පර්යේෂණ නෞකාවක් අලූත් සත්ව විශේෂ ලක්ෂ 15ක් සොයා ගනියි! සාගරයේ ‘සුවදුක් සොයන්න’ ගිය ගමනක ප‍්‍රතිඵලයක්!

තාරා නම් මෙම පර්යේෂණ නෞකාව විසින් මිලියනයකටත් වැඩි මේ සත්ව විශේෂ සොයා ගෙන ඇත්තේ අත්ලාන්තික්, පැසිපික්, දකුණු හා ඉන්දියන් සාගරවලිනුයි.

තාරා නෞකාව මෙම ගවේෂණයෙහි යෙදුනේ මාස 36ක් තිස්සේයි. සැතැපුම් 70,000ක දීර්ඝ සංචාරයකින් පවයි. මෙසේ ගවේෂණයෙහි යෙදුනේ ප‍්‍රංශය මූලික කර ගත් ගවේෂණ කණ්ඩායමකි. එහිදී ඔවුන් සොයා ගත් එක් වැදගත් දෙයක් වන්නේ අපේ පණ නළ රැක දෙන මෙම වායුගෝලයේ ඇති ඔක්සිජන් ප‍්‍රමාණයෙන් වැඩි ප‍්‍රතිශතයක් සැපයෙන්නේ සාගරවල බිලියන ගණනින් ඇති කුඩා ප්ලවාංග (plankton) වලින් බවයි.

 
මේ සත්වයා ප්ලැටිනේරියස් ඩුමේරි (Platynereis Dumerei) අයත් වන්නේ ඉතා කුඩා පණු වර්ගයකටයි. මේ සතුන් බොහෝ විට ජීවත්වන්නේ කුඩා නාල තුළ වුවත් ඉඳහිට මුහුදේ පිහිනමින් සිටිනු දැකිය හැකියි.

මෙසේ සොයා ගත් සත්ව විශේෂ මේ දිනවල ලන්ඩන් විද්‍යා කෞතුගාරයේ දී දැක ගන්න පුළුවන්. මේ අවස්ථාව එරට වැසියන්ට උදා වුණේ ඒ පර්යේෂණ නෞකාව පසුගිය දා ලන්ඩන් වාරයට ළඟාවීමත් සමගයි.

පර්යේෂණ නෞකාවට අයත් පර්යේෂක කණ්ඩායම කියන්නේ ඔවුන්ගේ මේ නව සොයා ගැනීම් නිසා ලෝකයේ සාගරවල සිදුවන කාලගුණික වෙනස්කම්වලට ඇති වන බලපෑම් පිළිබඳව අප මෙතෙක් දැරූ මත වෙනස් කිරීමට හේතුවන බවයි. එසේ ම මිනිස් කි‍්‍රයාකාරකම් නිසා සාගර හා මුහුදු කෙතරම් පීඩාවට පත් වන්නේද යන්නත් ඔවුන්ගේ මේ සංචාරයෙන් හෙළිදරවු වුණා.

පෘථිවියේ විවිධ ස්ථානවලින් ලබා ගත් මුහුදු ජලය සාම්පල 30,000කටත් වැඩි ප‍්‍රමාණයක් තුළින් මේ නව සත්ව විශේෂ මිලියන 1.5ක් පමණ සොයා ගෙන තියෙනවා. මේ සත්ව විශේෂ ඉතාමත් කුඩා වන අතර ඒ සත්ව විශේෂ අතරින් ලොකුම සත්ව විශේෂය දිගින් සෙන්ටිමීටරයකට වඩා නැති අතර කුඩාම සත්ව විශේෂය මිලිමීටරයකින් පංගුවක් තරම් වෙනවා.

 
නව සොයා ගැනීම් අතර: ඇල්ගා විශේෂයක් වන ඇල්ඩයටම (Diatoms)

 
පොලිකීටයන් හෙවත් පත්තෑපණුවන් විශේෂයක්. මේ සතුන් අනෙලිඩා ගණයට වැටෙන මුහදේ ජීවත්වන අතර ඔවුන්ගේ සිරුරුවල ඇති රළු කෙඳි පිහිනීමට උපකාර වෙනවා.

මේ පර්යේෂණ සංචාරයේදී සාගරයේ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන් රැසකගේ පින්තූර ගනු ලැබුවා. එසේ ම සාගරවලට අප විසින් කෙතරම් ප්ලාස්ටික් ප‍්‍රමාණයක් එක් කරනවාද යන්නත් හෙළිදරවු වුණා. ඒ අනුව අත්ලාන්තික් සාගරයට පමණක් එක් කරන ප‍්‍රමාණය වර්ග සැතැපුමකට ප්ලාස්ටික් කැබලි 50,000ක් යැයි හෙළි වුණා.

මේ ප්ලාස්ටික් වසර සියදහස් ගණනකින්වත් විනාශ වන්නේ නැහැ. ඒවා මසුන්ගෙන්, මුහුදු පක්ෂීන්ගෙන් හා ආහාරයට ගන්නා වෙනත් මුහුදු සතුන්ගෙන් අපේ ආහාර දාමයටත් එක් විය හැකියි. මේවා විෂ සහිත වන අතර ඒවායින් සාගරය දූෂණය වී මුහුදු ආහාර ඔස්සේ අපේ සිරුරවලටත් ඇතුළු වෙනවා.

