HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘ෆියර්ලස් ෆීලික්ස්’ගේ උඩුගුවන් පිම්මේ සම්පූර්ණ කතාව! මරණයේ දොරකඩට ගිහින් ආපු හැටි!

මරණයේ දොරකඩට ගිහින් ආපු හැටි ෆියර්ලස් ෆීලික්ස් කියයි. ගුවන්කරණම්කරුගේ සුපර්සොනික් වේගය ගනිද්දී ලත් අත්දැකීම්.

‘ඒක හරිම භයානක අත්දැකීමක්! අපායට ගියා වගෙයි දැනුනෙ’ සුපර්සොනික් ගුවන්කරණම්කරු ෆියර්ලස් ෆීලික්ස් බේරුණේ නූලෙන්! ඔහු ‘මරණීය භ‍්‍රමණය’ට අසු වුණා. ඒ බව ඔහුගේ ශීර්ෂාවරණයේ සවිකළ කැමරාවෙන් බිම පාලක මැදිරියේ සිටි අයටත් අන්තර්ජාලය හරහා ඒ දුටු මිලියන සංඛ්‍යාත නරඹන්නන්ටත් දැක ගත හැකි වුණා.

උඩුගුවනේ සිට නිදහසේ බිමට ඇද වැටෙද්දී එක්වරම ඔහු ‘මරණීය භ‍්‍රමණය’ට ලක් වුණා. ඔහුට තත්පර කීපයක් විතර ඒ තත්වය පාලනය කර ගත නොහැකි වුණා. ඒ සිදුවුණේ ඔහු පැයට කිලෝමීටර් 834ක සුපර්සොනික් වේගය ලබා ගන්නට ආසන්නව තිබියදීයි.


”ඒ වගේ අවස්ථාවකදී, එහෙම භ‍්‍රමණය වෙන්න පටන් ගත්තා ම අති භයානක තත්වයක් ඇති වෙන්නෙ. ඒ වගේ දෙයකින් මිදෙන්න කොහොමද කියලා හිතා ගන්නත් බෑ.” ෆීලික්ස් කියනවා.

”කැප්සියුලයෙන් පිටවීම හොඳින් සිද්ධ වුණා. එත් මාව හෙමින් කැරකැවෙන්න පටන් ගත්තා. මං හිතුව වරක් දෙකක් කැරකිලා නතර වෙයි කියලා. ඒත් ඒ කරකැවිල්ල තවත් වේගවත් වුණා.

”ඇඟට කියන්න බැරි තරම් ලොකු අමාරුවක් දැනෙන්න පටන් ගත්තා. මං මොහොතක් කල්පනා කළා. මට සිහි නැති වෙන්න යනවා වාගෙ දැනුණා.” ඔහු කියනවා.

මේ සිද්ධිය වන විට මිලියනසංඛ්‍යාත ජනකායක් බියෙන් ඇලළිලා ඒ දෙස අන්තර්ජාලයෙන් බලා සිටියා. (මල් කැකුළු ඔස්සේ ඔබත් දකින්නට ඇති.) මෙසේ පහළට වැටෙන ආකාරය ගැන අත්දැකීම් ඇති කර්නල් කිටින්ගර් ඇතුළු විශේෂඥයන් සැණෙන් තේරුම් ගත්තා, ඒ විදියට භ‍්‍රමණය වන විට ෆීලික්ස්ගේ ජීවිතය අනතුරේ බව. එහෙත් බිම පාලක මැදිරියේ සිටි ඔවුන්ට ඒ සඳහා කිසිවක් කළ හැකි වුණේ නෑ.

අඩි 1,28,000ක් ඉහළ අහසේ දී ඔහුට මුහුණ පාන්නට වන අවදානම් තත්වය අනුව ඔහුට හිසරදයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවක් සිදුවිය හැකියි. මානසික ව්‍යාකූලත්වය නිසා ඇස් පෙනීම නැතිවීයාමක්, සිහිමුර්ඡුා වීමක් සිදු වෙන්න පුළුවන්.

