මඬ නාගෙන සිටි තරුණ ගොවියා සෝල්බරී සාමිට තරු පෙන් වූ හැටි! : නිදහසට පෙර දේශපාලන රස කතා

නිදහසට පෙර අපේ රටේ දේශපාලනයේ රසකතා හුඟක් තියෙනවා. මේ කතාව මම කුඩා කාලෙ අපේ තාත්තගෙන් අහපු කතාවක්. ඒත් මෙහි පළවෙන්නේ ඒ කතාවම මඳක් වෙනස් විදියකට ඉංගිරිසි පුවත්පතක පළවුණු ආකාරයටයි. ඒ ලේඛකයාට ගරු කිරීමක් හැටියටයි, මගේ කතාව නොකියා මේ කතාව පළ කිරීමට අදහස් කළේ. මේක ලියා ඇත්තේ අමිත අබේසේකර කියන සුප‍්‍රකට විකට චිත‍්‍ර ශිල්පියායි. මොට්ටපාල, ගොබ්බසේන, රාළහාමි ආදි චරිත කලකට ඉස්සර ලංකාදීපයෙන් සිංහල පාඨකයන්ට ‘අමිතගේ විකට විට’ ඔස්සේ ගෙනා ඔහු මේ කතාව ලිව්වේ ‘මගේ දිවයින’ යන අරුත් ඇති ‘මයි අයිලන්ඞ්’ නමින් පළ වූ ඉංගිරිසි තීරු ලිපි මාලාවටයි. ‘ද අයිලන්ඞ්’ පුවත්පතට ලියූ ඒ තීරු ලිපි එකතුව පොතක් හැටියටත් පළ වී තියෙනවා.


”මේ කතාවට පසුබිම් වන්නේ හතළිහේ දශකයේ මැද භාගයයි. මෙය සම්පුර්ණයෙන්ම සත්‍ය කතාවක්.” මෙසේ කියන්නේ කුරුණෑගල නීතිවේදියකු වූ එච්. එල්. පේ‍්‍රමදාසයි. ඒ වන විට ක්ලෙමන්ට් ඇට්ලී, දෙ වන ලෝක යුද්ධයෙන් පසු පැවැති පළමු මහ මැතිවරණයෙන් වින්ස්ටන් චර්චිල් පරදවා එංගලන්තයේ අගමැති ධුරයට පත් ව සිටියා. වංශවත්, උද්යෝගිමත් පාලකයකු වූ ඔහු, එවකට සිලෝන් යනුවෙන් හැඳින්වුණු අපේ රටේ පාලනයේ වෙනසක් ඇති කර අපේ ජනතාවට වැඩි හඬක් නැංවිය හැකි වන පරිදි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට ඇති හැකියාව ගැන සොයා බලන්නට සෝල්බරි කොමිසම ලංකාවට එව්වා.

එවකට මෙරට පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඞී. ඇස්. සේනානායක මහතා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ආරම්භයේදී එම කොමිසමේ සැසිවාර වර්ජනය කළ ද, පසුව, පළපුරුදු දූරදර්ශී නුවණැති ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ පෙලඹවීම මත ඔහු සෝල්බරි සාමිවරයා සමඟ සාකච්ඡාවලට එක් වුණා.

ඒ කටයුතුවල යෙදෙද්දී ඔවුන් දෙදෙනා මිතුරන් බවට පත් වූ අතර දිනක් සෝල්බරි සාමිවරයාට රටතොට දැක ගැනීමේ ආසාවක් පහළ වුණා. ඔහුට අවශ්‍ය වුණේ සාමාන්‍ය රට වැසියන්ගේ ජන ජීවිතය සහ අධ්‍යාපනික මට්ටම කොතරම්දැයි ඔවුන් අතරට ගොස් තමන්ටම දැක බලා ගැනීමටයි. ඒ අදහස අසා රටතොට පෙන්වීමට සාමිවරයා කැටුව යෑමට ඞී. ඇස්. සේනානායක මහතා සිය කැමැත්තෙන් ම ඉදිරිපත් වුණා. ඒ අනුව එක් උදෑසනක ඞී. ඇස්. සේනානායක මහතා ඔහුගේ සුඛෝපභෝගී නිලරථයෙන් සෝල්බරි සාමිවරයා ද කැටුව මහනුවර බලා යමින් සිටියා.

