයි.

මෙය වත්මන් උරුගුවේ ජනාධිපති ජෝසේ මුජිකාගේ කතාවයි. ඔහුට කවදාවත් දේශපාලනඥයකු හැටියට අනිසි විදියට මුදල් ඉපැයුවාය කියාවත්, බදු නොගෙවා රජයට වංචා කළාය කියාවත් චෝදනාවක් එල්ල වෙන එකක් නැහැ. වේතනය ලෙස ඔහු අතට ගන්නෙත් නියමිත වේතනයෙන් සියයට දහයක් විතරයි! වේතනයෙන් සියයට අනූවක් පුන්‍යකටයුතුවලට දෙනවා.

ප‍්‍රතාපවත් උරුගුවේ ජනාධිපති ජෝසේ මුජිකා බලයට ආවත් රටේ නායකයා හැටියට තමන්ගේ ජීවන රටාව ඒ විසිතුරු තනතුරට සරිලන්න වෙනස් කර ගෙන ජීවත්වෙන්න කැමති වුණේ නෑ. ඔහු තාමත් ගොවිපළක් කර ගෙන ඒකෙන් තමයි ජීවත් වෙන්නෙ.

ඔහු සුඛෝපභෝගීව ජීවත් විය හැකි, රජයෙන් වියපැහැදම් ලැබෙන ජනාධිපති මන්දිරය ඔහු ප‍්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු එරට අගනුවර වූ මොන්ටිවිඩියෝහී සිට සැතැපුම් කීපයක් ඈත ඔහුගේ බිරිඳට අයත් කුඩා ගොවිපළේ ඇති අබලන් වූ නිවසේ සිට රාජකාරියට එනවා.

රටේ රාජ්‍ය නායකයා එහි ඉන්නා බව දැන ගන්නට ඇති එකම සලකුණ, ඒ ගොවිපොළ කරා යන ට‍්‍රැක්ටර් යාම නිසා අබලන් වූ මාර්ගය කෙළවර, ආරක්ෂාවට ඉන්නා පොලිස් නිලධාරින් දෙපොළ පමණයි.

මුජිකාට මාසික වේතනය ලෙස ලැබෙන්නේ පවුම් 7,500ක සමාන මුදලක්. ඉන් සියයට 90ක් ම ඔහු පිනට දෙනවා. ඔහු අතට ගන්නේ තමන්ගේ වියදමට සරිලන සියයට 10ක් තරම් වන පවුම් 485ක් වැනි මුදලක් විතරයි.

උරුගුවේ රාජ්‍යයේ වත්මන් ජනාධිපති පදවිය හොබවන මේ අර්ධකාලීන ගොවියා සතු වටිනාම වස්තුව වන්නේ පැරණි පෙනුමක් ඇති ෆෝක්ස්වැගන් රථයක් හා එක් පාදයක් අහිමි වූ සිය සුරතල් සුනඛයා වූ මැනුවෙලාත් විතරයි.

ඔහු බීමට ජලය ලබා ගන්නේ ගොවිපළේ සාමාන්‍ය ළිඳකින් ඇද ගෙනයි. රෙදි සෝදා වේලා ගන්නේ රෙදි සෝදන යන්ත‍්‍රයකින් නොව ළිඳ අසල වූ වැලට දමා අව්වේ ආධාරයෙනුයි.

ජනාධිපතිවරයාගේගේ මේ අපිස් ජීවන රටාවට ලෝකයේ කිසිම රටක දේශපාලනඥයකුට ළං වීමටවත් බැරිය.

 
ප‍්‍රතාපවත් උරුගුවේ ජනාධිපති ජෝසේ මුජිකා බලයට ආවත් තමන්ගේ ජීවන රටාව වෙනස් කර ඒ විසිතුරු තනතුරට සරිලන්න ජීවත්වෙන්න කැමති වුණේ නෑ. ඔහු තාමත් ගොවිපළක් කර ගෙන ඒකෙන් ජීවත් වෙනවා.

 
මුජිකා ඔහුගේ තුන් පා සුරතලා, මැනුවෙලා නම් සුනඛයා සමග ගොවිපළේදී.

