ලෝකයේ ප‍්‍රථම බයෝනික කකුලෙන් ලොව උසම ගොඩනැගිල්ලක තට්ටු 103ක පඩිපෙළක් නගියි! විද්‍යාවේ තවත් විස්මිත ජයග‍්‍රහණයක්!

ඔහුගේ කකුලක් නැති වුණා, මෝටර් සයිකල් අනතුරකින්. ඊට පස්සේ ඔහුට කෘති‍්‍රම කකුලක් ලැබුණා. ඒක නිකම්ම නිකම් කකුලක් නෙමෙයි, බයෝනික පාදයක්. ඔහුගේ සිතිවිලිවලට අනුව කි‍්‍රයා කරන පාදයක්. මේ සැක් වවුටර්ගේ ඒ අපූරු කතාවයි.

ඔහු පසුගියදා මේ විස්මිත පාදය සමග තට්ටු 103ක් උස ගොඩනැගිල්ලක පඩිපෙළ තරණය කළා. චිකාගෝ නගරයේ විතරක් නොවෙයි මුළු උතුරු ඇමරිකාවේම උසම ගොඩනැගිල්ල වූ විලිස් ගොඩනැගිලි කුලූන තමයි ඔහු මෙසේ විප්ලවකාරී කෘති‍්‍රම පාදයෙන් නැග්ගේ.

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ මේ විලිස් ගොඩනැගිල්ල තමයි කලින් සියර්ස් ගොඩනැගිල්ල නමින් ලෝක ප‍්‍රසිද්ධ වෙලා තිබුණේ.

වවුටර්ගේ දණහිසට ඉහළ පසුපසින් පිහිටි කණ්ඩරාවේ පේශීන්ගෙන් යැවෙන විද්යුත් ආවේගයන් අනුව කි‍්‍රයා කරන්න ඔහුගේ රොබෝටික පාදයට පුළුවන්. ඔහුගේ සිතිවිලි අනුව යමින් පාදයේ අවශ්‍ය චලනයන් නියම ආකාරයෙන් හා නියම වේගයෙන් කිරීමටත්, එහි ඇති මෝටර්, බෙල්ට්ස් හා දම්වැල් යොදා ගෙන කෘති‍්‍රම දණහිසත් වළලූකරත් සමපාතීයව කි‍්‍රයාකිරීමටත් මේ විස්මිත කෘති‍්‍රම පාදයට පුළුවන්.

 
ඇදහිය නොහැකි තරම් කි‍්‍රයාවක්! සැක් වවුටර්, චිකාගෝ නගරයේ තට්ටු 103ක විලිස් කුලූනු ගොඩනැගිල්ල ලෝකයේ ප‍්‍රථම ස්නායු-පාලක බයෝනික පාදයක ආධාරයෙන් තරණය කළ අවස්ථාව.

 
සැක් වවුටර් චිකාගෝ නගරයේ උසම ගොඩනැගිල්ල වූ විලීස්හී 103 තට්ටුවට පිවිසි මොහොතේ පිළිගත් අන්දම

 
සැක් වවුටර් ලොව ප‍්‍රථම-ස්නායු පාලක බයෝනික පාදය යොදා ගෙන විලීස් කුලූනේ පිටගැටපෙළ තරණය කළ අයුරු.

 
මේ රොබෝටික පාදයට ඔහුගේ මහ කණ්ඩරාවේ පේශීවලින් ලැබෙන විද්යුත් ආවේගයන්ට අනුව කෘති‍්‍රම දණහිස හා වළලූකර එහි ඇති උපාංග යොදා ගෙන සමපාතීයව කි‍්‍රයා කරවීමේ හැකියාව තියෙනවා.

ඇමෙරිකාවේ චිකාගෝ පුනරුත්ථාපන ආයතනයේ (Rehabilitation Institute of Chicago) පර්යේෂකයන් මෙහිදී ඔහුගේ ප‍්‍රගතිය විමසා බලා සෑහීමකට පත් වුණා. මෙහිදී ලද අත්දැකීම්ද භාවිත කොට මෙවැනි බයෝනික පාදයක් වෙළඳ පොළට යවන්න නම් තවත් කලක් යන බවයි ඔවුන්ගේ අදහස.

ඒ නිසා වවුටර්ට මේ කෘති‍්‍රම පාදය ඔවුන්ට බාරදීලයි ගෙදර යන්න සිදු වුණේ. පඩිපෙළක් නැඟීමට, එහිදී පාදය හසුරුවන හැටි ආදිය ඇතුළත් මේ අභ්‍යාසය මේ අංශයෙන් වෛද්‍ය තාක්ෂණයේ සිදු වූ පුරෝගාමී කටයුත්තක්.