ඒ දෙන්නා කෑගල්ල නගරය පසු කරමින් තවත් සැතැපුම් කිහිපයක් ඔබ්බට යද්දී මග දෙපස විශාල කුඹුරු යායක් ඔවුනට හමු වුණා. ඈත කුඹුරු වැඩ කරන ගොවීන් පිරිසක් දක්නට ලැබුණා. ඒ ගොවීන් හිටියේ ගවයින් යොදා ගෙන සීසාමින්. ඒ එන මහ කන්නයට වී වැපිරීම පිණිසයි.

”අපි මේ හරියෙන් ටිකක් ගිමන් ඇරලා යමු ද?” යැයි ඞී. ඇස්. සේනානායක මහතා යෝජනා කළා. සෝල්බරි සාමිවරයා හිස සලා ඊට කැමැත්ත පළ කළා. ඒ අනුම ඔවුන් දෙදෙනා මෝටර් රියෙන් බැස කඩිසරව සීසාන ගොවීන් දෙස බලා සිටියා.

” ඕනෑ නම් අපිට මේ කෙනෙක් එක්කත් කතා කරලා බැලියැහැකි” යැයි ඞී. ඇස්. සේනානායක මහතා සාමිවරයාට කීවා. සාමිවරයා යළිත් හිස සලා එයටත් කැමැත්ත පළ කළා.

” ඕයි, තමුසෙලගෙන් එක් කෙනෙක් මෙහෙ එනවද පොඞ්ඩක්” යැයි සේනානායක මහතා සිය ගැඹුරු හඬින් කෑ ගසා එයින් කෙනකුට අඬ ගැසුවා.

ඒ ගොවීන් අතරින් පුෂ්ටිමත් සිරුරකින් හෙබි මැදි වියේ පසු වූ අයෙක් සිය නඟුල වෙන අයකුට බාරදී මේ සම්භාවනීය අමුත්තන් දෙදෙනා දෙසට පැමිණියා. ඒ ගොවියා මඬ නාගෙන සිටියද ඔහු වෙතින් පළ වූයේ උදාර ප‍්‍රතාපවත් බවක්.

”මේ ඉන්නේ සෝල්බරි සාමිතුමා එංගලන්තයෙ ඉඳලා ආවෙ. මෙතුමාට  ඕනෑලූ ඔහේ එක්ක ටිකක් කතා කරන්න. ඔහේ සිංහලෙන් කියන දේ මං එතුමාට ඉංගිරිසියෙන් කියන්නම්.” යැයි සේනානායක මහතා උඩුකය නිරුවතින් මඩ තවරාගෙන සිටි ගොවියාට පැවසුවා.

ඔවුන් දෙදෙනා පුදුමයට පත් කරමින් ගොවියා හොඳින් ඉංගී‍්‍රසි කතා කරන්නට වුණා. ”කාරි නෑ සේනානායක මහත්තයෝ, මෙතුමත් එක්ක මම ඉංගිරිසියෙන්ම කතා කරන්නම්” යැයි ඔහු හොඳ ඉංගිරිසියෙන්ම කීවා.

ඉන්පසු ඔහු සෝල්බරි සාමිවරයා දෙසට හැරී මෙසේ කීවා. ”අවසර උතුමාණෙනි, ඔබතුමා හමුවීම සතුටක්. මං දැක්කා පත්තරේ තිබුණා ඔබතුමා මෙහෙ ආවේ අපට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්නයි කියලා. ඒක හොඳ දෙයක්. මම හිතනවා ඒක අර්ථවත් ප‍්‍රයෝගික එකක් වේවි කියලා.” ගොවියා කීවා.