කලින් වාමාංශික විප්ලවවාදියකු වූ මුජිකාගේ සිතේ මුදල් රැුස් කර ගොඩගසා ගැනීමේ ආසාවක් නැත. ඔහු කියන්නේ තමාට ජීවත්වීමට හැමදේම තියෙන බවයි. ද්‍රව්‍ය සම්පත් හා මුදල් රැස් කිරීමෙන් සතුට ලබා ගත නොහැකි බවයි.

ඔහු පසුගියදා බීබීසී සේවයේ සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු කීවේ, ”මට ‘ලොව දුප්පත්ම ජනාධිපති’ කියා කියනවා. ඒත් මට එහෙම දුප්පත්කමක් නම් දැනෙන්නේ නැහැ. දුප්පත් මිනිස්සු කියන්නේ මිල අධික ජීවන ක‍්‍රමයක් පවත්වා ගෙන යන්න තව තවත් මදි යැයි කියමින් හම්බ කරමින් දඟලන අයටයි.” කියායි.

”මේක නිදහස පිළිබඳ කාරණයක්. ඔබ සන්තකව හුඟක් දේ නැති නම්, ඒවා සතු කර ගෙන පවත්වා ගෙන යාමට ජීවිතය පුරා ම වහලකු වාගේ වැඩ කරන්න අවශ්‍ය නැහැ. එවිට ඔබට ඕනෑ තරම් කාලය තියෙනවා ඔබ වෙනුවෙන් යොදා ගන්න.” ඔහු කියනවා.

”මාව පෙනෙන්න පුළුවන්, පිස්සු නාකි මිනිහෙක් හැටියට.... ඒත් මේක මගේ නිදහස් කැමැත්ත.”

විශාල ධනස්කන්ධයක හිමිකරුවන් වෙන්නට දේපළ වස්තුව රැස්කරන ලොව පුරා සිටින බොහෝ දේශපාලනඥයන්ට වඩා මුජිකා වෙනස් මිනිහෙක්. ඔහු පසුගිය වසරේ කළ වත්කම් ප‍්‍රකාශයට අනුව ඔහුගේ මුළු වටිනාකම පවුම් 135,000ක්. ඔහුගේ ගොවිපළත් අයිති බිරිඳටයි.

ඔහු ජනාධිපති පදවියට තෝරා පත් කර ගනු ලැබුවේ 2009 දියි. ඔහු 60 හා 70 දශකවල ටුපමාරෝස් නම් වූ උරුගුවේ ගරිල්ලා සටන් ව්‍යාපාරය හා එක්ව සිටි අයෙක්. ඒ කියුබානු විප්ලවයේ අනුප‍්‍රාණයෙන් මතු වූ විමුක්ති සංවිධානයක්.

ඒ කාලය තුළ ඔහු හය වතාවක්ම වෙඩි කෑවත් ඒ හැම එකකින්ම දිවි ගලවා ගැනීමට ඔහුට හැකි වුණා. 14 වසරක් සිරබත් කෑවා. එක් වතාවක් වසර දෙකකට වැඩි කාලයක් ළිඳක් තුළ සිරකරනු ලැබුවා. ඒ කිසිවකින් නොසැලූණු ඔහු 1985 දී උරුගුවේ රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසුණු පසු නිදහස ලැබුවා.

 
ඔහු කියන්නේ, ”මට ‘ලොව දුප්පත්ම ජනාධිපති’ කියා කියනවා. ඒත් මට එහෙම දුප්පත්කමක් දැනෙන්නේ නැහැ. දුප්පත් අය කියන්නේ මිල අධික ජීවන ක‍්‍රමයක් පවත්වා ගෙන යන්න තව තවත් මදි යැයි කියමින් හම්බ කරන අයටයි.”

මේ පරහිතකාමී නායකයා මේ වසරේ ජූනි මාසයේ දී එක්සත් ජාතීන්ගේ මෙහෙයවීමෙන් බ‍්‍රසීලයේ රියෝ ඩි ජනීරෝහී පැවති ‘රියෝ+20’ හෙවත් ‘2012 මිහිකත සමුළුවේ’දී ඊට සහභාගි වූ ලෝක රාජ්‍ය නායකයන් ඉදිරියේ ධනවාදයට එරෙහි සිය අදහස් ඉදිරිපත් කිරීමට පැකිළුණේ නැත.

”අද සවස් භාගය පුරාම අපි කතා කළේ තිරසාර සංවර්ධනයක් ගැන. දරිද්‍රතාවෙන් පෙළෙන වැඩි පිරිසක් වන ලෝක ජනතාව ඉන් මුදා ගැනීම ගැන.

”ඒත් අපි මේ ගැන මොනවද කල්පනා කරන්නේ? ධනවත් රටවල පරිභෝජන හා සංවර්ධන මට්ටම අපට අවශ්‍ය ද? මම දැන් ඔබෙන් අහන්න කැමතියි. ඉන්දියානුවන්ටත් ජර්මානුවන්ට ඇති පුද්ගලික මෝටර් රථ සංඛ්‍යාවට සමාන අනුපාතයකට මෝටර් රථ ලබා දුන්නොත් මේ මිහිමත තත්වය කෙබඳු වේවිද? මේ මිහිතලයෙහි අපට තවත් කොපමණ ප‍්‍රමාණයක් ඔක්සිජන් ඉතිරිව තිබේද?

”අද ධනවත් සමාජවල පවතින පරිභෝජන හා කසළ බැහැර කිරීමේ මට්ටමට සමානව ජීවත්වීමට සමස්ත ලෝක ජනගහනය වූ බිලියන හයකට හෝ හතකට හෝ ප‍්‍රමාණවත් සම්පත් මේ මිහිමත තිබේද? අපේ මේ පොළොවට හානි පමුණුවන්නේ ධනවාදී සමාජවල ඇති මේ මට්ටමේ අධි පරිභෝජන රටාවයි. පිළියමක් යෙදිය යුත්තේ එයටයි”

දැවැන්ත මහජන කැමැත්තක් ඇතිවයි වසර තුනකට පෙර ඔහු ජනාධිපති වශයෙන් තේරී පත් වුණේ. එහෙත් පසුගිය දා ඔහු විසින් ගන්නා ලද අර්බුදකාරී පියවර දෙකක් නිසා ඔහුගේ ජනපි‍්‍රයත්වය අඩුවෙමින් පවතින බවයි කියන්නේ.

පළමුවැන්න, සති 12ක් යන තෙක් ගබ්සා කිරීමට නීතියෙන් අවසර දීමට ගෙනා පාර්ලිමේන්තු පනත ප‍්‍රතික්ෂේප කිරීමයි. දෙවැන්න, කංසා වැවීම නීතිගත කිරීම පිළිබඳව විවාදයකට අවසර දීමයි. මේ කරුණ දෙක පිළිබඳව ජනතාව අතර මතභේද පවතිනවා.

ජනාධිපතිවරයා ඒ ගැන වද වෙන්නේ නෑ. උරුගුවේ රටේ නීතිය අනුව 2014 දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඔහුට ඉදිරිපත් වෙන්න ඉඩක් නැහැ. ඒ නිසා ඔහුට මෙයින් නිදහස්ව සම්පූර්ණයෙන් ම ගොවිපළේ කටයුතුවල යෙදෙන්න පුළුවන්.

 
මුජිකා ඔහුගේ මාසික වේතනයෙන් සියයට 90ක් පිනට දෙනවා. ඉතිරි සියයට 10 තමයි ජීවත්වීමට වැය කිරිමට අතට ගන්නේ

 
ජෝසේ මුජිකා ජනාධිපති පත් වුනත් දේශපාලනයට පිවිසියේ ගරිල්ලා සටන්කාමියකු ලෙසයි.



Post a Comment

8 Comments

  1. අනේ ඒකටත් එක්ක අපේ ජනාදිපති තුමා.. අපිට ලැම්බොගිනි දෙනවා නෙව :D :D ‍

    ReplyDelete
  2. මේ ගැන නම් ලිපි ගනණාවක්ම ලංකාවේ පත්තර වල ගියා.ඒත මේ ලිපියේ කරුණ එයට වඩා හොඳයි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  3. This should be posted to our president!

    ReplyDelete
  4. ඇත්තටම ආදර්ශමත් චරිතයක්.

    ReplyDelete
  5. වැදගත් තොරතුරු ටිකක්... නියම නායකයෙක්..

    ReplyDelete
  6. මේ වගේ කෙනෙක්ට "දුප්පත්ම ජනාධිපති" කියල කරන්නෙ අසාධාරණයක්.. ඔහු ඇත්තටම ශ්‍රේෂ්ඨයෙක්..
    යාන්ත්‍රික සිතිවිල්ල

    ReplyDelete