සිතිවිලිවලින් පාලනය කළ හැකි කෘති‍්‍රම අත් භාවිතයට ඇවිත් වසර කීපයක්. ඒත් මේ දියුණුව තවමත් පාදවලට එක් වුණේ නැහැ. ඒත් පාද ඉවත් කිරීමට සිදු වන සංඛ්‍යාව දැන් අත් අහිමි වන අයට වඩා බොහෝ සෙයින් වැඩියි, ඒ නිසයි පර්යේෂකයන් මේ අතින් වෙහෙසෙන්නේ.

 
චිකාගෝ පුනරුත්ථාපන ආයතනයේ පර්යේෂකයන් පිරිස ඔවුන්ගේ ජයග‍්‍රහණයෙන් පසු සැක් වවුටර් (මැද) සමග කැමරාවට මුහුණ දුන් අන්දම.

 
බයෝනික පාදයෙන් ඉහළටම නැග්ග සැක් වවුටර් විලීස් කුලූනු ගොඩනැගිල්ල මුදුනේ සිට පහළ බලන අයුරු

 
චිකාගෝ පුනරුත්ථාපන ආයතනයේ පර්යේෂකයන් කියන විදියට ඔවුන්ගේ බයෝනික වෛද්‍ය අංශය මේ බයෝනික පාදය පිළිබඳ පර්යේෂණ තවමත් අවසන් කර නැහැ. මෙය ඔවුන්ගේ අත්හදා බැලීම්වල එක් සාර්ථක අවස්ථාවක් පමණයි.

දැනට 31 වැනි වියේ පසුවන සැක් වවුටර්ට අතරමඟ නොනැවතී එහි මුදුනට පඩිපෙළ දිගේ යන්න පැයකටත් අඩු කාලයක් තමයි, ගත වුණේ. ”මම මේ කටයුත්තට ඉදිරිපත් වුණු එක හේතුවක් තමයි, මේ චිකාගෝ පුනරුත්ථාපන ආයතනයේ අය මට කළ උදවුවලට ප‍්‍රතිඋපකාරයක් කරන්න මට අවශ්‍ය වීම. මම මේ පඩි නැග්ගේ ඔවුන්ගේ කටයුතුවලට මට උදවුවෙන්න හැකි හොඳම ආකාරය එයයි කියා මට වැටහුණු හින්දයි” වවුටර් කියන්නේ ඉමහත් සතුටින්.

”අනතුරට කලින් නිතරම මං දුවන්න ආසා කළා, එත් ඊට පස්සෙ මට හිතුන ආයිත් කවදාවත් මට ඒ විදියට සකි‍්‍රයව ජීවත් වෙන්න ලැබෙන්නෙ නෑ කියලා.

”ඔවුන් මට දුන්න දේ බොහොමයි. මට ආපසු මගේ ජීවිතය ලැබුණා. තාත්තා හැටියට මට මගේ පවුලේ කටයුතු ඉටු කරන්න පුළුවන්. ඔවුන් නිසා තමයි, මට මේ තත්වය ලැබිලා තියෙන්නෙ.

”මට දැනුනා මා සූදානම් බව, මානසිකවත්, කායිකවත් මේ පඩි නැඟීමට. මං බලාපොරොත්තුවෙන් උන්  දෙයක් ඒක. මට ඒකෙන් ලොකු සතුටක් ලැබුණා. මට ඇත්තටම මගේ ශක්තිමත් බව දැනුණා. මං ඒක කිසිම ප‍්‍රශ්නයක් නැතිව විශිෂ්ට ලෙස අවසන් කළා.

”වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම මේ දක්වා මා සමග ලොකු දුරක් ආවා. ඔවුන් මට දුන්න සහයෝගය ගැන කියන්න වචන නැහැ.

”ඒ කුලූන මුදුනේ ඉඳලා බලන කොට පුදුම හිතුණා. ඒ වගේ දසුනක් මං බලාපොරොත්තු වුණේ නැහැ, අවසානයේදි. කිසිම අපහසුවක් නැතිව ඉහළට නඟින්න මට හැකි වුණා.” වවුටර් පී‍්‍රතියෙන් ඉපිලෙමින් කියනවා.

 
අමතක නොවන දිනයක්. බයෝනික පයකින් චිකාගෝ උසම ගොඩනැගිල්ල නැඟි අවස්ථාව.

 
ජෛව වෛද්‍ය ඉංජිනේරුවරියක වූ ඇනී සිමොන් (වමේ) හා කෘති‍්‍රමාංග පර්යේෂක එලිසැබත් හැල්ස්නේ යන දෙදෙනා මේ කෘති‍්‍රම පාදය සවි කරන්නේ පුහුණු සැසියකදීයි.

පඩි නැඟීම සඳහා සූදානම් වීමට සැක් හා විද්‍යාඥයන් පිරිස පැය ගණනක් ගත කළා පාද චලනයන් සැකසීමට. වවුටර්ගේ කලවයේ ඉලෙක්ට්‍රෝඩ එකොළහක් තැන්පත් කළා, බයොනික පාදයේ ඇති ක්ෂුද්‍ර පරිගණකයට අවශ්‍ය දත්ත ලබා ගැනීමට. ඔහුගේ සිතිවිලිවලින් තමයි ඒ අනුව ඔහුගේ ආවේගයන් කෘත‍්‍රිම පාදයට ලැබුණේ.