අනෙක් අතට ඇස් පුපුරා පිටතට එන්න පුළුවන්. ඒක සිදුවන්නේ ගුරුත්වාකර්ෂණයේත් සිරුරේ හා වායුගෝලයේ ඇති වන පීඩනයේත් සිදුවන වෙනස්කම්වල පරස්පරතා නිසයි. මෙහිදී ඇති වන දැඩි පීඩනය පිට වන්නේ අක්ෂිගෝලයේ කුහර තුළින්.


 
ෆීලික්ස් පැයට සැතැපුම් 834රේ සුපර්සොනික් වේගය ලබා ගනිද්දී පාලනයෙන් තොරව ඔහුගේ සිරුර භ‍්‍රමණය වන්නට වූ අවස්ථාවේ දී ඔහුගේ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයට සවිකර ඇති කැමරාවෙන් පෙනුනු හැටි.

 
මරණීය භ‍්‍රමණය - නිදහසේ පහළට වැටෙද්දී එක්වරම ඔහුගේ සිරුර වේගයෙන් කැරකෙන්නට වූ අයුරු.

බිහිසුණු බමනය: මිලියන ගණනක් දෙනා අන්තර්ජාලය ඔස්සේ මේ නිදහස් පිම්ම බලා සිටි අතර ඒ පිළිබඳ විශේෂඥයන්, ෆීලික්ස් මුහුණ පා සිටින මාරක අනතුරුදායක තත්වය වහා තේරුම් ගත්තා. ඔහුගේ සිරුර දික් අතට කැරකීම, එනම් ඉණට සමාන්තරව හිසත් දෙපාත් භ‍්‍රමණය වීම, භායනක අවසානයක පෙර නිමිත්තක් බව ඔවුනට පෙනී ගියා.

 
ෆීලික්ස් ඔහුගේ මෙහෙයුමෙහිදී පිම්ම සිදු කළ අන්දම.

”මට ඒ කරකැවුණු අවස්ථාවේදී මුල තත්පර 10, 20 තුළදි හිතුනෙ නෑ මාව මැරෙන්න යනව කියලා. ඒත් මට ඒ වාර්තාව පිහිටුවන්න බැරිවෙයි කියල හිතේ දුකක් ඇති වුණා. ඇයි මං ඒකට හත් අවුරුද්දක් තිස්සෙම මහන්සි වුණානෙ.

”ඇත්තෙන්ම ඒ වෙලාවෙ බය හිතෙන දෙයක් සිද්ධ වුණේ. මට ලොකු සටනක් කරන්න සිද්ධ වුණා පහළට ඒමෙදි. මම දැනගෙන හිටියා මට කොයි මොහොතෙ හරි ඒක පාලනය කර ගන්න පුළුවන් වෙන වෙලාවක් එයි කියලා.”

පාලක මැදිරියෙ බලන් උන්නු අය පුදුම විදියට බය වුණා, ඒ අයගේ පාලනයෙන් තොරව උදා වුණු ඒ තත්වය ගැන. ෆීලික්ස්ගෙ භ‍්‍රමණය වීම දිගටම සිදු වුනොත් වෙන දේ ගැන දන්න නිසා දෙගිඩියාවෙන් ඒ දිහා ගල් ගැහිලා බලන් උන්නෙ. ඔවුන්ට කරන්න දෙයක් තිබුනෙ නෑ, බිම ඉඳලා.

ඒත් ඒ අයගෙ පපුවලට ලේ පොදක් ඉනුවෙ ඔහු ඊළඟ මොහොතේ ඒ භ‍්‍රමණය පාලනය කර ගත් නිසයි.
තවත් මිනිත්තු පහකට පස්සේ පැරචූටය විවෘත වෙනවා පෙනුනා. බලා උන් මිලියන ගණනක් දෙනා සැනසුම් සුසුමක් හෙළුැවේ ඉන් පසුවයි. දැන් ඉතින් හරි, ෆීලික්ස් බෝම්ගාට්නර් තව මොහොතකින් පොළොව මත පතිත වෙනවා, ඉතිහාසයේ ප‍්‍රථම වරට උසම හා වේගවත්ම ගුවන්කරණම සම්පූර්ණ කරමින්.

අයහපත් කාලගුණය නිසා දින ගණනකින් පමා වූ මේ වික‍්‍රමාන්විත පිම්ම සම්පූර්ණ කළ ‘ෆියර්ලස්’ ෆීලික්ස්ට හිලියම් බැලූනයකින් නව මෙක්සිකෝවේ කාන්තාරයට ඉහළින් අහසේ අඩි 1,28,177ක් උඩට නඟින්න පැය දෙකහමාරක් ගත වුණා. ඒත් බිමට පනින්න ඔහු ගත වූයේ මිනිත්තු දහයකටත් අඩු කාලයක්.

 
පාලන මැදිරියේ බලා සිට සියලූ දෙනා ම බියෙන් ගල් ගැසී සිටියදී අවසානයේ දී කෙසේ හෝ තත්වය පාලනය කර ගැනීමට ෆීලික්ස් සමත් වුණා.

 
කාලගුණය හරස් වී පිම්ම පමා වුනත් ඔහු පැය දෙකහමාරකින් අඩි 1,28,177ක් ඉහළ අහසේ ඉලක්කයට නැඟ මිනිත්තු ගණනක් තුළ පහළට පැන තම කාර්යය සම්පූර්ණ කළා.

 
වීරයා කැප්සියුලයෙන් පැන්නා. පසුව ඔහු ඒ ආරම්භක මොහොත සිහිපත් කරමින් කීවේ මෙහෙමයි: ”විශ්වාස කරන්න, ඇත්තටම ලෝකය මුදුනේ ඉඳල බලන කොට තමයි තේරෙන්නෙ අපි කොච්චර පුංචිද කියන එක”

ඔහු දණින් හිඳිමින් අත් දෙක මිට මොලවා එකවර ඉහළට ඔසවා අහසට පහරක් දෙමින් සිය ජයග‍්‍රහණය තහවුරු කළා. පාලක මැදිරිය පිරෙන්න සිටි විද්‍යාඥයන් හා දෑස්වල කඳුළු පුරවා ගත් ඔහුගේ මව, ඊවා ඇතුළු පවුලේ අය ඒ දෙස බලා සතුටින් අත්පොළසන් දුන්නා.

පසුව ඔහු ඒ මොහොත ගැන කීවේ මෙහෙමයි: ”විශ්වාස කරන්න, ඇත්තටම ලෝකය මුදුනේ ඉඳල බලන කොට තමයි තේරෙන්නෙ අපි කොච්චර පුංචි ද කියන එක.”

”මට තවදුරටත් ඕනැ වුනේ වාර්තා තියන්නවත්, විද්‍යාත්මක තොරතුරු ලබා ගන්නවත් නෙවෙයි. මට ඕනැ වුණේ කොහොම හරි පණ බේරා ගෙන ආපසු එන්නයි”

 
වායුගෝලය අද්දර, ‘ෆියර්ලස්’ ෆීලික්ස් කැප්සියුලයෙන් පනින්න මොහොතකට පෙර.

 
එක් යෝධ පිම්මක්! ෆීලික්ස් නිදහස් පිම්ම ඇරඹූ මොහොත.

 
බිමට එද්දී ෆීලික්ස් පැයට හැතැප්ම 834ක වේගයක් ලබා ගත්තා. පැරචූටය විවෘත කළේ බිමට අඩි 5,000ක් තිබියදීයි.

මේ විදියේ පිම්මක දී ශබ්දයේ වේගය ඉක්මවා යද්දී මොන විදියේ කායික බලපෑම් සිරුරට ඇති වෙයිද කියල ඒ කිසිකෙනෙක් දැන සිටියේ නෑ. ඒත් අතරමගදී, ෆිලික්ස්ගේ පීඩනය සහිත අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය ඉරුණොත්, එහෙම නැත්නම් හෙල්මටය බිඳී ගියොත් ඇතුළේ ඉන්න ඔහුට සිදු වන දේ නම් ඔවුන් හොඳින්ම දැන සිටියා.

බැලූනය ඉහළ නඟිද්දී ආයිත් මෙහෙයුම අවලංගු කරන්න වෙයි කියල බියක් ඇති වුණා. ඒ හෙල්මට වයිසරයේ සවි කර ඇති තාප උපකරණය හරි හැටි වැඩ නොකරන බවත් ඒ නිසා වීදුරුවේ මීදුම් බැඳීමක් සිදු වන බවක් ෆීලික්ස් කිව්වට පස්සෙයි.

ඒත් ඔහුගේ උපදේශක ජෝ කිටින්ගර් එක්ක කතා කළාට පස්සේ ෆීලික්ස් එය ගණන් නොගෙන ඉදිරියට යන්න තීරණය කළා. දැනට 84 හැවිරිදි වියේ පසු වන ඇමරිකන් ගුවන් හමුදාවේ කර්නල් ජෝ කිටින්ගර් තමයි 1960 දී මුලින්ම අඩි 1,02,800ක් ඉහළ සිට පැනීමේ වාර්තාව තබා තියෙන්නේ. ඔහුගේ දිරිමත් කිරීම ෆීලික්ස්ට ඒ වෙලාවේ ශක්තියක් වුණා.

බැලූනය ඉහළට නැඟ අන්තිමේදී එක තැනකදි නතර වුණා. ඒ තමා වායුගෝලයේ ඉම. ෆීලික්ස් අවසාන වරට එහි සියල්ල හොඳින් තිබේදැයි පරීක්ෂා කර බැලූවා. ඔහුගේ විශාල ඇඳුම් කට්ටලය නිසා ඔහුට ඒ කැප්සියුලයෙහි ඇති සුළු ඉඩකඩ තුළ එහා මෙහා වීමත් අසීරු වුණා. ඔහු ඉස්සෙල්ලා කකුල් දෙක කැප්සියුලයෙන් පිටතට දැම්මා.

 
බිමට ආපසු ෆීලික්ස් ඔහුගේ කණ්ඩායමේ අයකු සමග සතුට බෙදා ගනිමින්.

කැප්සියුලයේ දොර දෙපස ඇති අත් ඇඳ දෙක අල්ලා ගෙන ඔහු ටිකක් ලොකු ස්කේට්ලෑල්ලක් තරම් වූ පිටත ‘වේදිකාවට’ නැග්ගා. අන්තිමට සැලියුට් එකක් ගහලා ඉස්සරට පැන්නා. ඒ පිම්ම ඔහුගේ සගයන් පිරිස හැඳින්නුවේ ‘හා පිම්ම’ (bunny hop) කියලයි. දෙපා එකවර ඉදිරියට දාලා ඔහු එහෙම පැන්නෙ සිරුර හරස් අතට වැටිලා ‘මාරක භ‍්‍රමණයක්’ ඇති වෙන එක වළක්වන්නයි.

ඔහුගේ පිරිස ගණන් බලා තිබුණා, පළමු වන තත්පර 50දි පැයට හැතැප්ම 700ක වේගයක් ඔහු ලබා ගනීවි කියලා. ඒත් ඔහු ඊට ගොඩක් වැඩි වේගයක්, එනම් පැයට හැතැප්ම 834ක වේගයක්, ලබා ගත්තා, මුල් තත්පර 50දි, ඒ මිනිත්තු 4යි තත්පර 20ක් වූ නිදහස් පිම්මෙදි.

ඒ වගේ ම ඔහුගේ කණ්ඩායම ගණන් බලා තිබුණා, මුහුදු මට්ටමෙන් අඩි 1,00,000කට ඉහළදි ශබ්දයේ වේග සීමාව ඉක්මවන්න නම් ෆීලික්ස්ට පැයට හැතැප්ම 690කට වැඩි වේගයකට පහතට වැටීම වැඩි කරන්න සිදු වන බව.

ශබ්දයේ වේගය වෙනස් වෙනවා, උෂ්ණත්වය හා වාතයේ වියළි ස්වභාවය අනුව. සිසිල් වාතය ඇති විට ශබ්දය ගමන් කරන්නේ වඩාත් හෙමින්. ඒත් ඔහු සමත් වුණා, ඉතාමත් වැඩි වේගයක් ලබා ගන්න. ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් එකයි කාලක විතර වේගයක්. ඔහු පොළොවට ළංවෙත්ම වේගය අඩු කරගන්න ඕනෑ. නැතිනම් පොළොවට ආසන්න වාතයේ ගනකම වැඩි නිසා ඔහු වේගයෙන් ඒ දෙසට ඇදී යනවා. ආරක්ෂා සහිතව බිමට එන්න නම් ඔහු මේ සියල්ල සැලකිල්ලට ගන්න ඕනෑ.

 
වායුගෝලයේ ඉම තෙක් ගිය ඔහු අඩි 1,28,000ක් පමණ ඉහළ දී කැප්සියුලයෙන් පිටතට ආ අවස්ථාව.

 
වායුගෝලයේ සීමාවේ දී ඔහු පිම්මට සූදානම් වෙද්දී ෆීලික්ස්ගේ දෙපා කැප්සියුලයෙන් එළියට දමද්දී...

 
පිම්ම සාර්ථකව කිරීමෙන් පසු ෆීල්ක්ස් පැරචූටයේ ආධාරයෙන් බිමට බට අන්දම.

ෆීලික්ස්ගේ ජයග‍්‍රහණයෙන් පසු කර්නල් කිටින්ගර්ගේ නමට ඉතිරි වූයේ එක් වාර්තාවක් පමණයි. ඒ වැඩිම කාලයක් ගත කර සම්පූර්ණ කළ නිදහස් පිම්මේ වාර්තාවයි. වෙනත් අයකු ඔහුගේ අනෙක් වාර්තා බිඳ හෙළනු ඔහු බලා සිටියේ සතුටින්.

”මේක මෙච්චර හොඳට කරන්න මටවත් බැහැ.” ඔහු ෆීලික්ස් බිමට පාත් වනු බලා ඔහු විහිළුවක් කළා.

”සමහර විට අපට මේ තරම් උසකට යන්න වෙනවා අපි කොච්චර පුංචි ද තේරුම් ගන්න” ෆීලික්ස් බෝම්ගාට්නර් සතුටින් ඉපිලෙමින් කීවේ, පිම්ම නිම කිරීමෙන් මොහොතකට පසු එහි වාර්තාකරුවන්ටයි.

”ශබ්දයේ වේගය ඉක්මවා යද්දී මට මොන වගේ දෙයක් දැනුනද කියල කියන්න අමාරුයි. ඒ වගේ පිටත කිසි දෙයක් නොදැනෙන්න හදල තිබුණු පීඩන ඇඳුමක් ඇඳලා ඉන්න කොට ඔබට මොනම දෙයක්වත් දැනෙන්නෙ නෑ.” ඔහු වැඩිදුරටත් කීවා.

මේ කතාව ඇරඹුණේ, එදා පාන්දර හිරු උදා වෙන්නත් කලින්. මේ ඕස්ටි‍්‍රයානු පැරචූට්කරුවාගේ කණ්ඩායම ඔහු අහසේ සැතැපුම් 24.5ක් ඉහළට රැගෙන ගෙන කැප්සියුලය ඔසවා යන ඝන අඩි මිලියන 30ක හීලියම් බැලූනය සූදානම් කරන්න පටන් ගත්තා.

 
ෆීලික්ස්ගේ සුපර්සොනික් අවරෝහණය පාලක මැදිරිය නිරීක්ෂණය කළ අන්දම.

 
ෆීලික්ස් බෝම්ගාට්නර් සිය ඓතිහාසික පිම්ම ගැන සතුටින් ඉපිලෙමින්.

එදා ඉරිදා උදේ අහසට යන ගමන ඇරඹුණා. වායුගෝලයේ ඉම තෙක් පැය තුනක් පමණ බැලූනය ඉහළ නඟින්න ඕනෑ. කාලගුණය අයහපත් නිසා පසුගිය සඳුඳාත්, අඟහරුවාදාත්, බ‍්‍රහස්පතින්දාත් කල් දැමූ ගමන අන්තිමේදී මෙසේ ගමන් ඇරඹුවා.

කැප්සියුලයෙන් පිටවෙද්දී කුමක හෝ පැටලීමෙන් ෆීලික්ස්ගේ විශේෂ ඇඳුම ඉරී ගියොත් කියන බය හැමෝටම තිබුණා. එවිට ඉහළ අහසේ ඔක්සිජන් අඩුකමත් -70ක් තරම් පහත මට්ටමක පවතින උෂ්ණත්වයත් ඔහුට මරු කැඳවන්නක් විය හැකියි. එවැනි අවස්ථාවක සිරුරේ ඇති දියර බුබුළු දමමින් නටන්න ඉඩ තියෙනවා.

එහෙත් එහෙම වුණේ නෑ. සියල්ල සැලසුම් කළ පරිදිම සිදු වුණා. ඔහු බිමට ආසන්න වෙද්දී පැරචූටය දිග හැරියා. කිසි අපහසුවක් නැතිව හෙමින් රොස්වෙල් කාන්තාරයේ නැගෙනහිර කොටසට බැස්සා.

 
ෆීලික්ස් සිය විස්මිත පිම්ම නිම කර එහි සතුට භුක්තිවිඳිමින්.

 
අහසේ මුදුනේ සැතැපුම් 24ක් උසන සිට ෆීල්ක්ස් බිමට පැන්න පසු සතුට දරා ගත නොහැකිව වැලපෙන අයුරු. ඔහු එතැන් සිට හෙලිකොප්ටරයකින් ඔහුගේ පිරිස වෙත රැගෙන ගියා. ඔවුන් ඔහුව ආදරයෙන් සිප වැළඳ ගත්තා.

ඒ බැලූනය කෙතරම් සියුම් එකක්ද යත් එය ඉහළ නැංවීමට හැකි වූයේ බිම සුළං තත්වය පැ.හැ. 2කකට අඩුවෙන් තිබුණොත් පමණයි. උඩ දී ඔහුගේ උපකරණ හරිහැටි කි‍්‍රයා කරන්නේදැයි නැවත සොයා බැලූ ෆීලික්ස් කීවා හෙල්මටය නිසි ලෙස රත්වෙන්නේ නැති බව.

”හරිම බරපතල තත්වයක්, ජෝ” යැයි කී ෆීලික්ස් ෆරන්හයිට් අංශක 55ක පවතින්නට සැලසුම් කළත් ඉහළ නැඟීමේදී වායුගෝලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් -91.8කට අඩුවීම නිසා අවශ්‍ය පමණට ඔහුගේ හෙල්මටය රත් වූයේ නැති බවත්, ඒ නිසා ඔහුගේ ප‍්‍රස්වාශ වාතය නිසා හෙල්මටයේ මුණතෙහි පිටතින් මීදුම බැඳන්න පටන් ගත් බවත් කීවා. ”මට තද උෂ්ණත්වයක් දැනෙන්නේ නැහැ.” ඔහු වැඩි දුරටත් කීවා.

 
තමා ආරක්ෂා සහිතව බිමට ගෙනා පැරචූටයට මඳක් නැවතී ස්තුති කරන්නට ඔහු අමතක කළේ නෑ.

 
ෆීලික්ස් ඉහළට අත් ඔසවා තම ගමන සාර්ථක වූ බව පළ කළ අයුරු.

 
ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ පවුලේ අය ඔහු විස්මිත පිම්ම ජයග‍්‍රාහීව සම්පූර්ණ කළ මොහොතේ එය බලා සතුටුවෙමින්....

 
ෆීලික්ස් බෝම්ගාට්නර්ගේ කණ්ඩායම ඉහළ අහසේ සිට ඔහුගේ පිම්ම කෙරෙහි අවධානය යොමු කර සිටි අන්දම.

ෆීලික්ස් බෝම්ගාට්නර් පිම්ම ආරම්භ කළ මොහොතේ එම පිරිසේ නායකයා වූ කර්නල් ජෝ කිටින්ගර් ඔහුට කීවේ, ”අපේ ඉෂ්ට දේවතාවෝ ඔබව බලා ගනීවි” කියලයි.

කිටින්ගර් තමයි මුලින්ම උත්සාහ කළේ ශබ්දයේ වේගය ඉක්මවන්න. ඒ 1960 දි අහසේ සැතැපුම් 19.5ක් ඉහළදි, පැයට හැතැප්ම 614ක වේගයක් ලබා ගෙන. මේ පාලන මැදිරියේ සිට උඩට යන ගමනේ දී ෆීල්ක්ස් එක්ක කථා කරන්න අවසර තිබුණු එකම තැනැත්තා ඔහු තමයි.

කිටින්ගර් ෆීලික්ස්ට කිව්වා ශබ්දයේ වේගය ඉක්මවන ඔහුගේ 1960 පිම්මත් මේ විදියට කල් දමන්න වුණා කියලා, අයහපත් කාලගුණය නිසා. එදා අන්තිමේදී ඔහු පැන්නේ හීලියම් බැලූනයක එල්ලා තිබුණු විවෘත ගොන්ඩෝලාවක ඉඳලයි. ඒ අහසේ සැතැපුම් 19.5 ක් තරම් ඉහළ සිට කියලා. ඔහු බිමට පැන්නේ මැක් 0.9ක වේගයකින්. (ශබ්දයේ වේගය මනින්නේ මැක්වලින්.)

”මං සූදානම් වෙලා උන්නෙ ගමනට. ඒත් මට නවතින්න සිද්ධ වුණා, කාලගුණය නිසා. ඒක වදයක්. ඒත් අපට ඒක දරා ගන්න වෙනවා. ඔබ ඉදිරියේ තියෙන දේ අනුව ඔබ කි‍්‍රයා කරන්න ඕනෑ.” කිටින්ගර් එදා තමා ලත් අත්දැකීම ෆීලික්සට කීවා.

 
නිදහස් පිම්මේ කලින් වාර්තා හිමිකර ගෙන තිබූ ජෝ කිටින්ගර් ෆීලික්ස් පිම්ම සම්පූර්ණ කළ වේලේ සතුය පළ කළ අයුරු.

 
ෆීලික්ස් (දකුණේ) සිය කණ්ඩායම සමග පිම්මට පිටත්වීමට කලින්. ඔහු ඉහළට ගෙන ගිය බැලූනය වමේ.

 
යෝධ පිම්ම පනින්න පෙර ෆීලික්ස් යෝධ බැලූනය මගින් ඉහළට ගෙන යන අයුරු.

එදා කිටින්ගර් ඉහළට ගෙන ගියේ ගුවන් හමුදාවේ එක්සෙල්සියර් ව්‍යාපෘතිය මගින්. 1959 සිට 1960 අතර කාලය තුළයි. ඔහු පැරචූට් පිමි ගණනාවක් පැන්නා හීලියම් බැලූනවලින් අපරවර්තීගෝලයේ ඉහළට යමින්. ඒ ව්‍යාපාතිය මගින් තමයි, ඇමරිකාවේ අභ්‍යවකාශ ගමනේ ආරම්භය සනිටුහන් කළ අත්හදා බැලීම් කළේ. ”එක බැලූන ගමනකදී අපි පනින්න දවස් 30ක් බලා සිටියා. පමා වෙනවා කියලා අත්හැර දැම්මේ නෑ” කිටින්ගර් කීවා.

එදා කිටින්ගර්ට නැතත් මෙදා ෆීලික්ස්ට විශාල පේ‍්‍රක්ෂකයන් පිරිසක් හිටියා. මිලියන ගණනක් අන්තර්ජාලයෙන් ඒ දෙස බලා සිටියා. කැප්සියුලයේ, හෙලිකොප්ටරයේ හා බිම සවිකර තිබූ කැමරා 30කට පින්සිදුවන්න එවේලේ සිදුවීම අපට බලා ගන්න හැකි වුණා. ඛේදජනක අනතුරක් සිදු වුණොත් කියලා ඒක නොපෙන්වන්න බලා ගෙන තත්පර 20ක ප‍්‍රමාදයක් ඇතුවයි එය ලොව පුරා විකාශය කරනු ලැබුවේ.

යූටියුබ් (YouTube) එකෙන් කීවේ ඒ පිම්ම එතෙක් පැවති ඔවුන්ගේ සජීවී වාර්තා සියල්ල බිඳ දැමූ බවයි. ඒ පිම්මෙහි උච්ච අවස්ථාවේ මිලියන අටක් (අසූ ලක්ෂයක්) දෙනා යූටියුබ් හරහා ඒ පිම්ම නැරඹූ බවයි ඔවුන් කියන්නේ.

අහසේ ඉහළටම නැග්ග මොහොතේ ෆීලික්ස් බෝම්ගාට්නර් එහි සිට ට්විටර් (Twitter) හරහා පෘථිවියේ සිටින ඔහුගේ ලෝලයනට කථා කළා. ”මේ අභ්‍යවකාශයේ සිට සජීවීවයි ඔබ අමතන්නේ. ලෝකය ඔබ හරි ලස්සනයි!” ('Live from space! World you are beautiful.')

මේ විස්මිත උඩු ගුවන් කරණම ඔහුගේ අන්තිම පිම්මයි. මේ පිම්මෙන් පස්සෙ ෆීලික්ස් බෝම්ගාට්නර් බලාපොරොත්තු වන්නේ ඔහුගේ පෙම්වතිය සමග එක්ව සාමාන්‍ය ජීවිතයක් අරඹන්නයි. ඒත් ඔහු නිකම් ඉන්නෙ නෑ. ඕස්ටි‍්‍රයාවේත්, ඇමරිකා එක්සත් ජනපදයේත් කඳුකරවල අතරමං වන අය ගලවා ගැනීමටත්, ගිනි නිවීමේ මෙහෙයුම්වලටත් එක් වීමට ඔහු බලාපොරොත්තු වෙනවා.

 
වැඬේට යන්න වෙලාව හරි! ඔහුගේ අහස් ගමනට සූදානම්ව ෆීලික්ස් ටේ‍්‍රලරයෙන් පිටතට එන අයුරු. ෆීලික්ස් අඩි ලක්ෂයක් ඉහළ සිට ට්විටර් (Twitter) හරහා සිය ලෝලයන් ඇමතීමට ද අමතක කළේ නැත. 



  --සම්බන්ධිත පුවත් -- 

Post a Comment

2 Comments

  1. මේ වගේ සවිස්තරව ලිපි ඉදිරිපත් කිරීම පිළිබඳව මගේ ස්තූතියි පුදකරනවා මේ වෙලාවේ... මමත් මේක බැලුවා හැබැයි සජීවිව නෙමෙයි.පිම්මට ලෑස්තිවෙලා පනින්න ගන්නකොට මගෙ පපුවත් හෙන වේගෙන් ගැහෙන්න ගත්තා... අර මරණීය භ්‍රමණය මාරාන්තිකයිද කියලා වැටහීමක් තිබුනෙ නැතත් ඒ වැටුනෙ නම් හරියට මැරිච්ච කෙනෙක් වැටෙනවා වගේ නිසා යහතින් ඉන්නවද කියලා අන්තිමේ දකිනකන් සෑහෙන්න චකිතයකින් හිටියේ...

    ජය වේවා තව තවත් ලිපි ලියන්න ඉදිරියට..

    ReplyDelete
  2. මේ ලිපි මාලාවේ සිත් ගත්ම ලිපිය. කලින් කිව්වා වගේ ‍ෆිලික්ස්ගේ සිතුවිලි මොන විදිහට තියෙන්න ඇතිදැයි කියලා මමත් කල්පනා කලා.

    ReplyDelete