වසර 5,500කට පෙර සිදුවූ මිනීමැරුමක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයෙන් හෙළිවෙයි!

මේ මිසර තරුණයා මිය ගියේ පිහියා ඇනුමකින් ද? දැන් ඔබටත් මේ අත්දැකීමට එකතු වෙන්න පුළුවන්!

වසර 100ක් තිස්සේ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබුණු පුරාණ මිසර මමියක් පිළිබඳ අබිරහසක් සොයා ගැනීමට නව පර්යේෂණයකට හැකි වී තියෙනවා. මේ පරණ මමිය තරුණ අයකුගේ එකක්. මෙහිදී හෙළිදරවු කර ගෙන ඇත්තේ ඔහු මියගිය ආකාරයයි.

යුද්ධයක් නොමැති සාමකාමී කාලයක මේ තරුණයා මියගොස් ඇත්තේ දරුණු පිහියා ඇනුමකින්. මේ බව දැන් එහි යන අමුත්තන්ට පරිගණක තිර ස්පර්ශ කිරීමෙන් ප‍්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්.

මේ මමිය අයත් මිසර ජාතික තරුණයා හැඳින්වෙන්නේ ‘ගෙබෙලීන් මිනිසා’ කියා නමුත් ඔහුගේ රතු පැහැති හිසකේ නිසා ඉඟුරු යන අරුතැති ‘ජින්ජර්’ නම් වූ සුරතල් නාමයක්ද කෞතුකාගාරයේ අය ඔහුට යොදා තියෙනවා. ඔහුගේ උරපතු ඇටය අසලින් පිහියා ඇනුමක සලකුණක් දක්නට පුළුවන්.

 
මේ මමියේ සුවීක්ෂ රූප පසුගිය සතියේ සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයට යන නරඹන්නන්ට දැක ගන්න පුළුවන්. ඒ පරිගණක තිරය ස්පර්ශ කිරීමෙන් ජින්ජර්ගේ සිරුරේ කොටස් හා එහි ඇතුළත දසුන්වල සමීප දසුන් දැක ගන්න පුළුවන්.

මෙම හෙළිදරවුව සිදු කෙරුණේ ඒ මිසර මමිය සුවීක්ෂ පරීක්ෂාවකට (scan) හෙවත් පරිලෝකනයට ලක් කිරීමෙන් පසුවයි. මේ පැරණි මමිය පසුගිය දා ති‍්‍රමාන පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කෙරුණා. ඒ සුවික්ෂ පරීක්ෂාව සිදු කළේ වෝහාර (අධිකරණ) වෛද්‍ය විද්‍යාඥයන් හෙවත් අපරාධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයන් පිරිසක් විසිනුයි.

 
රතු හිසකේ නිසා ‘ජින්ජර් මිනිසා’ වූ මේ වසර 5,500ක් පැරණි ගෙබෙලීන් මිනිසාගේ මමිය මේ ආකාරයන් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ දී දැක ගත හැකියි. පර්යේෂකයන් සොයා ගෙන තියෙනවා, ඔහු මරණයට පත්ව ඇත්තේ මිනීමරුවකු පිටුපසින් සිට දෙන ලද පිහි පහරකින් බව.

ඔවුන් මේ මමියේ සුවීක්ෂ රූප පරිගණක තිරයෙන් පිරික්සා මේ තැනැත්තා මීට වසර 5,500කට පෙර මියගියේ හිතාමතා කළ පිහිපාරකින් යැයි තහවුරු කළා.

මේ පිළිබඳව එංගලන්තයේ ටයිම්ස් පුවත්පතට ප‍්‍රකාශයක් කළ කෞතුකාගාරයේ මිනිස් ශේෂයන් පිළිබඳ විශේෂඥයා වූ ඩැනියෙල් ඇන්ටොයින් (Daniel Antoine) කීවේ, ‘ඒ පිහි පාරෙන් ඔහුගේ උරපතු ඇටයට පවා හානි වී ඇති බව’යි.

‘ඔබට දැක ගන්න පුළුවන් උරපතු ඇටය යටින් ඒ අසලම ඇති ඉළ ඇට බිඳී ඇති බව, ඔහුගේ සිරුරේ පටක පසාරු කර ගෙන ගිය ඒ පිහි පාරෙන්.’