ගෘහස්ථව ඔහුට මේ පයින් පාපන්දුවකට පා පහරක් දෙන්න පුළුවන්. කාමරය තුළ ඇවිදින්න, පඩි නගින්න ඔහුට පුළුවන්.

2009 දී සිදු වූ අනතුරෙන් ඔහුගේ කකුල කපා දමන්නට සිදු වුණාට පස්සෙ ශල්‍ය වෛද්‍යවරුන් දුර දක්නා නුවණ නිසයි, ඔහුට මේ පරීක්ෂණයට එක් වීමට අවස්ථාව ලැබුණේ.

 
චිකාගෝ පුනරුත්ථාපන ආයතනයේ බයොනික වෛද්‍ය අංශයේ ප‍්‍රධාන පර්යේෂක ආචාර්ය ලෙවි හාග්‍රෝව් ඔවුන් විසින් තැනූ ඒ කෘති‍්‍රම පාදයක් පරීක්ෂා කරන අයුරු.

 
මේ තමා උතුරු ඇමෙරිකාවේ උසම ගොඩනැගිල්ල විලිස් කුලූන. 2009 දී තමයි, ඒ විදියට නම් කළේ. කලක් මෙය ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස කිරුළු පැලඳ සිටියා, ඒ කාලේ එහි නම සියර්ස්.

ඔහුගේ සැත්කම සිදු කරද්දී ශල්‍ය වෛද්‍යවරයා ඔහුගේ පාදයේ පහළ කොටසට පණිවිඩ ගෙන යන ස්නායු පොකුර ඔහුගේ පාදයේ ඉහළ කොටසේ මහා කණ්ඩරාවේ පේශීන්වලට ප‍්‍රතිස්ථාන ගත කර මසා දැමුවා.

මෙය හැඳින්වෙන්නේ ඉලක්කගත පේශී ප‍්‍රතිස්නායුකකරණය (targeted muscle reinnervation) කියායි. එවිට අනාගතයේ දී සැක්ට බයොනික පාදයක් සවි කළ හැකි වෙනවා. ඒ වෙනකොට එවැනි පාදයක් තනා තිබුණේ නැහැ. තවමත් සම්පූර්ණයෙන් එවැන්නක් නිපදවා නැහැ.

 
එදා සැක්ට පාදය අහිමි වුණේ මෝටර් සයිකල් අනතුරකින්. ඔහු අද ඇමරිකාවේ උසම ගොඩනැගිල්ලට නගිනවා, පැයකටත් අඩු කාලයකදී.

පර්යේෂකයන් මෙහිදී පෙන්වා දෙන්නේ ආරක්ෂාව ඉතා වැදගත් වන බවයි. බයොනික අතක් හදිසියේ අකි‍්‍රය වුණොත් අතේ තියෙන වීදුරුවක් අත ඇරෙනව වගේ දෙයක් විතරයි වෙන්නෙ. ඒත් බයොනික පාදය අකි‍්‍රය වුණොත් පඩි නඟින අතරේ ඔහු පඩිපෙළ දිගේ පහළට වැටෙනවා. ඒ අනතුරේ බරපතලකම කියන්න බැරි තරම්.

ඩොලර් මිලියන 8ක් වැය වන මේ ව්‍යාපෘතියට ආයෝජනය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවයි. මේ සඳහා වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයත්, මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයත්, රෝඞ් අයිලන්ඞ් විශ්ව විද්‍යාලයත්, නිව් බර්න්ස්වික් විශ්ව විද්‍යාලයත් දායකත්වය සපයනවා.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

6 Comments

  1. බොහොම වටින ලිපියක්. වටිනා කම කියල වැඩක් නෑ. බොහොම ස්තුතියි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  2. මේ ගමන නැවැත්විය නොහැක!

    ReplyDelete
  3. සෙල්ලම් නැහැ දැන් විද්‍යාව හරිම දියුණුයි

    ReplyDelete
  4. අයියෝ දෙවියනි ;-)

    ReplyDelete
  5. ඉදිරි අනාගතේ දවසක අත පය කැඩුන ගමන්ම අලුත් කෑල්ලක් හයි කරන්න පුලුවන් තත්ත්වයක් ඒවි. ඒක වැඩි ඈතක් නෙමේ. මිනිස් අමතර කොටස් කඩ වලින් පිරුනු පංචිකාවත්තවල් දකින්නත් ලැබේවි.

    බොහොම බලගතු අදිශ්ඨානයක්. මට ස්වාභවික දෙපා තියාගෙනත් තට්ටු හය හතකට වැඩිය නගින්ඩ බෑ එක දිගට.

    මේ විස්තර කිව්වටත් ස්තූතියි.

    ReplyDelete