2

ජපානයෙන් අමුතු වුල්වරීන් දිය මැඬියෙක් හමුවෙයි! මනෝලෝකයේ ලක්ෂණයක් හැබෑ ලෝකයට ආ අවස්ථාවක්!

චිත‍්‍රකතා වීරයන් ළමා වියේ අය අතර පමණක් නොව වැඩිහිටි අය අතර ද එකසේ ජනපි‍්‍රයයි. ඒ චරිත මනඃකල්පිත ලෝකයට අයත් වුවත් සැබෑ ලෝකයේ ඒවා මෙන් තමයි කුඩා කල අපට දැනුණේ. ඒවා ඊළඟට සැබෑ ඒවා ලෙසින් පෙනුණා සිනමාවට නැඟීම නිසා.

ඔබට මතකද? මෙය වඩාත් සුවිශේෂයි, එක්ස්-මෙන් (X-Men) කොමික්වල ආ වූල්වරින් චරිතවලට. ඒ වුල්වරීන් සටනට බට විට ඇඟිලිවලට පිටින් යකඩ කොකු වලින් සැදි අතක් එළියට පනිනවා. එක්ස්-මෙන් චිත‍්‍රපට මාලාවේ දී මේ වුල්වරින් සැබෑ චරිත වුණේ සිනමා උපක‍්‍රම නිසා.

ඒත් සැබෑ ලෝකයේත් මේ වගේ උපක‍්‍රම යොදන සතුන් ඉන්නවා කීවොත් ඔබ වුල්වරීන් දුටුවාටත් වඩා මවිත වෙනවා සිකුරුයි.

ජපාන පර්යේෂකයන් පිරිසක් එවැනි හැකියාවක් ඇති සතෙක් සොයා ගෙන තියෙනවා. ඒ දුලබ ගනයේ ගෙම්බෙක්. හරියටම කියනවා නම් දිය මැඬියෙක්. නම ඔටොන් දියමැඬියා (Otton frog). සත්ව විද්‍යානුකූලව හැඳින්වෙන්නේ බාබිනා සබස්පෙරා (Babina subaspera) කියලයි. මේ සතා සටනේදීත් එක්වීමේදීත් අතේ ඇඟිලිවලට පිටින් තියුණු උල් පිටතට දමනවා.

ගැහැනු පිරිමි දෙපක්ෂයටම මේවා තිබුණත් ප‍්‍රයෝජනය ගන්නේ පිරිමි සතා විතරයි. එක්වීමේදී ගැහැනු සතාගේ සිරුරට ඇලී සිටීමට මේවා පාවිච්චි කරනවා.

 
රහසක් සඟවා ගත් දියමැඬියා - ඔටෝ මැඬියාගේ මහපටැඟිල්ල අස්සේ සැඟවුණු කටුවක්.

 
මේ දිය මැඬියාගේ මහපටැඟිල්ල අස්සෙන් එළියට එන උල් කටුව

දකුණු ජපානයේ අමාමි දූපත්වල තමයි, මේ ඔටොන් දියමැඬියා හමු වන්නේ. ඔවුන්ගේ ස්වාභාවික ජීවන පරිසරය වන්නේ නිවර්තන හා උපනිවර්තන කලාපයට අයත් පහත් බිම්වල තෙත් වනාන්තර හා මිරිදිය වගුරු ආදියයි.

අද ඔවුන් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත්තේ මිනිසා විසින් ඔවුන්ගේ ජීවන පරිසරය විනාශ කිරීමත් මුගටියන්, හෝතඹුවන් වැනි සතුන් විසින් දඩයම් කරනු ලැබීමත් නිසායි.

මේ පිළිබඳ අධ්‍යයනයක් කරනු ලැබුවා, තෝකියෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නොරිකෝ ඉවායි ප‍්‍රමුඛ කණ්ඩායමක්. මෙහි විස්තර සහිත අධ්‍යයනය සත්ව විද්‍යා ජර්නලයේ (Journal of Zoology) පළ වී තියෙනවා.

පර්යේෂක කණ්ඩායම දකුණු ජපානයේ අමාමි දූපත්වලට ගිහින් තමයි, බාබිනා සබස්පෙරා (Babina subaspera) නම් දියමැඬි විශේෂය ගැන මෙම අධ්‍යයනය කළේ.

බොහෝ දියමැඬියන්ට මෙන් නොව මෙම සතුන්ට පාදවල අතිරේක ඇඟිල්ලක් වැනි යමක් තියෙනවා. හරියට ලතින් ඇමරිකාවේ හිප්සිබෝස් රොසෙන්බර්ජි නම් මැඬි විශේෂයට ඇති පස්වැනි ඇඟිල්ල වගේ.

සමහර සත්ව විශේෂවල ඇති මේ පස්වැනි ඇඟිල්ල පරිණාමීය අබිරහසක් ලෙසයි පවතින්නේ. ඒත් ඔටොන් මැඬියාගේ වැඩිපුර ඇඟිල්ල ඇතුළේ අවියක් ලෙස පාවිච්චි කළ හැකි කටුවක් තියෙනවා. ක්ෂේත‍්‍ර අධ්‍යයනයේදී ඔවුන්ට එහි රහස එළි කර ගන්න හැකි වුණා.

ආචාර්ය ඉවායි දුලබ දියමැඬියන් ගැන අධ්‍යයනය කරන්නේ 2004 සිටයි. ඇගේ අධ්‍යයනය ඔස්සේ ඒ සත්ව විශේෂයන්ගේ ව්‍යාප්තිය, අභිජනන පුරුදු හා ජීවන පරිසර පරාසයන් ආදිය ගැන විමසනු ලැබුවේ සංරක්ෂණ උපාය මාර්ග සැකසීම සඳහා දායකත්වයක් සැපයීම පිණිසයි.

ඔටොන්ගේ මේ ව්‍යාජ මහපටැඟිලි භාවිතය ගැන ගවේෂණය කිරීමේදී ඇයට දැක ගත හැකි වුණා, මේ කටුව ගැහැනු පිරිමි දෙපක්ෂයටම ඇති බව. එහෙත් ඒවා භාවිත කරන්නේ පිරිමි අය පමණක් බවත් හෙළි වුණා.

පිරිමි සතුන්ගේ ව්‍යාජ මහපටැඟිලි ගැහැනු සතුන්ට වඩා විශාලව පිහිටා ඇති බව ඇය නිරීක්ෂණය කළා. ආචාර්ය ඉවායි විශ්වාස කරන්නේ ඒවා පරිණාමය වී ඇත්තේ එක්වීමේ ගැහැනු සතා වැළඳ ගැනීමට කියායි. ඒ කටු හැඳින්වෙන්නේ ‘ඇම්ප්ලෙක්සස්’ (amplexus) යන ලතින් වදනින්. එහි අරුත ආලිංගන යන්නයි.

”ඒ ව්‍යාජ මහපටැඟිල්ල පරිණාමය වී ඇත්තේ අභිජනනයට උදවු වීමට වුවත්, තරගකාරී පිරිමි සතුන් හා සටන් කර ඔවුන් පලවා හරින්නට එය යොදා ගන්නා බව දැන් පැහැදිලියි” ආචාර්ය ඉවායි කියනවා.

 
ඔටොන් දියමැඬියාගේ ඇඟිල්ලේත් ඇතුළට ඇද ගන්න පුළුවන් කටුවක් තියෙනවා. මේ ‘එක්ස්-මෙන්’ චිත‍්‍රපටයේ හියු ජැක්මන් වුල්වරින් ලෙස ඇඟිලි අතරින් තියුණු කටු ඉවතට විදැහූ අවස්ථාවක්.

”මේ පිරිමි සතුන් අල්ලා ගත් සැණෙන් ඔවුන් පහර දෙන්නට වාගේ මේ කටුව පිටතට එවනවා. එසේ ම සටන් කිරීම නිසා මේ කටුවලින් සිදු වූ තුවාල පිරිමි සතුන්ගේ කොන්දේ දැක ගත හැකියි.”

මේ අමාමි දුපත්වල මැඬියන්ට දිවි රැක ගෙන වර්ගයා බෝ කරන්නට මේ අවිය වැදගත් මෙහෙයක් ඉටු කරන්නට ඇති.

තනිව හිඳින මැඬියන් කැදලි තනන්නට තැනක් තෝරා ගන්නට සටන් වදිනවා. පිරිමි සතකුට සෑම රැයකම එක්වීම සඳහා ගැහැනු සතකු සොයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා තරගකරුවන් හා සටන් කර ඔවුන් පලවා හැරීමේ හැකියාව ජයග‍්‍රාහකයාට තියෙන්න ඕනෑ.

”මේ මැඬියන් සටන් කරන්නේ එකිනෙකා වැළඳ ගෙන කටුවලින් ඇන ගනිමින්. එයිනුත් තහවුරු වෙනවා මේ කටු මුලදී යොදා ගන්න ඇත්තේත් ආලිංගනයට බව. මේ අත්වල පිහිටීම හා ඒවා පරිණාමය වූ අන්දම ගැන තවදුරටත් හැදෑරීම් කළ යුතු යැයි ඇය අවසන් වශයෙන් කියනවා.

 
මේ සතාගේ ව්‍යාජ මහපටැඟිල්ලේ ඇති සැඟවුණු නිය (දකුණේ)

 
පර්යේෂකයන් සොයා ගෙන තියෙනවා මේ මහපටැඟිල්ල අභිජනනයේදී ගැහැනු සතුන් ආලිංගනයට යොදා ගන්නා බව.

Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


2 අදහස්:

සෙන්නා said...

බළලුන්ගෙත් ඔහොම නේද නියපොතු පිහිටලා තියෙන්නෙ ? ඕනා වුනාම එළියට ඇදලා ගන්න..

Gayani Wedage said...

තවත් වැදගත් ලිපියක්.ඔබට ජය!
http://manasindiviyata.blogspot.com/

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top