”ඔබතුමාගේ මුතුන්මිත්තකුට 16 වැනි සියවසේ දී එංගලන්තයේ අර්ල් පදවියක් ලැබුණ නේද? ඔබතුමාගේ මවගේ පෙළපතේ ඥාතියෙක් හිටියා නේද හමුදා ජනරාල්වරයෙක්. එයා වෝටර්ලූ සටනෙදි වෙලින්ටන් සමග එකට සටන් කළා නේද? ඒ වගේමයි මගේ මතකය හරි නම් ඔබතුමා තමා 11 වැනි සෝල්බරි සාමිවරයා.” යැයි ගොවියා චතුර ලෙස දිගින් දිගටම ඉංගීසියෙන් කතා කරන්න වුණා.

සාමිවරයා පුදුමයෙනුත් පුදුමයට පත් වුණා. එය ඔහු කිසිසේත් අනපේක්ෂික දෙයක්. ගොවියා ඉදිරියේ මොහොතකට ගොළු වූ ඔහු ආපසු හැරී මෝටර් රථයට දෙසට යන්න හැරුණා. ගොවියා ද කතාකරමින්ම ඔහු පසු පසින් යන්නට වුණා. ”තව දෙයක් කියන්න අවසර, අපට ආරංචියි, කම්කරු පක්ෂයෙන් බලය ලබා නව රජයක් පිහිටු වූ ඔබේ අගමැතිතුමා ව්‍යවස්ථා අර්බූදයකට මුහුණ පාලා කියලා. අපට සැකයක් නැහැ එතුමා එය ජය ගනීවි. එතුමාගේ සහයට ඉන්නව අර්නස්ට් බෙවින්, ඇනියුරින් බෙවින් වගේ හොඳ පිරිසක්.” කී ගොවියා, ”යටත්විජිතවාදී දැඩි මතධාරියකු වුනත් වින්ස්ටන් චර්චිල් මහත්මයා පරාජය කළ එක ගැන නම් අපට හිතට දුකයි” කියාද පැවසුවා.

ඒ සියල්ල හොඳින් අසා සිටි සෝල්බරි සාමිවරයා වෙවුලන හඬින් ඇසුවේ, ”ඔබ ඔය තරමට මගේ පවුලේ විස්තර දන්නේ කොහොමද?” කියායි. මැඩගත් සිනාවකින් යුත් ගොවියා මෙසේ ද කීවා. ”මේ පුංචි රටේ අපි මහා බි‍්‍රතාන්‍යයේ සිදුවන හැම දෙයක් ගැනම සොයා බලනවා. අපේ මේ කුඩා දූපතට ඔබතුමා සැපත් වෙනවා කියලා ආරංචි වුණාම ඔබතුමා ගැන විස්තර මං ‘බර්ක්ස් පියරේජ්’ තොරතුරු පොත බලලා දැන ගත්තා. ඒක මා වඩාත් කැමති පොත්වලින් එකක්. ඒ විතරක් නෙවෙයි, මීට දින කීපයකට කලින් මට කියවන්න ලැබුණා, සමකාලීන ශ්‍රේෂ්ඨ සංගීත විචාරකයකු වූ ගෙන්ෂර්ගේ විග‍්‍රහයක්, බීතෝවන්ගේ පස්වැනි සන්ධ්වනිය ගැන කළ. ඔබතුමා මොකද කියන්නේ ගෙන්ෂර්ගේ අදහස් ගැන?” මේ තරුණයාගේ කතාවට උත්තර දෙන්න හැකියාවක් සෝල්බර් සාමිවරයාට තිබුණේ නෑ.