‘මෙයින් පේනවා දරුණු පහරක් එල්ල කර ඇති බව. එය ඔහුගේ පෙණහැල්ල පසාරු කර ගෙන ගොස් තිබෙනවා.’

පරීක්ෂණවලින් පෙනී ගියා මේ තරුණයා වයස අවුරුදු 18ත් 20ත් අතර හොඳින් වැඩුණු පේශීන් සහිත ශක්තිමත් පුද්ගලයකු බව.

ඩැනියෙල් කියන්නේ සතුරා සමග සටන් කළ බවට තුවාල මේ සිරුරේ නැති නිසා හදිසියේ පසුපසින් එල්ල කළ මරු පහරින් මොහු මරණයට පත් වෙන්නට ඇති කියායි.

මේ සඳහා යොදා ගෙන ඇති අවිය අඟල් 0.7ක් පළල අඟල් 5ක් දිග තඹ ලෝහයෙන් කළ එකක් හෝ උල් ගල් පතුරක් හෝ විය හැකියි.

මොහුගේ බිඳුණු අස්ථි කැබලි වටා මෘදු පටක ඇලී තිබීමෙන් ඔවුන් නිගමනය කළා මේ තුවාලය සිදු කර ඇත්තේ ඔහු පණ පිටින් සිටියදී බව. එය තද පහරක් වන්නට ඇතැයි ඔවුන් නිගමනය කරන්නේ ප‍්‍රහාරයත් සමග බිඳී ගිය අස්ථි කැබලි පේශී පටක තුළට වැදී ඇති බවත් තුවාල සිදු කළ ආයුධය වම් පෙණහැල්ල පසා කර ගෙන ගොස් ඇති බවත් පෙනෙන නිසයි.

 
පසුපසින් දුන් පිහි පාරෙන් ඉළ ඇට බිඳී ගොස් ඇති අයුරු මේ සුවීක්ෂ රූපයෙන් දැක ගන්න පුළුවන්.

 
ඒ මමියේ වම් උරහිසෙහි මාරක තුවාලය ඇති කළ සලකුණු දැකිය හැකියි.

 
බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ දැන් ප‍්‍රදර්ශනය කෙරෙන මේ පරිගණක තිර ස්පර්ශයෙන් මේ පිළිබඳ ඕනෑම තොරතුරක් ඔබට මතු කර ගෙන කියවිය හැකියි. ස්පර්ශක ක‍්‍රමයෙන් සිරුර ඇතුළේ වෙනත් දසුන් පවා නැරඹිය හැකියි.

අධිකරණ වෛද්‍ය හා විකිරණ විද්‍යා විශේෂඥයකු වූ, වෛද්‍ය ප‍්‍රතිරූප විද්‍යාව හා දෘශ්‍යකරණය සඳහා වූ මධ්‍යස්ථානයේ (Center for Medical Image Science and Visualization - CMIV) මහාචාර්ය ඇන්ඩර්ස් පර්සන් (Anders Persson) විසින් ද මෙම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ පරීක්ෂණයේ දී ගත් නිගමන නිවැරදි යැයි තහවුරු කර තියෙනවා. ඔහු ස්වීඩනයේ පිහිටි එම මධ්‍යස්ථානයේ දී මේ ආකාරයේ සුවීක්ෂක පරිගණක මරණ පරීක්ෂණ ක‍්‍රමය අපරාධ හා අනතුරු සඳහා යොදා ගන්නා ප‍්‍රවීණයෙක්.

කිසියම් ආකාරයක සුව වීමක් තුවාලයෙහි දක්නට නොලැබීමෙන් පෙනී යන්නේ තුවාලයෙහි දරුණුකම නිසා එයින් ම ඔහු මරණයට පත් වන්නට ඇති බවයි.

ජනපි‍්‍රයත්වයෙන් මෙය දෙවැනි වන්නේ රොසෙටා පුවරුවට (Rosetta Stone) පමණයි. 1901 සිට මෙම සිරුර ලන්ඩන් කෞතුකාගාරයට ගෙනා දා හොලවලාවත් නැති තරම්.

