3

අභ්‍යවකාශයේ වුවත් දිවි රැකගත හැකි සුපිරි සතෙක්! හමුවන්න, සුපිරි කීඩෑවන්!

ගැඹුරු අභ්‍යවකාශයේ විනාශකාරී පරිසරයක වුනත් දිවි රැකගත හැකි එකම එක සතයි, මුළු ලෝකයෙන් ම ඉන්නේ. ඒ තමයි දිය වලසා (water bear). ‘මන්දගාමී කීඩෑවා’ යන අරුතින් ඌව ‘ටාඩිග්රේඞ්’ (tardigrade) කියලයි නිල වශයෙන් හඳුන්වන්නෙ. ඌ දිග ප‍්‍රමාණයෙන් මිලිමීටරයෙන් පංගුවක් තරම් කුඩා වුනත් පොකුණු ජලාශ ආදියෙහි ඉතා අලස ජීවිතයක් ගත කරතත් ඌ කෙසේවත් විනාශ කළ නොහැකි සතෙක්. අසීමිත දිවි රැක ගැනීමේ ශක්තියක් ඌට තියෙනවා.

උගේ පරිසරය නිරපේක්ෂ උෂ්ණත්වයට පහත් කළත්, එනම් සෙල්සියස් -275 දක්වා අඩු කළත්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 151 ටත් වැඩි ප‍්‍රමාණයකට වැඩි කළත්, එහෙමත් නැත්නම් එහි ජලය නොමැතිව අවුරුදු දහයක් පහළොවක් තරම් කාලයක් තිබුවත්, මොන ආකාරයක හෝ පීඩනයකට ලක් කළත් මේ සතා විනාශ කරන්න ඔබට හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ සතා විකිරණ පිරි රික්තක අවකාශයක් තුළ තැබුවත් ඌට දින දහයක් කිසිම හානියක් නොවී දිවි රැක ගන්න පුළුවන්.

ඌ අපේ ගෙවත්තේ, අප ජීවත්වන පරිසරයේ, සමහර විට අපේ සිරුරේ ජීවත්වන ඉතා කුඩා කීඩෑවන් අතරින් එකෙක් විතරයි.

 
මේ තමා ‘දිය වලසා’ කීඩෑවන්ගේ ලෝකයේ ‘ආනෝල්ඞ් ෂ්වාසෙනෙගර්’ (ශක්තිවන්තයා)

 
‘දිය වලසා’ 500 ගුණයක් විශාලනය කළ විට පෙනෙන්නේ මෙහෙමයි. මෙහි කොළ පැහැති ඉති ඉතා ඒ සතා වෙසෙන කුඩා පෙඳ වර්ගයක පත‍්‍රයි.

මෙහි පළ වන පින්තූර සියල්ල ම කැමරාවට නඟා ඇත්තේ ප‍්‍රබල මයික‍්‍රස්කෝපයක් යොදාගෙන දස දහස් වාරයක් විශාලනය කිරීමෙනුයි. සාමාන්‍ය මිනිස් ඇසට නොපෙනෙන මෙම රූප තුළින් ඔබට ඒ සතුන්ගේ ස්වභාවය ගැන යම් අදහසක් ඇති කර ගත හැකිවේවි.

මේ සතුන් කැමරාවට නඟා ඇත්තේ ති‍්‍රමාණ මයික‍්‍රස්කෝප යොදාගෙනයි. ඒ ක‍්‍රමයට මොවුන්ගේ රූ ඡායාරූපයට නැෙඟන්නේ ඒ සතුන් මතට වැටී ආපසු විහිදෙන ඉලෙක්ට්‍රෝන භාවිත කරමිනුයි.

මෙම රූප තුළින් මිනිස් අංශ ලක්ෂණ විදහා පාන්නේ යැයි සිතන තරමට මේ පින්තූර විස්මිතයි. 500 ගුණයක් විශාලනය කළ ‘දිය වලසා’ දෙස බලන්න. අපට පෙනෙන්නේ ඌ කැමරාවට සිනා සෙනවා වාගෙයි. මේ දුනුවල්ලා නමින් හැඳින්වෙන ක්ෂුද්‍ර ජීවියාගේ කන් නිසා ඌ හරියට සාවකුට සමානයි.

මේ ෂට්පාදියා (hexapod) හමු වූයේ කොළ රොඩුගොඩක් සමග සිටියදියි. ඌට එක පිම්මකදී තමන්ගේ සිරුරේ දිග මෙන් සිය ගුණයක දුරක් පනින්න පුළුවන්.

 
මේ පෘථිවි ග‍්‍රහයා මත බහුලව වෙසෙන ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් වූ දුනුවල්ලා (springtail) විශාලනය කළ විට පෙනෙන හැටි. සෑම පස් ඝන මීටරයකම මේ කුඩා සතුන් ලක්ෂයක් පමණ ඉන්නා බවයි කියන්නේ.

 
මදුරු කීටයෙක්, උගේ මුහුණ සවිස්තරව පෙනෙන සේ දහස් ගුණයක් විශාලනය කළ විට පෙනෙන හැටි.

 
මෙහි ඉන්නා අනෙක් කීඩෑවන් මෙන් නොව වෙල්වට් කීඩෑවා සෙ.මී. 2ක් තරම් දිගට වැඩෙනවා.

 
මේ ඉහඳ පණුවකු කොම්පෝස්ට් ගොඩක කොළ රොඩු විකා දමන අයුරු.

වෙල්වට් කීඩෑවා පසේ ඉහළ තට්ටුවල ජීවත්වන්නෙක්. ඌ විශාලනය කර බලන කොට දිවිමකුළුවට වැඩිය බයක් හිතෙනවා. මේ විලෝපික ඇරක්නිඩාවට වෙල්වට් කීඩෑවා යන නම ලැබුණේ උගේ ඇති වෙල්වට් පෙනුම නිසයි. සේද ‘පට’ පණුවාත්, කටු සහිත සිරුරක් ඇති සලබ දළඹුවාත් මේ රූප එකතුවේ ඉන්නවා. මේ දෙදෙනාටම සිල්ක් හෙවත් සේද නූල් නිපදවන්න පුළුවන්.

විශාලනය කළ ඉහඳ පණුවා උගේ රතු ඇස් එක්ක බැලූවාම පය හිතෙනවා. ඒත් ඌ අහිංසකයෙක්. නිල් බෝතල් මැස්සාගේ කීටයාට දළ දෙකක් වගේ තිබුණාට ඌත් අහිංසකයෙක්.

 
මේ දකුණු හා මධ්‍යම යුරෝපයේ හමුවන සලබයකුගේ දළඹු අවස්ථාවක්. මිනිසාගේ මිතුරකු නොව සතුරකු ලෙස සැලකිය හැකි ඌ සමේ කැසිල්ලක් (උත්කෝපනයක්) හා ඇදුම ඇති කිරීමට සමත් සතෙක්.

 
මේ සේද පණුවාගේ සලබ අවස්ථාවයි.

 
මේ මිනිස් හිසේ දී හමුවන උකුණෙක්. මිලිමීටර් දෙකකට වඩා දිග නැති මේ මැක්කියක් වරකට බිත්තර 80-100 ක් පමණ දමනවා. බිත්තරයක් පරිණත වී උකුණකු වන්නට ගත වන්නේ සති තුනක කාලයක් විතරයි.

 
ඔබේ පූසා ඇඟ කසන්නේ මෙන්න මේ සතා නිසයි. මේ බළල් මැක්කෙක් (cat flea) 1000 ගුණයකින් විශාලනය කරලා.

මෙහි එක් පින්තූරයක ඉන්නවා, මිනිස් ලේ උරා බොන උකුණෙක්. ඔබට පෙනේවි ඌ කෙස්ගස් අතර රැඳී ඉන්නා හැටි. ඒ වගේම බළල් ලෝම අතර ඉන්නා මැක්කෙක්, බිහිසුණු පෙනුමක් ඇති මදුරු කීටයකුත් මේ පින්තූරවල ඉන්නවා.

මේ පිළිබිඹු කැමරාවට නඟා ඇත්තේ ජර්මනියේ පිහිටුවා ඇති ‘අයි ඔෆ් සයන්ස්’ (Eye of Science) ආයතනයට අයත් නවතම අධි තාක්ෂණික මෙවලම් යොදා ගෙන විද්‍යාත්මක රූප ගන්නා විශේෂඥ කැමරාශිල්පීන් පිරිසක් විසිනුයි. එම ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ලන්ඩනයේයි. ලන්ඩන්හි විද්‍යා ඡායාරූප පුස්තකාලය (Science Photo Library) නම් එම ආයතනය ලොව පුරා පර්යේෂකයන් සඳහා අවශ්‍ය ඡායාරූප හා අධ්‍යාපනික ද්‍රව්‍ය සපයනවා. ඒ වගේ ම ලොවපුරා පර්යේෂකයන් හා විද්‍යාර්ථීන් විශාලනය කිරීම සඳහා නිදර්ශක පවා එම ආයතනයට එවනවා.

 
මේ ලිපිය කියෙව්වා නම් ඔබට මේ සතා අඳුනා ගන්න පුළුවන්. මේ හිස නිල්බෝතල් මැස්සාගේ කීටයාගෙයි.

 
රොකී කඳු වැටියේ දී හමු වූ දැව කිණිතුල්ලෙක්. මිනිස් ලේ උරා බිව්වොත් නොසිතිය හැකි තරම් ලොකු වෙනවා.

විද්‍යා ඡායාරූප පුස්තකාලයෙහි මාක් ඇබට් කියන්නේ, ”ඉස්සර නම් මෙවැනි පින්තූර අරන් දුන්නේ පර්යේෂණ කටයුතුවලටම පමණයි. නමුත් දැන් එහෙම නැහැ. මහජනතාව මේ පිළිබඳව දක්වන උනන්දුවක් දක්වන නිසා අප ඒවා මේ ආකාරයට කාටත් බලාගන්න පුළුවන් වෙන විදියට නිකුත් කළා.

පියවි ඇසට නොපෙනෙන වයිරස හා ක්ෂුද්‍ර ජීවීන්ගේ විශාලනය කළ රූප බලන්නට ජනතාව කැමති නිසයි, මෙසේ නිකුත් කරන්නේ. මේ වගේ වඩාත් කැමැත්තක් දක්වන්නේ ළමයින්. මේ පින්තූරවලින් ඔවුන්ගේ අධ්‍යපනයට ලැබෙන්නේ ලොකු පිටුබලයක්.

”විශාලනය කර දෙන්නැයි ඉල්ලමින් දිනපතා අප වෙත එවන නිදර්ශක ගණන අසීමිතයි. බොහෝ ඒවා පියවි ඇසට නොපෙනෙන ඒවායි. ඒවා අප වෙත ලැබුණු පසු රන්පත‍්‍රයක් ඒ මත තබා අප ඒවා මයික‍්‍රස්කෝපය යටින් තියෙනවා. ඉන්පසු විශාලනය කර පින්තූර ගන්නවා.” මාක් ඇබට් තව දුරටත් ඒ ගැන පැහැදිලි කළා.

 
මේ ක්ෂීරපායී සතකුගෙන් ලේ උරා බිව් කිණිතුල්ලෙක් බලන්න විශාල වී ඇති තරම.


Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


3 අදහස්:

amila chathuranga said...

ලස්සන කලෙක්ෂන් එකක්....

සාතන් said...

නියමයි

farzan said...

නියමයි...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top