”සේනානායක මහත්මයා, මං හිතන්නේ අපි දැන් ගියොත් හොඳයි වගේ” යැයි අපහසුවට පත් ව හීන් දහඩිය දමමින් සිටි සෝල්බර් සාමිවරයා පැවසුවා. ”හොඳයි, දරුවා, එහෙනම් අපි යනවා. නුඹ හමුවීමට ලැබීම ගැන සතුටුයි” කියූ සෝල්බර් සාමිවරයා මෝටර් රියට නැංගා.

”වංශවත් පෙළපතකින් පැවැත එන ඔබතුමා වැනි උත්තමයෙක් හමුවන්න ලැබීම අපට ලොකු ගෞරවයක්.” යැයි පවසමින් ගොවියා ඉතා විනීතව මෝටර් රියේ දොර වැසුවා. ඉන්පසු ඔහු සාමිවරයාටත් සේනානායක මහතාටත් දෑත් එක්කර ආචාර කළා.

එදා ඒ මඩ තවරා ගෙන සිටි ගොවි තරුණයා, පසුව රැජිනගේ නයිට් පදවියකින් පිදුම් ලැබූ බැරිස්ටර්වරයකු සහ කැබිනට් මන්තී‍්‍රවරයකු ද වූ සර් එඞ්වින් විජේරත්නයි. එදා කල්තියා සැලසුම් කොට ඔහු එම කුඹුරට යවා සෝල්බරි සාමිවරයාට අනපේක්ෂිත ලෙස මුණගැස්වීමට සැලැස්වීමෙන් තමා එවකට සිට කවරකුටත් වඩා ශූර බුද්ධියක් හෙබි අයකු බව ඞී. ඇස්. සේනානායක මහතා ප‍්‍රකට කළේ යැයි එච්.එල්. පේ‍්‍රමදාස මහතා කීවා. ”මේ කතාව ඇදහිය නොහැකි තරම් විස්මයජනකයි. නමුත් මෙය සම්පූර්ණයෙන් සත්‍ය බව ශ්‍රීමත් එඞ්වින්ගේ පුතුන් දෙදෙනකුම පෞද්ගලිකවම මා සමඟ පවසා තිබෙනවා” යයි අමිත මේ කතාව ලියලා අවසානයේ දී සඳහන් කරල තියෙනවා.

මට ඔය කතාවට පසුබිම් වුණු කතාව කියූ මගේ පියා කීවේ ඞී. ඇස්. සේනානායක මහතා ඔය ආකාරයට රටපුරා තැන් කීපයක ඉංගිරිසි උගත් තරුණයන් රඳවා ‘අහම්බෙන්’ සෝල්බර් සාමිවරයාට මුණගස්වා සිංහල තරුණයන් සුද්දන්ට වඩා හොඳට රට පාලනය කරන්නට දැනුමැති පිරිසක් බව ඒත්තු ගැන්වූ බවයි.

- පර්සි ජයමාන්න.   



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

6 Comments

  1. මේ කතාව මාත් කලින් කියවා තිබුණා

    ReplyDelete
  2. පිස්සු හැදෙයි! සුද්දට කොකා පෙන්නලම නෑ! හිකිස්!!

    ReplyDelete
  3. සුද්දට කොකා පෙන්නලම නෑ වගේ! නියම කතාව!!

    ReplyDelete
  4. මේ කතාව මම කලින් අහල තිබුනට නම්ගම් වශයෙන් විස්තරාත්මකව දන්නේ අද

    ReplyDelete
  5. //.....මෙරට පැවැති රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඞී. ඇස්. සේනානායක...//

    මම දන්නා තරමින් සභාපති නමින් ධූරයක් තිබුණේ නැහැ. සභානායක නමින් ධූරයක් තමා තිබුණේ

    ReplyDelete
  6. ඩී. ඇස්. සෝල්බරි සාමි රැවැට්ටුවාට වඩා අපේ රටේ දුප්පත් අසරණයින්ව විශේෂයෙන් ඔය කුඹුරු ඇත්තටම අස්වැද්දු ගොවියන්ව රැවැට්ටුවා නේ ද කියා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete