10

බ්ලොගයක් නිසා තලේබාන් වෙඞ් පහරට ලක්ව මරුවා සමග සටන් කරන 11 හැවිරිදි වීරවරිය - මලලා යූසෆ්සා

”සමහරු හොල්මන්වලට බයයි. සමහරු මකුළුවන්ට බයයි. තවත් සමහරු සර්පයන්ට බයයි. ඒත් ස්වාත් මිටියාවතේ ජීවත් වන අප වඩාත් බය අප වගේම මනුෂ්‍යයන්ට. ඒත් එයාලා අප වගේ නොවේ. එයාලා මනුෂ්‍යයන් නොවේ. එයාලා ලේ පිපාසයෙන් පෙළෙන තිරිසන්නු.”

තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ දළදඬු ෂරියා නීතියට එරෙහි වෙමින්, පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ දැරියනට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් හඬක් නැඟූ 14 හැවිරිදි පාකිස්තාන දැරියක වන මලලා යූසෆ්සායි. මේ වන විට ඇය පාකිස්තානයේ පෙෂවෝර් නුවර හමුදා රෝහලක ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටී. ඒ, ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වීමෙනි.


මලලා යූසෆ්සායි වෙඩි ප‍්‍රහාරයට ලක් වුණේ ඉකුත් 9 වැනිදාය. පෙෂවෝර් නුවර හමුදා සයිඞ් ෂරීෆ් රෝහලේදී විදෙස් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ ද උපදෙස් පරිදි පාකිස්තාන ශල්‍ය වෛද්‍යවරු ඉකුත් 11 වැනිදා ඇය සැත්කමකට භාජන කළහ.

සැත්කමින් පසු ඇය දැඩි සත්කාර එකකයේ, දිවි සුරකින යන්ත‍්‍රයක ආධාරයෙන් ජීවත් වන මලලාගේ සෞඛ්‍ය තත්ත්වය තවමත් යහපත් අතට හැරී නැත. ”මලාලා තවමත් අවදානම් තත්ත්වයෙන් මිදී නැහැ. මීළඟ පැය 24 සිට 36 තෙක් කාලය ඇයට තීරණාත්මක වේවි. දේව කරුණාව ඇයට ලැබෙන්න කියා අප බැගෑපත් වෙනවා” යැයි සයිඞ් ෂරීෆ් රෝහල් ප‍්‍රකාශක මේජර් අසීම් සලීම් බජ්වා ඉකුත් සිකුරාදා (12) කෙටි මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මලලා විදේශයකට රැගෙන ගොස් වැඩිදුර ප‍්‍රතිකාර ලබා දෙනවා ද නැද්ද යන්න ගැන වෛද්‍යවරුන් මෙතෙක් තීරණය කර නැතැයි ද වාර්තා වේ.

සිකුරාදා පාකිස්තානයට විශේෂ ආගමික දිනයක් වූ අතර, පාකිස්තාන වැසියෝ එකා මෙන් පල්ලිවලට ගොස් දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මලාලාට පිහිට වන ලෙසටය. එදින උදෑසන පාකිස්තානයේ පාසල් ආරම්භ වූයේ ද මලාලා වෙනුවෙන් විශේෂ දේව මෙහෙයයන් පවත්වමිනි.

”අද සිකුරාදා පාකිස්තානට විශේෂ ආගමික දිනයක්. මුළු පාකිස්තානයම එකමුතුවෙලා. මලාලාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරමින් අල්ලාහ් දෙවියන් යදිනවා. ඒ අතර මමත් ඉන්නවා.” යැයි මේජර් අසීම් සලීම් බජ්වා මාධ්‍ය හමුව අවසානයේදී කියා සිටියේය.

තලේබාන් සටන්කාමීන්ගේ එම කුරිරු කි‍්‍රයාව හෙළා දකිමින් පාකිස්තාන රජය කියා සිටියේ මලාලාට වෙඩි තැබූ පුද්ගලයා අල්ලා ගැනීමට සහාය වන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවය. මලාලාට එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් කඩිනමින් පොලිස් පරීක්ෂණයක් ද පැවැත් වූ අතර පොලිසිය ප‍්‍රකාශ කළේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවු දෙනකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බවය.


මලාලා යූසාෆ්සාට එල්ල වූ ප‍්‍රහාරය ම්ලේච්ඡු සහ තිරිසන් කි‍්‍රයාවක් යැයි ඇමෙරිකා රජය පවසා ඇත. බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් ද තලේබාන් සටන්කාමීන්ගේ එම කුරිරු කි‍්‍රයාව හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබේ.

වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ ඇය පදිංචිව සිටින මින්ගෝරා නුවර, ඇගේ පාසල ඉදිරිපිටදී ය. උදෑසන උපකාරක පංතියකට සහභාගී වූ ඇය සහ ඇගේ යෙහෙළියන් පාසල් බස්රියට ගොඩ වී අසුන් ගෙන සිටියේ නිවෙස් බලා යෑමටය.

බසය පිටත්වීමට ඔන්න මෙන්න තිබියදී ඊට ගොඩ වූ තලේබාන් තුවක්කුකරු ඇගේ නම කියමින් ඇය සොයන්න වූයේය. ඇය කවුදැයි හඳුනා ගත් සැණින් ඔහු ඇය අසලටම පැමිණ ඇයට වෙඩි තැබුවේය. වෙඩික්කරුගේ මුහුණ පුරා රැවුලක් තිබුණු බව සිද්ධිය දුටුවෝ පවසති. සටන්කාමියා ඇයට වෙඩි තබද්දී ඇගේ යෙහෙළියන්ට හෝ අසල සිටි කිසිවකුට හෝ කළ හැකි කිසිවක් නොතිබිණ. ඇගේ යෙහෙළියන් ඇස්වල කඳුළු පුරවා ගෙන බියෙන්, කම්පනයෙන් යුතුව බලා සිටිද්දී මලාලා ලේ විලක් මැද ඇද වැටුණාය. තුවක්කුකරුගේ වෙඩි ප‍්‍රහාරයෙන් මලාලාගේ යෙහෙළියක ද තුවාල ලැබූ බව වාර්තා විය.

තලේබාන් සටන්කාමියාගේ වෙඩි උණ්ඩ දෙකකින් එකක් මලාලාගේ හිස පසාරු කළේය. එම උණ්ඩය ඇගේ හිසේ රැඳුණු අතර දෙවැනි උණ්ඩය වැදුණේ ඇගේ බෙල්ලටය. වෙඩි තැබූ විගස තුවක්කුකරු පලා ගියේය. ප‍්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ‘තරීක් ඊ තලේබාන්’ නමැති තලේබාන් සටන්කාමීන් විසින් බාර ගනු ලැබුවේ වෙඩි තැබීමෙන් පැය කිහිපයක් ගත වීමටත් පෙරය.


වෙඩි ප‍්‍රහාරයට ලක් වූ මලලාව කඩිනමින් පෙෂවෝර් නුවර හමුදා රෝහලට රැගෙන යෑමට පාකිස්තාන ආරක්ෂක අංශ යුහුසුළු වූහ. මලලා යූසෆ්සායිගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුවහොත් ඇය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම පහර දෙන බවට එම අවස්ථාවේදී තරීක් ඊ තලේබාන් සංවිධානය අනතුරු ඇඟවීමක් ද කළේය.

තලේබාන් සටන්කාමීන්ගේ කුරුරුකම් සහ තමන් එදිනෙදා ජීවිතයේ මුහුණ දුන් විවිධ අත්දැකීම් අන්තර් ජාලය ඔස්සේ, මලාලා බී.බී.සී. උර්දු සේවයට වාර්තා කළේ බ්ලොග් සටහනක් ලෙසිනි. දිනපොතක ආකාරයෙක් සකස් වුණු එම බ්ලොග් සටහන ඇය ලිවීම ආරම්භ කළේ 2009 වසරේදීය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 11 කි. ඇය පාකිස්තානයේත් ජාත්‍යන්තරයේත් අවධානයට පාත‍්‍ර වූයේ අන්තර් ජාලයේ පළ කෙරුණු එම බ්ලොගය හරහාය.

අන්තර් ජාලයේ බ්ලොගය ආරම්භ කිරීමට හේතු වූයේ තලේබාන් සටන්කාමීන් 2009 වසරේ දී මලාලා ජීවත් වූ ස්වාත් මිටියාවත ආක‍්‍රමණය කිරීමයි. සංචාරක ආරක්ෂණයක් වූ සුන්දර මෙන්ම සාමකාමී ස්වාත් මිටියාවත විදේශිකයන් අතර ප‍්‍රකටව තිබුණේ පාකිස්තානයේ ‘ස්විට්සර්ලන්තය‘ යන නමිනි.

ස්වාත් මිටියාවත ආක‍්‍රමණය කරමින් එහි ප‍්‍රදේශ රැසක බලය අල්ලා ගත් තලේබාන්වරු ඔවුන්ගේ දළදඬු ෂරියා නීතිය ස්වාත් මිටියාවතේ වැසියන්ට බලෙන් පැනැවීය. ෂරියා නීතියට අනුව කාන්තාවන්ට සිරුරු වැසෙන සේ බර්කා ඇඳුමින් සැරසී සිටීමට සිදුවිය. ඔවුන්ට කඩ පළට හෝ පොළට යෑම තහනම් කෙරුණි.

ෂරියා නීතිය උල්ලංඝණය කරමින්, ඉස්ලාම් දහමට විරෝධය පෑ කිසිවකුටත් සමාවක් නොලැබිණි. ඔවුන්ගේ හිස් ගසා දැමුණි. මළ සිරුරුවලින් මින්ගෝරා නගරයේ ප‍්‍රධාන චතුරස‍්‍රය පිරී ගියේය. කලක් මිහිපිට පාරාදීසක් වූ ස්වාත් මිටියාවත මරණයේ මිටියාවත බවට පත්විණි.

තලේබාන්වරුන්ගේ තර්ජන මැද ස්වාත් නිම්නයේ ප‍්‍රදේශ කිහිපයක පාසල් 400 ක් එක රැයින් වසා දැමුණි. ඒ අතර බාලිකා පාසල් රැසක් ද තිබුණි. ෂරියා නීතිය රජ කිරීමත් සමඟ සෑම මුරපොළක්ම ආයුධ අතට ගත් සටන්කාමීන්ගේ ග‍්‍රහණයට නතු විය.

මේ වන විට මින්ගෝරා නගරයේ බලය අල්ලා ගැනීමට තලේබාන්වරුන්ට හැකි වී නොතිබුණු අතර මලාලාගේ පාසල දිගට ම පවත්වාගෙන යෑමට පාසල් බලධාරීහු කටයුතු කළහ.

මුහුණේ කුරුළෑ පිරුණු, ලොකු කළු ඇස් ඇති, උපතින්ම ලැජ්ජාශීලී මලාලා අහිංසක දැරියක වූවාය. ස්වාත් නිම්නයේ බාලිකාවන්ට අධ්‍යාපන ලැබීමට ඇති අයිතිය තලේබාන් සටන්කාමීන් විසින් උදුරා ගනු ලැබීම ඇයට ඉවසා සිටිය නොහැකි විය. ඇගේ පියා සියවුද්දීන් සංගීත ගුරුවරයකු වන අතර ළමා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟන මානව කි‍්‍රයාකාරියකු ලෙස ද ඔහු ප‍්‍රකටය. මලාලාට ශක්තියක් වූයේ ඔහුයි. අන්තර් ජාලය ඔස්සේ බ්ලොගයක්් නිර්මාණය කිරීමට ඇයට ශක්තියක් වූයේ ද ඔහුයි.

”තලේබාන්වරුන් එල්ල මරා දැමූ අයගේ සිරුරු පුවත්පත්වල ඡායාරූප ලෙස දැකීමට පවා මා බියවුණා.” මලාලා මෙසේ කීවේ ඉකුත් වසරේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ”බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය අහිමි කිරීම මෙන්ම බාලිකා පාසල් වසා දැමීම මට ඉවසා සිටිය නොහැකි වුණා. මා තීරණය කළා, ඒ වෙනුවෙන් හඬක් නගන්න  ඕනෑ කියලා.” ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මලාලා ඇගේ බ්ලොග් සටහන් ලිවීම ආරම්භ කළේ ඒ අනුවය. ආරම්භයේදී ඇය බ්ලොග් සටහන් ලියුවේ ගුල් මාකායි යන අන්වර්ථ නාමයෙනි. එහි තේරුම ‘ඉරිඟු මල’ යන්නය. ඒත් ඇය වඩාත් පි‍්‍රය කරන්නේ ඇගේ සැබෑ නමටය. එහි තේරුම වන්නේ ‘දුක් ගැහැට විඳින්නා’ යන්නය.

මලාලා පැවැසූ අන්දමට ඇගේ බ්ලොග් සටහන මුහුණ බලන කණ්ණාඩියක් වැනිය. තලේබාන් ආක‍්‍රමණයෙන් පසු ඇයටත් ඇගේ යෙහෙළියන්ටත් අත්විඳින්න සිදුවුණු දුක් ගැහැට එහි සටහන් විය. ඇසිඞ් ප‍්‍රහාර එල්ල වේවි යැයි බියෙන් ඇයත් ඇගේ යෙහෙළියනුත් පාසල් පොත්, ඔවුන්ගේ ඇඳුම්වල සඟවාගෙන ගිය හැටි ඇය ඇගේ බ්ලොගයට ඇතුළත් කෙරුණි. තලේබාන්වරුන් ෂරියා නීතිය කඩන කාන්තාවන්ට සහ දැරියන්ට ප‍්‍රසිද්ධියේ දඬුවම් කරන්නේ ඇසිඞ් ගැසීමෙන් හෝ ගල් ගැසීමෙන්ය.

තලේබාන් තර්ජනවලට බියෙන් ඇගේ යෙහෙළියන් පාසල් ඒමෙන් වැළැකීමත් සමඟ ඇගේ පාසල ද වසා දැමෙන තත්ත්වයකට වැඩ සිදු විය. ”අම්මා පිළියෙළ කර දුන් උදේ කෑමත් අරන් මා පාසල් ගියා” යැයි 2009 වසරේ ජනවාරි 3 වැනිදා ඇය ඇගේ බ්ලොගයේ සටහන් කළාය. ”තලේබාන් තර්ජනය නිසා මා පාසල් ගියේ ලොකු බයකින්. මගේ පංතියේ ළමයින් 27 දෙනකු ඉන්නවා. එදා පැමිණ සිටියේ 11 දෙනකු පමණයි.”

”පාසල නිම වී ආපසු නිවෙස බලා යද්දී මට ඇහුණා මා පිටුපසින් කවුද කියනවා ‘මා නුඹව මරනවා’ කියලා. මට හොඳටම බය හිතුණා. අඩිය ඉක්මන් කරලා යන්න පටන් ගත්තා. ටිකක් දුර ගිහින් බලද්දී දැක්කා පිටුපසින් ආ කෙනා ජංගම දුරකතනයකින් කතා කරනවා. ඔහු තර්ජනය කළේ මට නොවේ කියා දැනගත්තාම තමා ඇඟට ලේ ඉණුවේ.”

ඊට පසුදින ඇය මෙසේ සටහනක් තැබුවාය. ”අද නිවාඩු දිනයක්. මා අවදිවුණේ ප‍්‍රමාද වෙලා. උදේ 10 ට විතර. මට ඇහුණා තාත්තා අම්මට කියනවා තලේබාන්වරුන් කළ ඝාතනයක්. ඒක ඇහුවාම මාව තැතිගත්තා. විවේකීය ඉරිදා දවස්වලට අපි ඇවිදින්න යන්නේ මර්ඝාසාර්, ෆිසා ඝාත් සහ කන්ජු වගේ තැන්වලට. ඒත් තලේබාන්වරුන්ට තිබෙන බිය හින්දා දැන් අවුරුද්දකින් විතර අපි එහෙම ඇවිදින්න ගිහිල්ලා නැහැ.”

සෑම දිනකම මේ අයුරින් ඇය ඇගේ අත්දැකීම් සටහන් කරන්න වූවාය.

”අද ජනවාරි 9 වැනිදා, සිකුරාදා. සවස මා රූපවාහිනිය බලද්දී ප‍්‍රවෘත්තිවලට කීවා ලාහෝර් නුවර සිදුවුණු බෝම්බ පිපිරීමක්. ඇයි පාකිස්තානයේ මේ විධියට බෝම්බ පිපිරෙන්නේ මා මගෙන්ම ඇහුවා”

”අද ජනවාරි 14 වැනි බදාදා. මා පාසල් යන අවසන් දිනය අදයි. ආයේ පාසල් යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මගේ පාසලත් වහන්න තීරණය කරලා. අපි වැඩිපුර වෙලාවක් පාසල් පිට්ටනියේ සෙල්ලම් කළා. ඉක්මනින්ම දවසක ආයේ පාසල විවෘත වේවි කියා මගේ හිත කීවා. ඒත් නිවස බලා යද්දී කීප වරක් මා ආපසු හැරිලා පාසල දෙස කිහිප වරක් ම බැලූවා. සමහර විට මට ආයේ පාසල් යන්න ලැබෙන එකක් නැතිවේවි යැයි බියක් දැනුණා.”

”එදා රෑ පුරා වෙඩි හඬ ඇසෙන්න වුණා. ඊට පසුදා මගේ පාසල වසා දැමුණා. පසුදා මා අවදි වුණේ ප‍්‍රමාද වෙලා. පාසල් යන්න නොලැබුණු නිසා යෙහෙළියන් සමඟ එකතුවෙලා ගෙදරදී පාඩම් වැඩ තනිවම කරන්න කල්පනා කළා.”

ඇගේ මේ අවංක අදහස් පාකිස්තානුවන්ගේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද අවධානයට ලක් විය. ”සමහරු හොල්මන්වලට බයයි. සමහරු මකුළුවන්ට බයයි. තවත් සමහරු සර්පයන්ට බයයි. ඒත් ස්වාත් මිටියාවතේ ජීවත් වන අප වඩාත් බය අප වගේම මනුෂ්‍යයන්ට. ඒත් එයාලා අප වගේ නොවේ. එයාලා මනුෂ්‍යයන් නොවේ. එයාලා ලේ පිපාසයෙන් පෙළෙන තිරිසන්නු.”

‘ගුල් මාකායි’ යන අන්වර්ථ නාමයකින් බ්ලොග් සටහන් තබන්නේ මලාලා යැයි මුලින්ම දැනගත්තේ මලාලාගේ යෙහෙළියන්. ඒ අනුව තවත් සැඟවී බ්ලොගයේ සටහන් තැබීම ඇයට කළ නොහැකි විය. ඇය ඇගේ සැබෑ නම භාවිත කරමින් බ්ලොගයේ සටහන් තැබීම ආරම්භ කළේ ඉන්පසුවය.

”ඒක ලොකු අවදානමක්. ඇය ඇගේ ජීවිතේට අනතුරක් වේවි යැයි දැනගෙන තමා බ්ලොගයේ සටහන් තැබුවේ. තලේබාන්වරුන් නවීන දේවල් ප‍්‍රතික්ෂේප කරලා ආපස්සට ගිය පිරිසක්. ඔවුන් ජීවත් වුණේ කඳුකරයේ ලෙන්වල. ඔවුන්ට අන්තර්ජාල පහසුකම් ඇතැයි අප විශ්වාස කළේ නැහැ. ඒත් අපගේ අනුමානය වැරදියි. අවස්ථා ගණණාවකදී තලේබාන්වරුන් අපේ නිවසට ලිපි එව්වා. මලාලා ඇගේ කටයුතු නැවැත්තුවේ නැතිනම් ඇයට පසුතැවෙන්න වේවි කියා තර්ජනය කරමින්” යැයි මලාලාගේ පියා පවසයි. මලාලාට පමණක් නොව ඇගේ පියාට ද තලේබාන්වරුන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇත.

ස්වාත් නිම්නය ත්ලේබාන් සටන්කාමීන්ගෙන් මුදා ගැනීමට පාකිස්තාන හමුදා පැමිණ යුද මෙහෙයුම් ආරම්භ කරද්දීත් මලාලා ඇගේ බ්ලොග් සටහන නැවැත්තුවේ නැත. සටන් උග‍්‍රවෙද්දී ඇයටත් ඇගේ මාපියන්ටත් ඇගේ පුංචි සොහොයුරන් දෙදෙනාටත් නගරය අතහැර ආරක්ෂිත ස්ථානයකට යෑමට සිදුවිය. පාකිස්තාන රජයේ හමුදා සහ තලේබාන් සටන්කාමීන් අතර පැවැති දරුණු අවි ගැටුම් හේතුවෙන් ඇගේ පවුලට උන්හිටිතැන් අහිමි විය. ”මට මගේ නිවස අතහැර යෑමට සිදුවීම ලොකු වේදනාවක් වුණා.” යැයි ඇය ඇගේ බ්ලොගයේ සටහන් කළාය.

මලාලා සහ ඇගේ පවුලේ අය යළි ස්වාත් නිම්නයේ මින්ගෝරා නුවර ඔවුන්ගේ නිවසට පැමිණෙන්න හැකි වූයේ පාකිස්තාන හමුදා තලේබාන් සටන්කාමීන් ස්වාත් නිම්නයෙන් පන්නා දැමීමෙන් පසුවය. ඒ, 2009 වසර අවසානයේදීය. නිවසට ආ විගස ඇය කළේ ඇගේ පාසල් පොත් පත් සුරැකිව තිබෙනවාදැයි බැලීමය.

කොතරම් කටුක වුවත්, ලැබූ අත්දැකීම් ඇයට ශක්තියක් වූවා පමණක් නොව ඇය ඒවායින් දිනෙන් දින පන්නරයක් ද ලැබුවාය. ජාත්‍යන්තරයේ ඇය ගැන අවධානයක් ඇති වීමත් සමඟ ඇය ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා විසින් පාකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට පත් කරනු ලැබූ විශේෂ නියෝජිත රිචඞ් හොල්බෲක්ගෙන් ඉල්ලා සිටියේ තලේබාන් සංවිධානයත් පාකිස්තතාන රජයත් සිවිල් වැසියනුත් අතර පවතින අර්බුදයට මැදිහත් වන ලෙසටය.

ඇය ස්වාත් මිටියාවතට විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රකයන් පිරිසක් කැඳවා, අධ්‍යාපනය සහ සාමය ගැන දෙස් විදෙස් මාධ්‍ය හමුවක් ද පැවැත්වූවාය. ඇගේ එම කි‍්‍රයාව හේතුවෙන් සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන පාකිස්තාන රජයේ සාම ත්‍යාගය ඇයට පිරිනැමුණි. ඊට අමතරව විදෙස් සාම ත්‍යාගවලින් ද ඇය පිදුම් ලැබුවාය.

එතැනින් නොනැවතුණු ඇය ‘මලාලා අධ්‍යාපන පදනම’ පිහිටුවීමට මැදිහත් වූයේ ස්වාත් මිටියාවතේ දිළිඳු දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ උදාර චේතනාවෙනි. පුංචි කෙල්ලක වුවත් ඇය කටයුතු කළේ පරිණත දේශපාලනඥයකු ලෙසිනි. ”ස්වාත් මිටියාවතේ දිළිඳු දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මා දිගටම කටයුතු කරනවා. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් මා දිගටම කතා කරනවා” යැයි මලාලා අවස්ථා ගණනකදී පවසා තිබුණි.

ස්වාත් නිම්නය පාකිස්තාන රජයේ හමුදා අතට පත් වී, ඇගේ පාසල යළි විවෘත කිරීමත් සමඟ ඇය යළි පාසල් ගමන ආරම්භ කළාය. පාසලේ ඇගේ යෙහෙළියන් ඇයව හැඳින්වූයේ ‘පාසලේ ජීවය’ කියායි. කෙටි කලකදී දෙස් විදෙස් පැසැසුමට සහ අවධානයට පාත‍්‍ර වූ මානව කි‍්‍රයාකාරිනියක වුවත් මලාලා ඇගේ වයසේ අනෙක් දැරියන්ට වෙනස් නොවූවාය.

ඇඳුම් ආයිත්තම් තෝරමින් සාප්පු යෑම, යෙහෙළියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් කාලය ගත කිරීමට ඇය හුඟක් පි‍්‍රය කළාය. ඉඩ ලැබුණු සෑම අවස්ථාවක රූපවාහිනියේ බොලඳ චිත‍්‍රපට, ටෙලි කතා නැරැඹීමට ද ඇය පි‍්‍රය කළාය.

”මගේ පුංචි දුවට ආයේ අප අතරට එන්න ශක්තිය ධෛර්යය ලැබේවි කියා මා ප‍්‍රාර්ථනා කරනවා. ඇයයි, මගේ වීරවරිය. ඒක හැමදාම එහෙමයි.” යැයි මලාලාගේ පියා කඳුළු සලමින් කියා සිටියේ ඉකුත් සිකුරාදා ඔහුට ආරක්ෂාව සැපයීමට පාකිස්තාන ආරක්ෂක අංශ සූදානම් වූ අවස්ථාවේදීය. තමාට ආරක්ෂාවක් අවශ්‍ය නැති බව ද හෙතෙම පැවැසීය.
         
”තලේබාන්වරුන්ගේ කුරිරුකම් මා හොඳින් දන්නවා. ස්වාත් නිම්නයේ අපි හොඳින් දන්නවා පාකිස්තානයේ අපි හැමෝම දන්නවා. දැන් ජාත්‍යන්තරයත් ඒ බව දන්නවා. පාසල් යන දැරියක ළඟට ඇවිත්, ඇගේ මුහුණ බලා, හිසට වෙඩි තබන්න තරම් තලේබාන් සංවිධානය පහත් තත්ත්වයකට වැටිලා කියලා මා හීනෙකින්වත් හිතුවේ නැහැ. මා මරා දැම්මත් මගේ දියණිය මරා දැම්මත් ඔවුන්ට බෑ අපව නිහඬ කරන්න. ඔවුන්ට ජයගන්න ලැබුණා යැයි මොහොතකටවත් හිතන්න ඉඩ දිය යුතු නැහැ” යැයි මලාලාගේ පියා පවසයි.

”මගේ දූ ජීවිතයට ආදරෙයි. පුංචි වුණත් ජීවිතයක වටිනාකම ඇය දන්නවා. ඇය ජීවත් වෙන්න ආසයි. ඇය ජීවිතය වෙනුවෙන් කැපවුණු කෙනෙක්. ඇයට යළිත් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබේවි කියා මා ප‍්‍රාර්ථනා කරනවා. ඇයට අලූත් ජීවිතයක් දෙන්නැයි මා දෙවියන්ගෙන් ඉල්ලනවා.” මලාලාගේ පියා වැඩි දුරටත් කියා සිටියේය.

තලේබාන් තර්ජන හේතුවෙන් මේ වන විටත් මලාලාවත් අගේ පවුලේ අයවත් සරණාගතයන් ලෙස බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමට වීසා නිකුත් කිරීමට බි‍්‍රතාන්‍ය රජය මේ වන විට තීරණය කර අවසන්ය. ඇයට ප‍්‍රතිකාර කිරීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරුන් ද කැමැත්ත පළ කර ඇත. ඇයට අවශ්‍ය වන සියලූම සෞඛ්‍ය පහසුකම් ලබා දීමට ද තමන් කටයුතු කරන බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසා ඇත. ලෝකයේ කොහේ ගියත්, තලේබාන් මරණ තර්ජන හේතුවෙන් මලාලායට යළි ඇගේ ආදරණීය ස්වාත් මිටියාවතට හෝ ඇගේ මවුරට වන පාකිස්තානයට හෝ පැමිණීමට නොහැකි වනු ඇත.


Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


10 අදහස්:

සුදු මහත්තයා said...

e blog eke adress එක දෙන්න පුළුවන් නම්

Dishan Rajapaksha said...

http://news.bbc.co.uk/2/hi/south_asia/7834402.stm

මෙන්න ඒ බ්ලොග් එක

තිසර said...

ගොඩාක් වටිනා ලිපියක්.... බොහොම ස්තූතියි ඉදිරිපත් කලාට

Shanthi Chandrasekera said...

honda lipiyak nirbeetha diyaniyata deviyange asirwadaya laba ikman suwaya pathamu api sawoma ekwa

හිරුහිමාවී said...

Hitha awul una..ane manda.sthuthiyi lipiyata!

Red Riding Hood said...

ම්ම්.. මේ ලිපිය බොහෝම වටිනවා.. දැනුවත් කිරීමට ස්තූතියි..
ජය..!!

Subash Dilruk said...

බලන්න බලන්න කියල හිටියට මග අරුනා. අන්තිමේදී කොහොම හරි කියෙව්වා. ඇත්තටම බ්ලොග් එකක් ජනයාගේ හිතසුව පිණිස යොදා ගැනීම සතුටට කරුණක්. බ්ලොග් කරුවෙක් විදියට මම ඒ ගැන සතුටු වනවා. ඇයට ඉක්මන් සුව සහ දීර්ඝායු පතනවා.

Naleen Dilruksha said...

මේ දැරිවියට සුවය ප්‍රාර්ථනා කරනවා

දයියා said...

අය ජීවත් විය යුතුමයි.
ඇයට සුවය ලැබේවා.

farzan said...

ලිපියේ "තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ දළදඬු ෂරියා නීතියට" යනුවෙන් සඳහන් කර තිබෙනවා. එය තලේබාන්ලගේ දරදඬු නීති‍ය මිසක් ඉස්ලාමයේ නීතිය නොවේ. ඉස්ලාමය ඉගෙනුමට ප්‍රමුඛ තැනක් දෙයි. මොවුන්ගේ ප්‍රතිපත්ති ඉස්ලාමයට විරුද්ධයි. ඉස්ලාමටය අනුව මුස්ලිම් වරයෙක් නිකරුනේ තවත් මුස්ලිම්වරයෙක් ඝාතනට කිරීමෙන් ඔහු අවිශ්වාසකල පුද්ගලයෙක්ගේ(කාෆිර්වරයෙක්ගේ) තත්වයට පත්වෙනවා. මොවුන් කෙතරම් නම් මුස්ලිම්වරුන්ව ඝාතනය කරනවාද. මොවුන් ඉස්ලාමයට කැළැල්ලක්.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top