ලබන වසරේ දීප්තිමත් වල්ගා තරුවක් (ධූමකේතුවක්) පායනවා. එය හඳටත් වැඩිය 15 ගුණයක් දීප්තිමත්!

පසුගිය සියවස තුළ පෑයූ සියලූම වල්ගාතරුවලට වඩා එය දීප්තියෙන් යුක්තයි. ‘කොමට් අයිඑස් ඕඑන්’ කියා හැඳින්වෙන මෙම වල්ගාතරුව හොඳින්ම දර්ශනය වන්නේ උතුරු අර්ධ ගෝලයටයි.

සූර්යයා දෙස බලා යන ගමනේදී මෙය අපට දැක ගත හැකි වන්නේ 2013 නොවැම්බර්-දෙසැම්බර් කාලයේදියි. දහවල් කාලයේදී වුවත් මෙය හොඳින් දැක ගත හැකි වේවි.

දැනට තාරකා විද්‍යාඥයන් විසින් නිර්ණය කර ඇති පරිදි මේ වල්ගාතරුවේ ගමන් මාර්ගයට අනුව මෙය අපට දකින්නට ලැබෙන එකම හා අන්තිම වතාවද වෙනවා. එසේ වීමට හේතුව මෙහි ගමන් පථය විහිදෙන්නේ සූර්යයා දෙසට වීමයි. ගමන අවසානයේදී මෙය සූර්යයා වෙතට ඇදී ගොස් විනාශ වී යනු ඇති.

දැනට මේ වල්ගාතරුව බ‍්‍රහස්පතී ග‍්‍රහයා පසු කරමින් පෘථිවිය දෙස එමින් තිබෙනවා. පොළොවට ළං වෙත්ම මෙහි දීප්තිය වැඩි වෙනවා. හඳේ දීප්තිය පරදවන මෙය දහවල් කාලයේදිත් හොඳින් දැක ගන්න පුළුවන්.

 
මේ 1997 දී පෑයූ හේලි-බොප් වල්ගාතරුවයි. මීටත් වඩා දීප්තිමත්ව ලබන වසරේදී ‘කොමට් අයිඑස් ඕඑන්’ (ISON) ඔබට දැක ගත හැකි වේවි.

 
වසර පහකට පෙර පෑයූ හේලි-බොප් වල්ගාතරුව ඇලස්කාවට දිස් වූ හැටි. ලබන වසරේදී මේ නව වල්ගාතරුව මීටත් වඩා දීප්තිමත්ව සති ගණනාවක් අපේ අහසේ දිස් වනු ඇති.

 
රුසියාවේ තාරකා විද්‍යාඥයන් දෙපොළක් තමයි, මේ අලූත් වල්ගාතරුව මුලින්ම දැක හඳුනාගෙන තියෙන්නෙ. මේ රූපයේ ඉරි කෑලි යොමු වී තියෙන්නේ, දීප්තිමත් තරු අතර ඇති, යාම්තමින් දිස්වෙන ඒ ‘හිම ගුළිය’ වෙතයි.

රුසියානු තාරකා විද්‍යාඥයන් දෙදෙනා මේ අපූරු සොයා ගැනීම කර ඇත්තේ රුසියාවේ පිහිටුවා ඇති අන්තර්ජාතික විද්‍යාත්මක ප‍්‍රකාශ දුරේක්ෂ ජාලය (International Scientific Optical Network telescope) උදවු කර ගෙනයි. ඒ ජාල දුරේක්ෂය හැඳින්වෙන නමෙහි මුල් අකුරු යොදා ‘අයිඑස් ඕඑන්’ කියා මෙම වල්ගාතරුව හඳුන්වා ඇත්තේ ඒ නිසයි.

මේ වල්ගාතරුව සූර්යයාට සැතැපුම් මිලියන දෙකක් ආසන්නව ගමන් කරනු ඇති. එහි ගමන් මග වූ පරාවලයික කක්ෂයට අනුව මෙහි ආරම්භය සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ඌට් වලාව (Oort cloud) විය හැකි යැයි දැන් නිගමනය කරල තියෙනවා. එය සූර්යයාට බොහෝ ඈතින් පිහිටි හිම ශේෂයන්ගෙන් පිරුණු තැනක්. එය ඇත්තේ හිරුගේ සිට පොළොවට ඇති දුර මෙන් 50,000ක් ඈතින්.

 
හේලි-බොප් වල්ගාතරුව දිස් වුණේ වල්ගා දෙකක් ලෙසයි. චුම්බක-ආරෝපිත අංශුවලින් සෑදුණු වල්ගයක් (වමේ) හා දූවිලි හා වෙනත් සුන්බුන්වලින් යුත් වල්ගයක් (දකුණේ) ආදි වශයෙන්.

