HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විසෙන් විස නැසීම වෙනුවට විසෙන් වේදනාව නසන ඔසුවක්! දිවි මකුළු විසෙන් තනන්නක්!

වේදනා නාශක තැනීමට කරන අත්හදා බැලීම් කරන්නට දිවි මකුළුවකුගෙන් විෂ ගන්නා අවස්ථාවක් තමයි, මෙහි ඇති පින්තූරයෙන් දැක්වෙන්නේ. ඊළඟ පරම්පරාවේ වේදනා නාශක තනනු ලබන්නේ දිවිමකුළු විසෙන්. නැත්නම් වෙනත් විසකුරු සර්පයන් ලබා ගෙන්නා විසෙන්.

ලොවපුරා විද්‍යාඥයන් දැන් සාර්ථකව අත්හදා බැලීම් කර ගෙන යනවා මාරක සර්පයන් හා දිවිමකුළුවන් වැනි උග‍්‍ර විෂ සහිත සතුන්ගේ විෂ උපයෝගී කර ගෙන, දැඩිසේ වේදනාවට පත්ව සිටින අයගේ, වේදනාව සමහන් කරන්නට හැකියාව ඇති ඖෂධ නිපදවන්නට.

මේ පිළිබඳ ප‍්‍රදර්ශනයක් පසුගියදා ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ දී ආරම්භ වුණා. එය 2013 ජූලි මාසය තෙක් පැවැත්වීමට නියමිතයි. ’වේදනාව රහිත අනාගතයක්’ යනුවෙන් නම් කර ඇති ඒ ප‍්‍රදර්ශනයෙන් වේදනාව අඩු කිරීම හා අනාගතයේ සහන සැලසීම යන විවිධ අංශවලින් ලෝකය මෙතෙක් ලබා ඇති ප‍්‍රගතිය දැක ගන්න පුළුවන්.

 
ලන්ඩන් විද්‍යා ප‍්‍රදර්ශනයේ දී කි‍්‍රස් ලෝරින් නම් තාක්ෂණවේදියා වේදනා නාශක නිපදවීමට දිවි මකුළුවකුගෙන් විෂ ලබා ගන්නා හැටි පෙන්වූ අයුරු

 
දිවි මකුළුවාගෙන් ලබා ගන්නා විෂ රැගත් මේ ස‍්‍රාවය අනාගතයේ දී විද්‍යාඥයන් විසින් වේදනා නාශක තැනීමට යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා.

මෙම පර්යේෂණය සඳහා විෂ ලබා දෙන්නේ එක්සත් රාජධානියේ වෙනම්ටෙක් (Venomtech) ආයතනයේ අධ්‍යක්ෂ ස්ටීව් ට්රිම්ගේ මෙහෙයවීමෙනුයි. ඔහුගේ ආයතනයෙන් ප‍්‍රායෝගිකව පෙන්වා දෙනවා විසකුරු සතුන්ගෙන් විස ලබා ගන්නා අයුරු.

අනාගතයේ දී වේදනා නාශක භාවිත කෙරෙන ආකාරය ගැන නිදර්ශන සහිතව මේ ප‍්‍රදර්ශනයේදී දැක ගන්න පුළුවන්.

එහි ඇති තාක්ෂණික ප‍්‍රගතිය දැක්වෙන එක් ප‍්‍රදර්ශන විශේෂාංගයක් ලෙස මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලය විසින් සැලසුම් කර ඇති වේදනා නාශක නව අතත්‍ය යථාර්ථ කට්ටලය (new virtual reality kit) හඳුන්වන්න පුළුවන්.

අවයව කපා ඉවත් කරන්න සිදු වූ අයට දැනෙන ‘තවමත්’ එය සිරුරට සම්බන්ධව ඇතැයි යන අසහනකාරී හැඟීම නැති කර ගන්නත්, ඉන් ඇති වන වේදනාකාරී හැඟීම තුරන් කර ගන්නත්, ඒ පරිගණක කට්ටලය උපකාර වෙනවා.

එමගින් වේදනා නාශක නැතිව ඒ අසහනකාරී හැඟීමෙන් මිදෙන්න ඔවුනට හැකි වෙනවා.

 
ඒ ප‍්‍රදර්ශනයේ දී දිය නයකුගෙන් විෂ ලබා ගන්නා හැටි ලෝරිං ප‍්‍රදර්ශනය කළේ මෙසේයි.

”අප හැමෝටම වේදනාව පිළිබඳ අත්දැකීම් තියෙනවා. ඒත් අපි වේදනාව නසන්නට දැන් භාවිත කරන ක‍්‍රමවේදයන්වල වෙනසක් ඇති කළ යුතුයි. වේදනාව නැති ලෝකයක් ඇති කිරීම එක අතකින් භයානකයි. ඒත් පහකට එකක් වන දීර්ඝකාලීනව වේදනා විඳින්නන්ට වේදනාව සදහටම තුරන් කිරීම ජීවිතය වෙනස් කරන, සහනය ගෙන දෙන, ආරංචියක්.” මේ ප‍්‍රදර්ශනය භාරව සිටින ප‍්‍රධානියා වූ සුසී ඇන්ටනිව් කියනවා.

ලන්ඩනයේ පැවැත්වෙන ’වේදනාව රහිත අනාගතයක්’ මේ දීර්ඝ ප‍්‍රදර්ශනය මොළයත් සිරුරත් අතර ඇති සම්බන්ධය අවබෝධ කර ගන්නත් එමගින් වේදනා විඳීම අවම කරගන්නත් සුදුසු ක‍්‍රමවේදයන් අවබෝධ කර ගන්නත් අපට මග පාදනවා.

Post a Comment

0 Comments