මීටර 36ක් දිග මේ තාරා ස්කූනරය (කුඹ දෙකේ රුවල් නැවක්) ප‍්‍රංශයේ ලෝරියන්ට්වලින් පිටත්ව ගියේ 2009දියි. ඒ සංචාරයේ දී ඔවුන් සාගරයේ මීටර 2000ක් ගැඹුරින් පවා ජලය සාම්පල ලබා ගත්තා.

මේ ගවේෂණයේ සම්බන්ධීකාරක විද්‍යාඥ ආචාර්ය කි‍්‍රස් බෝලර් කියන්නේ, ඔවුන්ගේ මේ අධ්‍යයනය ලෝක සාගරවල ‘සෞඛ්‍ය තත්වය’ දක්වන ඉතා හොඳ දර්ශකයක් බවයි.

”මීට කලින් කිසිවකු මේ තරම් පර්යේෂණයක් සාගර පිළිබඳව කරලා නැහැ.” ඔහු කියනවා.

”මේ අධ්‍යයනයෙන් ලැබුණු ප‍්‍රතිඵල රසායනාගාරය තුළ විලේෂණය කර නිම කරන්න අවුරුදු කීපයක් ගත වේවි. දැන් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අපේ මේ සාගර පරිසර පද්ධතියට බලපෑම් ඇති කරන හෞතික හා කාලගුණික විෂමතා තේරුම් ගැනීමයි.

”පරිසර දූෂණය සාගරවලට කෙතරම් බලපෑමක් සිදු කරනවාද, උෂ්ණත්වයේ වෙනස් වීම් මොන ආකාරයට සිදු වන්නේද යන්න විමසා බලන්න සිදු වෙනවා.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
මේ නව කූණිස්සන් විශේෂයක්. නම් කර තියෙන්නේ එමෑනුවෙල් රේමන්ඞ් කියලයි. මේ සමග තවත් ජීවී විශේෂ මිලියන 1.5ක් පමණ සොයා ගෙන තියෙනවා.

 
මේ පොලිකීටෑවෙක්, මුහුදු පත්තෑපණුවෙක්. සාගරයේ ඇති ප්ලවාංග බුදිමින් ජීවත් වෙනවා.

 
මුහුදේ දිය රැලි යටින් පිහිනන ක්ෂුද්‍රජීවි ලොඩියන් (ජෙලිෆිෂ්) විශේෂයක්.

”උෂ්ණත්වයට සංවේදී ප්ලවාංග විශේෂයන් සාගරයේ ඇති වන වෙනස් වීම් අනුව වෙනත් කලාපවලට සංක‍්‍රමණය වුවහොත් ඒවා පැවති ප‍්‍රදේශ තුළ ආහාරදාමය විනාශ වී යා හැකියි. ඒවගේම ඒ ප‍්‍රදේශවල ධිවර කර්මාන්තයටත් හානි සිදු විය හැකියි. අපට සොයා ගැනීමට අවශ්‍ය වුණේ ඒ පරිසර පද්ධති තුළ සත්ව විශේෂවල කාර්යභාරය හා දැන් පවත්නා තත්වය දිගින් දිගටම පැවතියහොත් තවත් වසර 50ක් 100ක් යන කොට අපේ සාගරවල තත්වය කෙබඳුද කියායි.” බෝලර් ඔවුන්ගේ කාර්යභාරය විස්තර කළා.

”අපගේ කාර්යයන් අතර ප‍්‍රමුඛත්වයක් දුන්නා ඔක්සිජන් ජනනය කරන ශාක හා සත්ව ජීවිත ගැනත් සොයන්න. අපේ ග‍්‍රහයාගේ ඇති ඔක්සිජන් ප‍්‍රමාණයෙන් අඩක් පමණ ලැබෙන්නේ සාගරවලින්. ඒ අනුව ඔබ ගන්නා දෙවැනි හුස්ම ඔබට ලැබෙන්නේ මේ සාගර ජීවීන්ගෙනුයි.

”දැනටමත් සාගරවල අම්ල ගතිය වැඩිවෙන්න පටන් අරන්. එය දිගින් දිගටම සිදු වුණොත්, ඒ කියන්නේ කාබන්ඩයොක්සයිඞ් දැන් විමෝචනය වන ආකාරයට වායුගෝලයට මුදා හරිනු ලැබුවොත්, භයානක තත්වයක් ඇති වෙන්න පුළුවන්.

”මේ ක්ෂුද්‍ර ජීවීන් හා ශාක වර්ග ආම්ලිකරණයට ඉතාමත් සංවේදියි. ඒ නිසා ඒවා වැඩි ප‍්‍රමාණයක් ඉදිරි අවුරුදුවලදී සහමුලින්ම විනාශ වී යාවි. එහෙම වුණොත් අපට ලොකු අනතුරුදායක තත්වයක් ඇති වේවි.” ඔහු අවසාන වශයෙන් කියනවා.



Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


1 අදහස්:

Vishwajith Rajapakse said...

හප්පේ ලක්ෂ 15ක් කියන්නේ සුළුපටු ගානක්ද?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top