මේ නව වල්ගාතරුව දීප්තියෙන් වැඩි වෙන්න පටන් ගත්තේ බ‍්‍රහස්පතිගේ කක්ෂයට ආවට පස්සෙයි. හිරුගේ තාපයට එහි තුළ වූ හිම උණු වී කෙළින් ම ජල වාෂ්ප බවට පත් වුණා.

ඒක හරියට 1997 ආ හේලි-බොප් වල්ගා තරුව වාගේ සමහර විටත් ඊටත් වඩා දීපතිමත්ව ඔබට දැක ගත හැකි වේවි.

‘පසුගිය සියවසේ දීප්තිමත්ම වල්ගාතරුව ලෙස සැලකෙන 1965 පෑයූ ‘මැක්නෝට්’ ධූමකේතුව සිකුරු ග‍්‍රහයාටත් වඩා දීප්තිමත් පෙනුණා.

ඉඳහිට අප දකින්නට එන වල්ගාතරු හෙවත් ධූමකේතු
වල්ගාතරුවක් හෙවත් ධූමකේතුවක් කියන්නේ දූවිලි අංශු, කුඩා ගල් කැබලි න්‍යෂ්ටිය කර ගත් හිම ගුළියකටයි. සාමාන්‍යයෙන් ඒවා හැඳින්වෙන්නේ ‘කුණු තැවරුණු හිම බෝල’ (dirty snowballs) කියලයි. වඩා නිවැරදි වන්නේ හිම තැවරුණු කුණු බෝල’ (snowy dirtballs) යන්නයි. සාමාන්‍යයෙන් ඒවා ඇති වන්නේ කයිපර් (Kuipler) වළල්ල පිහිටි කලාපයෙන්. එය නෙප්චූන්වලට එපිටින් පිහිටි කුඩා හිම කැට, පාෂාණ කැබලි වැනි වස්තූන්ගෙන් පිරුණු ප‍්‍රදේශයක්.

ඉඳහිට එහි ඇති හිම ගුළියක් ඉන් ගැලවී ඇවිත් සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇතුළු කලාපයට වදිනවා. හිරුගේ තාපය නිසා ඒවායේ ඇති හිමකැටි හා රසායන ද්‍රව්‍ය රත්වෙනවා. ඒවා විදාරණය වෙලා සැතැපුම් දහස් ගණන් දිග වලිගයක් හැදෙනවා. එහි න්‍යෂ්ටිය හිරු දෙසට හැරී ඇති විට මේ දිගු වල්ගය මත හිරු රැස් වැටී දීප්තිමත්ව පේනවා.

ධූමකේතු ග‍්‍රහකවලට (asteroids) වඩා වෙනස්. ග‍්‍රහක තැනී ඇත්තේ ලෝහ හා පාෂාණවලින්. සාමාන්‍යයෙන් ඒවා චන්ද්‍රයන් හා ග‍්‍රහයන් සැදීමේ දී ශේෂ වූ ඒවායි.

ග‍්‍රහකවලට ඇත්තෙන්ම හිරු රැස් පරාවර්තනය කිරීමේ හැකියාව නැහැ. සියයට 4ක ප‍්‍රමාණයක් විතරයි පරාවර්තනය කරන්නේ. හරියට ගල් අඟුරු වගෙයි. පොළොවේ සිට බලන විට ඒවා දීපතිමත් සුදු පැහැයෙන් පෙනුනත් ඒවායේ මතුපිට කළු පැහැතියි.

අපි හොඳින්ම දන්නා වල්ගාතරුව තමා හේලිගේ ධූම කේතුව. එඞ්මන් හේලි තමයි, ඒ වල්ගාතරුව අවුරුදු 75-76කට වරක් යළි යළිත් පොළොව දෙසට එන බව. ඒ අනුව 1758 දී යළිත් ඒ ධූමකේතුව දැකිය හැකි බවට ඔහු අනාවැකි කීවා. ඒත් ඔහු එය සැබෑ වනු දකින්නට වසර 16කට කලින් මියගියා.

1910 දි හේලිගේ ධූමකේතුව පෑයූ වේලේ එය පොළොව ආසන්නයෙන්ම ගියා. අපේ පෘථිවිය එහි වල්ගය තුළින් ද ගමන් කළා.

1986 දී එය නියමිත ආකාරයට ආවත් එය අපට පෙනෙන්න පෑයුවේ නෑ. වල්ගාතරුව එවේලේ තිබුණේ හිරුගේ අනෙක් පැත්තෙයි. වසර 2000ක් තුළ අපට නොපෙනුනු එකම අවස්ථාව එයයි.


Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


1 අදහස්:

බුද්ධි said...

හේලි-බොප් වල්ගාතරුව ගොඩාක් දීප්තිමත් ව නෙමේ මම දැක්කෙ. කමක් නෑ! මේක හඳට වඩා එලියයිලු නේද? ඒත් මේක ඉර පැත්තට යන්නෙ අපේ රූට් එකෙන්ද? නැතිනම් වෙන පාරකින්ද?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top