මේ කැට් ස්කෑනරය මගින් ගත් ති‍්‍රමාන පිළිබිඹු ඉන්ටර්ඇක්ටිව් ආයතනය විසින් සංවර්ධනය කරන ලද මෘදුකාංගයක් යොදා ගෙන මේ මමියේ අනුරුව, එක එක අතට කරකවා, විශාලනය කොට, පරිගණක ක‍්‍රමයෙන් ස්තරයෙන් ස්තරය ඉවත් කොට විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

කෞතුකාගාර පාලකයන් පසුගිය වසර 100ටම මේ මමියේ යට වූ පැත්තවත් දැක තිබුණේ නැති බව පැවසූ ආචාර්ය ඩැනියෙල් ටයිම්ස් පුවත්පතට තවදුරටත් කීවේ, දැන් පරිගණක අනුරුව අනුව අභ්‍යන්තර හැම අවයවයක් ම සවිස්තරව පරීක්ෂාවට ලක් කළ හැකි බවයි.

 
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී විද්‍යාඥයන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට තත්පර 30ක කාලයක් කැට් ස්කෑනරයක් (සුවික්ෂකයක්) යොදා ගෙන මේ මමිය සුවික්ෂ පරීක්ෂණයකට ලක් කළා.

තවදුරටත් පර්යේෂණ පවත්වා ගෙන යනවා, මිනීමරුවා ඔහු සොයා එන්නට පෙර, ජින්ජර් අවසන් පැය කීපය ගත කළේ කොහොමදැයි සොයන්නට. බි‍්‍රතාන්‍ය කෞතුකාගාර කණ්ඩායමට ඔහුගේ අවසාන ආහාර වේල පිළිබඳව විශ්ලේෂණයක් කළ හැකි වේවි යයි ආචාර්ය ඩැනියෙල් විශ්වාසය පළ කරනවා. ඒ වගේ ම ඔහුගේ කෙස් හා නිය විශ්ලේෂණය කිරීමෙන් අවසන් තුන් මාසය තිස්සේ ඔහු ආහාරයට ගත් දෑ ගැනත් හෙළි කර ගන්නට ඔවුන් සමත් වේවි.

”ගෙබෙලීන් මිනිසා මියයන විට තරුණ වියේ පසු වූයේ යැයි සොයා ගැනීමට අපට හැකි වූවා පමණක් නොව සීටී ස්කෑනරය මගින් ගත් ති‍්‍රමාන රූපවලින් අනපේක්ෂිත ආකාරයට තහවුරු කර ගත හැකි වුණා, ඔහු මිය ගියේ පසුපසින් කළ පිහියා ඇනුමකින් බව.” ආචාර්ය ඩැනියෙල් කියනවා.

”පුරාණ මානව ශේෂයන් විශ්ලේෂණය කිරීමේදී ඉතාමත් කලාතුරකින් තමයි මරණයට හේතුව හෙළිදරවු වන්නේ. නමුත් ඔහුගේ පිටේ ඇති කැපුමත් උරපතු ඇටය යට හා ඉළ ඇටවටලට වූ හානිත් එකම තුවාලයකින් සිදු වූ බව මෙහිදී හෙළි වුණා.

”පරිගණක මරණ පරීක්ෂණ මේසය අපට ඉඩ සලසා දුන්නා, සීටී ස්කෑන් දත්ත අන්තර්කි‍්‍රයා ඔස්සේ, ඔහුගේ කංකාලයත් (ඇටසැකිල්ලත්) අභ්‍යන්තර අවයවයනුත් පැහැදිලිව දැක බලාගෙන පිරික්සුම් කරන්න. මෙය මීට පෙර වෙනත් ක‍්‍රමවලින් අපට මෙය ලබා ගත හැකි වුණේ නෑ.”

 
ජින්ජර් මිනිසා මුලින් ම බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබුණු අයුරු.

මේ සොයා ගැනීම් මේ දිනවල කෞතුකාගාරයට එන නරඹන්නන්ට දැක ගන්න පුළුවන්. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ දැන් ප‍්‍රදර්ශනය කෙරෙන මේ පරිගණක තිර, ස්පර්ශයෙන් මේ පිළිබඳ ඕනෑම තොරතුරක් ඔබට මතු කර ගෙන කියවිය හැකියි. ස්පර්ශක ක‍්‍රමයෙන් සිරුර ඇතුළේ වෙනත් දසුන් පවා නැරඹිය හැකියි.

ඉන්ටර්ඇක්ටිව් ආයතනයේ අධ්‍යක්ෂ ඬේවිඞ් හියුස් කියන්නේ, ”මේ ප‍්‍රබල දෘශ්‍යකරණ පද්ධතිය මගින් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඉපැරණි මමියක් පිළිබඳ නව සොයා ගැනීම් රාශියක් කර ගත හැකි වුණා. ඒ විතරක් නොවෙයි, ඒ අත් දැකීම කෙළින් ම විඳ ගන්න අපේ නරඹන්නන්ටත් දෙන්නට දැන් හැකියාව ලැබී තිබෙනවා.

”විද්‍යාඥයන් භාවිත කළ තාක්ෂණයම භාවිත කරමින් මෙහි එන නරඹන ඔබටත් දැන් පුළුවන්කම තියෙනවා, මේ මමිය පරීක්ෂා කරන්න. සමහර විට ඔබටත් පුළුවන් වේවි විද්‍යාඥයන්ට නොපෙනුනු දේ දකින්නත් තමන්ගේ ම නව සොයා ගැනීම් කරන්නත්, මේ තුළින්.” ඔහු අවසාන වශයෙන් කීවා.

මිසරයේ ප‍්‍රාග්වංශික යුගය

අප දැක්වූ මමිය මිසරයේ ප‍්‍රාග්වංශික යුගයට (Pre-Dynastic Era) හෝ ඊට පෙර වැළලූ එකක්. මිසරයේ බුටෝ නගරයෙන් තමයි ගොඩ ගෙන තියෙන්නේ.

මිසරයේ (ඊජිප්තුවේ) මේ ප‍්‍රාග්වංශික යුගය නව පාෂණ යුගයේ අවසානය ලෙස සැලකෙනවා.

ඒක පටන් ගන්නේ කි‍්‍රස්තු පුර්ව හය දහසකට පෙරයි. අවසන් වන්නේ මිසරයේ එක්සත් වීමත් සමගයි. මිසරයේ ඉතිහාසය පටන් ගන්නේ එතැන් සිටයි.

මේ ප‍්‍රාග්වංශික යුගය කොටස් දෙකකට බෙදෙනවා. නකදා-1 (කි‍්‍රස්තු පූර්ව 4000-3500) හා නකදා-2 (කි‍්‍රස්තු පූර්ව 3500-3100) ආදී වශයෙන්.

ඒ අතීතයේ නටබුන් මුල්වරට හඳුනාගතහැකි පරිදි මතුවී ඇත්තේ නකදා නම් දකුණුදිග මිසර නගරයේයි.

මේ ප‍්‍රදේශයේ තමයි, පුරාණ මිසර වැසියන් ප‍්‍රාග්වංශික යුගයට කලින් ජීවත්වෙලා තියෙන්නේ.

ඔවුන්ගේ සොහොන් බිම් මේ ප‍්‍රදේශයේ ජනාවාස අසල කාන්තාරයේ තියෙනවා. එහි දකුණේ හා උතුරේ වෙනස් සංස්කෘතීන් දෙකක් පැවති බවට සාධක මේ කැණීම්වලින් මතු වී තියෙනවා.

දකුණ පාලනය වෙලා තියෙන්නේ හියරාකොන්පෝලිස් (Hierakonpolis) හා උතුරේ නගරය බුටෝ (Buto) යි.

ඒ කාලේ මිහිදන් කිරීම් කුඩා වළවල්වල සිදු කළේ. ගුළි වී සිටින ඉරියව්වෙන් තමයි, වැළලීම් සිදු කළේ.

පසු කලෙක ඒවායේ හිසත් අත් පාත් රෙදිවලින් ඔතා සිරුරු පැදුරුවල දවටා වැළලූවා. ඒ මිනී සමග ආභරණ, පිඟන් වැනි භාණ්ඩ හා වළං ආදියත් වළලා තිබීම නිසා ඒ කාලේ තොරතුරු දැන ගැනීමට උදවුවක් වී තියෙනවා.




Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. කහවත්තෙ සීන් ටිකත් තව අවුරුදු දෙදාස් පන්සීයකට පස්සෙ මෙහෙමම හොයාගයිද දන්නෑ.. හොඳ පෝස්ටුවක්..

    ReplyDelete
  2. සුපිරිම ලිපියක්. පාරාවෝ ගැන ඇත්තටම කියවන්න ආසයි. ඒ ගැන ලියැවුණු පොත් පත් කියෙව්වේ පුදුම ආසාවකින්. තූතන් කාමන් රජ ගැන එහෙම. හරිම වටිනවා.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete