HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ඞී. ඇස්. සේනානායකට දුර පෙනුනු හැටි! නිදහසට පෙර දේශපාලන රස කතා - 2

1948 අපි ලැබූ නිදහසට පෙර අපේ රටේ දේශපාලනයේ රසකතා හුඟක් තියෙනවා. මේ කතාවත් මම කුඩා කාලෙ අපේ තාත්තගෙන් අහපු එකක්. ඒත් මෙහි පළවෙන්නේ ඒ කතාව ම ‘අයිලන්ඞ්’ පුවත්පතේ පළවුණු ආකාරයටයි. මේකත් අමිත අබේසේකර කියන සුප‍්‍රකට විකට චිත‍්‍ර ශිල්පියා ලියූ එකක්. ‘මගේ දිවයින’ යන අරුත් ඇති ‘මයි අයිලන්ඞ්’ නමින් පළ වූ ඒ ඉංගිරිසි තීරු ලිපි මාලාව පොතක් හැටියටත් පළ වී තියෙනවා. ඔහු ඒ කතාව ලියා තිබුණේ මෙහෙමයි:

දිනක් මා ඇසුර පි‍්‍රය කළ මිතුරෙක් මා හමුවන්න ආවා. ඔහු සිංහල සිනමාවේ ආරම්භක නළුවන්ගෙන් කෙනෙකු වන මයිකල් සන්නස් ලියනගේයි. ඔහු අපේ දෙවැනි සිංහල චිත‍්‍රපටය වූ ‘අසෝකමාලා’හි දුටුගැමුණු රජුගේ මහ සෙනෙවියකු වූ ‘විපුල සෙනෙවි’ ලෙස රඟපෑවා. ඔහු ඇසූ පිරූ තැන් ඇති, කතාබහට පි‍්‍රයමනාප පුද්ගලයෙක්. පැරණි ආගිය කතා කියන්නට දක්ෂයෙක්. ඒ වන විට අසූවෙනි දශකයට පිවිස සිටියත් ඒ බවක් ඔහුගෙන් පළ වුණේ නැහැ.


”ඞී. ඇස්. සේනානායක ඉතා දුර පෙනුනු පුද්ගලයෙක්” යයි මයිකල් එදා කතාව අරඹමින් කීවා. අපි දෙදෙනා එවේලේ කතාබහ කරමින් සිටියේ දේශපාලනය හා එහි නියුතුව සිටි දේශපාලනඥයන් ගැනයි. ”ඞී. ඇස් සේනානායක අගමැතිවෙලා ඉඳිද්දි යූඑන්පී එකෙන් ‘පෙරමුණ’ කියලා පත්තරයක් පටන් ගත්තා. පක්ෂයේ ප‍්‍රචාරක පුවත්පත හැටියට. එහි මුල් කර්තෘවරයා වූ ඞී. ආර්. ජයවර්ධනයි. මං ඒ දවස්වල එයාට උදවු කළා, පත්තරය කර ගෙන යන්න. නිතරම වාගේ අපි ගියා ‘අරලිය ගහ මන්දිරය’ට අගමැති ඞී. ඇස්. සේනානායක හමුවෙන්න. අදාළ ප‍්‍රවෘත්තියක් ලබා ගන්න හෝ පළ කිරීම සඳහා ලිපියක් අනුමත කරවා ගන්න, එහෙමත් නැත්නම් ප‍්‍රවෘත්තියකට අවශ්‍ය පසුබිම් තොරතුරු දැන ගන්න.

”එතුමා හරිම නිරහංකාර නිහතමානී පුද්ගලයෙක්. බොහෝ විට එතුමා අප පිළිගත්තේ ගෙදර උන්නු විදියට චාම් ඇඳුමින්, අත්කොට බැනියමයි, සරමයි පිටින්.

”ඉතින්, බං කොහොමද? කොහොමද? මොනවද අලූත්ම තොරතුරු” එතුමා ගැඹුරු හඬින් ඇහුවා.

”ඒක දැන ගන්න තමයි අපිත් ආවේ සර්ගෙන්” අපි උත්තර දුන්නා.

”වාඩි වෙයල්ලා, බං” කියන ඔහු ඊළඟට කතා කරන්නේ ඉතා කරුණාවන්ත නිහඬ කාන්තාවක වූ ඔහුගේ බිරිඳටයි. ”මොලි, අපට තේ ටිකක් එවන්න” එහෙම නැත්නම් බිරිඳ වැඩක යෙදී ඇත්නම් ඔහු ඊළඟට කතා කරන්නේ පැරණි හිතවත් සේවකයා වූ කරෝලිස්ටයි.

එක දවසක් අපි බරාඳයේ කතා කරමින් සිටියදී පේදිරික් වක්වැල්ල මුහන්දිරම්තුමා මහත් කලබලෙන් පැමිණියා. ඔහු ප‍්‍රධාන පෙළේ යූඑන්පීකාරයෙක්.

”සර්, සර්, මොකක්ද මේ වමේ එවුන් කරන්න හදන්නෙ?” මුහන්දිරම්තුමා ආ කලබලෙන්ම කතා කරන්න පටන් ගත්තා.

”ඒ ගොල්ලන් රටපුරා කිය කිය යනවා. අපට මේ දීල තියෙන නිදහස බොරු එකක්ලූ. කිසිම නිදහස් රටක තවත් රටකට අයත් හමුදා කඳවුරක් තියෙන්න බැරිලූ. අපි බි‍්‍රතාන්‍යයන්ට මෙහෙ හමුදා කඳවුරු තියාගන්න ඉඩදීල තියෙනව. අපේ නිදහස කොහෙ තියෙන එකක්ද කියල ඔවුන් අහනව. ඔවුන් කියනව බි‍්‍රතාන්‍යය යුද්ධයකට පැටළුණොත් අපිටත් ඒකට ඇදිලා යන්න වෙනවා, අපි කැමති වුනත් නැති වුනත්. අපත් බි‍්‍රතාන්‍යයේ සතුරන්ගේ බෝම්බ ප‍්‍රහාරවලට ඉලක්කයක් වෙනවා, ඔවුන්ගෙ කඳවුරු මෙහෙ තියෙන හින්දා.” ඔහු දිගටම කියා ගෙන ගියා.

රටේ පළමුවැනි වැඩිහිටියා දිගු වේලාවක් කල්පනා කළා. ඉන්පසු ඔහුගේ දැවැන්ත හිස ඔසවා බැලූවා. බලලා මෙහෙම කිව්වා: ”පේදිරික්, දෙමළ අයටත් මේ රටෙන් ඒ අයගෙ කොටහ ඕනෑ. පොන්නම්බලම්, චෙල්වනායගම්, සුන්දරලිංගම් විතරක් නෙවෙයි, පෙරියසුන්දරම්, තොන්ඩමන් හා අනිකුත් දෙමළ අයත් උගත්තු, ඒ වගේම හැදිච්ච මිනිස්සු... සාමයට කැමති මිනිස්සු. ඒ අය ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙදි, දේශපාලන වේදිකාවල සටන් කරාවි. ඒ අය කවදාවත් පාර්ලිමේන්තුවෙන් පිට ක‍්‍රමවලට, සාමයෙන් තොර සටන්වලට, යන්නෙ නෑ. ඒ ඔවුන් ගාන්ධිතුමාගේ ප‍්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය තියල තියෙන හින්දා. ඒ වුනාට දැන් තත්වය වෙනස් වෙලා. දැන් අලූත් තර්ජනයක් ඇති තියෙනවා - ඉතාම භයානක තර්ජනයක්.”

”ඒ මොකක්ද සර්?” අපි හැමෝම එක විටම ඇසීමු.

”ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක” එතුමා කීවේ මුහුණෙහි මතු වූ බැරෑරුම් පෙනුමක් සමගිනි. (ඊට මාස කීපයකට පෙර බණ්ඩාරනායක යූඑන්පියෙන් ඉවත් වී ඔහුගේ ශී‍්‍රලනිපය පිහිටුවා ගෙන තිබුණි.)

”ඒත්, සර්, එයාගෙ පක්ෂය තාම පටන් ගත්තා විතරනෙ. එයා කොහොමද අපට තර්ජනයක් වෙන්නෙ?” පේදිරික් වක්වැල්ල ප‍්‍රශ්න කළා.

”එයාව අවතක්සේරු කරන්න එපා! එයාගේ සිංහල පමණක් සටන් පාඨයයි, බුද්ධාගමට නිසි තැන දීමයි, සාමාන්‍ය මිනිහාට සලසන වාසි ආදියයි ගත්තහම, ඒවා මගින් එයා මුදා හරින බලවේග පස්සේ එයාටම පාලන කර ගන්න බරුව යනවා. එයා ජාතිවාදී හා ආගමික හැඟීම් අවුස්සන්නයි යන්නෙ. ජනතාවට පිස්සු හැදෙයි. කලකෝලාහල ඇති වෙයි. දෙමළ මිනිස්සුන්ට පහර දේවි. තව අවුරුදු කීපයක් ගියාම, අපේ කාලෙදි නොවෙයි, සමහර විට අපේ දරුවන්ගෙ කාලෙදිත් නොවෙයි, අලූත් මත දරණ දෙමළ තරුණයන් පිරිසක් මතුවෙන්න පුළුවන්. ඔවුන්ගෙ වැඩිහිටි නායකයන්ගෙ විනීතකම්වලින් හෙම්බත් වුණු ඒ තරුණ දෙමළ පිරිස් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ ඒ උගත්කමයි, හැදිච්චකමයි පැත්තකට දාල, තම අයිතිවාසිකම් ඉල්ලගෙන ආණ්ඩුවයි, හමුදාවයි එක්ක අවි ආයුධ අතට අරන් සටනට ඒවි. ඔවුන් මේකෙ යකා නටාවි. රටම ලේ විලක් වේවි.” අගමැතිවරයා කියා ගෙන ගියේය.

”ඒත් සර්, ඒ ඔක්කොමයි, මේ බි‍්‍රතාන්‍ය කඳවුරුවලයි ඇති සම්බන්ධය මොකක්ද?” මුහන්දිරම් වක්වැල්ල ඇසුවේය.

”මගේ හිතවත් පේදිරික්” අගමැතිවරයා පැහැදිලි කරන්න පටන් ගත්තේය. ”අපි බි‍්‍රතාන්‍යයත් එක්ක ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා, රටට පිටතින් හෝ රට ඇතුළතින් ආක‍්‍රමණයක් ආවොත් අපට සහයට එන බවට. ඉතින් උතුරු නැගෙනහිර ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවන් හරි කැරැල්ලක් හරි ඇතිවුණොත් අපට පුළුවන් ති‍්‍රකුණාමලේ බි‍්‍රතාන්‍ය හමුදාවලට කියන්න ඒක නවත්තන්න කියලා. ඔවුන් බැඳිලා ඉන්නවා ලංකාවෙ ප‍්‍රජාතාන්ති‍්‍රකව පත්වුණු ආණ්ඩුව ආරක්ෂා කර දෙන්න. බි‍්‍රතාන්‍යය මිනිස්සුයි, අවි ආයුධයි මෙහෙ ගෙනේවි, ඒ කැරැල්ල සහමුලින්ම නැති කර දාන්න. එහෙම නැතිව ඔය නොමග ගිය මහා දේශපේ‍්‍රමියො කියන විදියට බි‍්‍රතාන්‍යයට ඔවුන්ගෙ කඳවුරු අපට බාරදීලා යන්නෙයි කීවොත් අපේ රට බේරා දෙන්න එන්නෙ මොන දෙයියද?”

Post a Comment

1 Comments