HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විසිතුරු වෙසින් එන මිනීමරුවෝ! ඇන්ත්රැක්ස්වල සිට කළු වසංගතය දක්වා මරුවන්ගේ ඔබ මින් පෙර නුදුටු සුන්දර දසුන්!

මේවා බැලූ බැල්මට නූතන කලාවට අයත් සිත්තම් වගෙයි. මේ හැම එකක් ම මරු කැඳවන රෝග කාරකයන්. මිනිස් සිරුරට ඇතුළු වුවහොත් නියත මරණය ලබා දෙන ඒවායි. ඒවගේ ම ඕනෑම මොහොතක වසංගතයක් ලෙස පැතිරිය හැකි සංක‍්‍රාමික රෝගවලට අයත් ඒවායි.

බැක්ටීරියා, වයිරස ආදියට අයත් මේවා පියවි ඇසට පෙනෙන්නේ නැහැ. දැක ගන්නට පුළුවන් අන්වීක්ෂයකින් පුළුවන්. මේ ඔබ ප‍්‍රථම වරට දකින්නේ ඒවායේ අති විශාලනය කරන ලද ඒවායි.

 
මේක හරියට කලාගාරයක ප‍්‍රදර්ශනයට තබා තියෙන චිත‍්‍රයක් වගෙයි. වර්ණ ප‍්‍රක්ෂේපණය කරන ඉලෙක්ට්‍රෝන අන්වික්ෂයකින් 12,500 ගුණයක් විශාලනය කළ විටයි, මෙහෙම පෙනෙන්නේ.

දස දහස් ගුණයක් විශාලනය කළ හැකි ඉතාමත් බලවත් අන්වීක්ෂ යොදා ගෙන තමයි, මේ රූප කැමරාවට නගා තියෙන්නේ. හැබැයි වර්ණ යොදා තියෙන්නෙ නම් ඩිජිටල් ක‍්‍රමයෙන් මේවා වර්ණ ගැන්විය හැකි ශිල්පීන්ගේ සහය ලබා ගෙනයි. එහි ප‍්‍රතිඵල හරිම විස්මයජනකයි!

මේ රූපවලින් ඔබට ඉතාමත් කුඩා ඕනෑම බීජාණුවක් වුනත් ඇදහිය නොහැකි තරම් සවිස්තරාත්මකව දැක ගන්න පුළුවන්.

මේ රූප කැමරාවට නගා තියෙන්නේ නවතම අධි තාක්ෂණික වෙමලම් යොදා ගෙනයි. ජර්මනියේ පිහිටුවා ඇති ‘අයි ඔෆ් සයන්ස්’ (Eye of Science) නමින් හැඳින්වෙන ඡායාරූප ශිල්පීන් පිරිසක් තමයි, මේ දස්කම කරලා තියෙන්නේ.

මෙම රූප ඔවුන් විසින් විශේෂයෙන් කැමරාවට නංවා ලබා දීලා තියෙන්නේ ලන්ඩනයේ පිහිටුවා ඇති විද්‍යා ඡායාරූප පුස්තකාලයටයි (Science Photo Library) ලොව පුරා විද්‍යා පර්යේෂණවල නියැළි අයටටත් අධ්‍යාපනඥයන්ටත් මේවා ලබා දෙනවා. ඇතැම් විට මේ කලාත්මක නිර්මාණ හැටියට විද්‍යාගාරවල ප‍්‍රදර්ශනය කරන්නත් අනාගතයේ දී ඉඩ තියෙනවා.

එක් රූපයකින් දැක්වෙන්නේ මාරක ඇන්ත්රැක්ස්. එය සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල කළ ප‍්‍රහාරයේ දී ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මාරාන්තික විෂ බීජයක්.

මේ බැක්ටීරියාව 18,000 ගුණයක් විශාලනය කරලයි, තියෙන්නෙ.

මේ බැක්ටීරියා එකතුවේ කළු වසංගතයට හේතු වූ මහාමාරිය බෝ කරන විෂ බීජයත් තියෙනවා.

මෙම රෝගය පතුරුවන්නේ මැක්කන් විශේෂයක්. බැලූ බැල්මට හානිකර යැයි නොසිතුනත් එක් දිනකින් ම ආසාදනය ඇති වූවකු ට මාරක තත්වයක් ඇති කිරීමට පුළුවන්.

”අතීතයේ දී මේ ඡායාරූප යොදා ගත්තේ පර්යේෂණ සඳහා ම පමණයි. ඒත් දැන් සාමාන්‍ය ජනතාවත් මේවා ගැන උනන්දුවක් දක්වනවා.” යයි විද්‍යා ඡායාරූප පුස්තකාලයේ මාක් ඇබට් කියනවා.

මේ පරිලෝකන විද්‍යුත් අන්වීක්ෂයෙන් විශාලනය කර දැක ගන්නට අවශ්‍ය නිදර්ශක ලොවපුරා රටවලින් ඔවුනට ලැබෙනවා.

පියවි ඇසට නොපෙනෙන සාම්පල රන් පත‍්‍රයකින් වහලයි, අන්වීක්ෂය යට තියන්නේ.

මේ රූප විශාලනය කොට කැමරාවට නගා ඇත්තේ කළුසුදු ඡායාරූප හැටියටයි. පසුව ඒවා පරිගණකය මගින් වර්ණ ගන්නා තියෙන්නෙ විශේෂ චිත‍්‍රශිල්පීන් විසින්.

දැනටමත් මේ වර්ණ රූප කලාත්මක ඒවා හැටියට බිත්ති හා ග‍්‍රන්ථ සරසන්නත් යොදා ගන්නවා.

”අපේ මේ රූපවලට විශාල ඉල්ලූමක් තියෙනවා. පොදු ජනතාව විද්‍යාව ගැන දැනුවත් කිරීමේ දී වගේම පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී මේවා ප‍්‍රයෝජනවත් වෙනවා.”

තවත් රූපයකින් දැක්වෙන්නේ සාර්ස් විෂ බීජයයි. මාරක පෙණහලූ රෝග තත්වයක් ඇති කරන මෙය 2002 දී මුලින් ම හමු වුණේ චීනයෙන්. 56,000 ගුණයක් විශාලනය කරලයි තියෙන්නෙ.

 
මේ වසූරිය පතුරුවන වයිරසයේ රූපයක්. හරියට තෙල් සායම් චිත‍්‍රයක් වගෙයි. සෑම වයිරසයකම ප්‍රෝටීන් ආවරණය කහ වර්ණ ගන්වලා තියෙනවා, හොඳින් පෙන්න අවශ්‍ය නිසා. ඞීඑන්ඒ ජාන ද්‍රව්‍යවලට රතු පැහැය යොදා තියෙනවා. විශාලනය 28,500 ගුණයක්.

 
මේකත් වසූරිය වයිරසවල ම වඩාත් සමීප දසුනක්. ජාන ද්‍රව්‍ය රතු පැහයෙනුත් ඒ වටා ඇති ප්‍රෝටීන් ආවරණය කහපැහැයෙනුත් දැක්වෙනවා.

 
මේ බැක්ටීරියාව මොළයේ ඉදිමීමක් ඇති කළ හැකි එකක්. නීසේරියා මෙනින්ජයිටයිඩිස් (Neisseria meningitidis) නම් වූ මේ බැක්ටීරියාව මෙනින්ගොකෝකල් මෙනින්ජි ප‍්‍රදාහය ඇති කිරීමට සමත්. මේ 33,000 ගුණයක් විශාලනය කරල වර්ණ ගන්වලයි, තියෙන්නෙ.

 
මේ ස්ටෙ‍්‍රප්ටොකොකස් නියුමෝනියේ (Streptococcus pneumoniae) විෂ බීජය ආසාදනයක් ඇති නොකර ඕනෑම කෙනකුගේ සිරුරේ තියෙන්නේ පුළුවන්. ප‍්‍රතිශක්තිය නැති විටෙක ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ ආසාදන ඇති කොට මාරක නියුමෝනියා තත්වයක් ඇති කරවන්න පුළුවන්.

 
කළු වසංගතය ලෙස හඳුන්වනු ලැබූ මහාමාරියට මුල් වූ යෙර්සිනියා පෙස්ටිස් (Yersinia pestis) බැක්ටීරියාව.

ද්විමාන ප‍්‍රතිබිම්බයක් නිර්මාණය කර ගනු ලැබුවේ අධි-තාක්ෂණ සම්පේ‍්‍රෂණය සහිත ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් භාවිතයෙන්. නිදර්ශනය හරහා ඉලෙක්ට්‍රෝන යැවීමෙනුයි එහි ඡායාරූපය ලබා ගත්තේ.

මේ පෝලියෝ, වසූරිය හා ඉබෝලා වැනි වයිරසවලට ගොදුරු වී අපි‍්‍රකාවේ දිවිරැක ගන්නේ සියයට 10ටත් අඩු ප‍්‍රමාණයක්. ඒ වයිරස දස දහස්වරක් විශාලනය කළ විට එවැන්නක් මේ තරම් භයානක තත්වයක් ඇති කරතැයි මොහොතකට වත් හිතන්න බැහැ.

 
ඊ-කොලයි බැක්ටීරියාව ඇතැම් තත්වයන් යටතේ ආන්ත‍්‍ර ප‍්‍රදාහය හා මූත‍්‍ර මාර්ගයේ ආසාදන ඇති කිරීමටත්, එහි සමහර මාදිලි ආහාර විෂ වීම්ඇති කිරිමටත් සමත් වෙනවා. විශාලනය කර ඇත්තේ 17,000 ගුණයක්.

ආන්ත‍්‍ර ප‍්‍රදාහය හා මූත‍්‍ර මාර්ගයේ ආසාදන ඇති කිරීමට මුල් වන ඊකොලයි බැක්ටීරියාව විශාලනය කර දීප්තිමත් හරිත පැහැය හා කහ පැහැය යොදා ආලෝකමත් කර ගත් විට අමුතු ජීවීන් දෙදෙනකු වගෙයි පෙනෙන්නෙ.

බල්ලන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය ඇති කරන වයිරසය මෙහි ඇතුළත් කර ඇත්තේ 150,000 වරක් විශාලනය කරලයි.

අත්පාවල ඉන්නන් ඇති කරන පැපිලෝමා වයිරසය 60,000 ගුණයකින් විශාලනය කර මෙහි දක්වා තියෙනවා.
ක්ෂයරෝගයේ මෙන් ම ලිංගාශි‍්‍රත සංක‍්‍රාමීය රෝගයක් වූ ගොනෝරියා මාදිලියත් මෙහි ති‍්‍රමාන රූපවලින් දක්වා තියෙනවා.

මෙහි විශේෂ ප‍්‍රයෝග යොදා රූප ගත කළේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් යොදා ගෙනයි. ඒ මගින් රූප ගත කරන නිර්දර්ශය වෙත ඉලෙක්ට්‍රෝන ධාරාවක් පතිත කිරීම මගිනුයි, මේ රූප සකසා ගත්තේ.

 
පොලූ හැඩයැති ඇන්ත්රැක්ස් රෝගය ඇති කරන බැසිලස් ඇන්ත්රැසිස් බැක්ටීරියාවයි, මේ. විශාලනය 18,300 ගුණයක්.

 
ක්ෂය රෝග බැක්ටිරියාව. මෙය මිනිස් සිරුරට ඇතුළුවන්නේ කෙළ බිඳිති මගින්. විශාලනය 10,000 ගුණයක්.

 
මෙහි ඇත්තේ බොරේලියා බර්ග්ඩෝෆෙරි නම් ස්පයිරෝකීට බැක්ටීරියාවක වර්ණ යෙදූ පරිලෝකන ඉලෙක්ට්‍රෝන මයික්‍රොරේඛයක්. මේ දඟර හැඩැති බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුළු වන්නේ ටික්කන් දෂ්ඨ කිරීමෙන්. විශාලනය 3650 ගුණයක්

 
ඉන්නන් බෝ කරන පැපිලෝමා වයිරසය (ව්‍යාජ වර්ණ යොදා ඇති). මේ එක් වයිරසයක් තුළ තිත් බඳු ප්‍රෝටීන් ඒකක ඇතුළත් කැප්සෝමර් 72ක් තියෙනවා. මානව පැපිලෝමා වයිරසය (HPV) මෙහි ඇත්තේ 60,000 වරක් විශාලනය කරමිනුයි.

 
සාර්ස් වයිරස අංශූ (රතු) සත්කාරක ෙසෙලයක් තුළ තිබෙන අයුරු. ඒවා සෛල මත හිඳ ඒවා විනිවිද ඇතුළු වෙනවා. විශාලනය 56,000 ගුණයක්.

 
ඉන්ෆ්ලූවෙන්සා වයිරසයයි, මේ. එහි රයිබෝ නියුක්ලියැක් අම්ලය වටා නියුක්ලියෝකැප්සිඞ් (රතු පැහැයෙන්) හා ලිපිඩ ආවරණයක් (හරිත පැහැයෙන්) තියෙනවා. විශාලනය 230,000 ගුණයකි.

 
මේ පෝලියෝ වයිරසයි. ඒ සෑම වයිරසයක් මැද ආර්එන්ඒ (රයිබෝ නියුක්ලියැක් අම්ලය) ජාන ද්‍රව්‍ය ඇති අතර ඒ වටා ප්‍රෝටීන් ආවරණයක් (නිල් පැහැයෙන්) තියෙනවා. පෝලියෝ වයිරස මාදිලි තුනක් තියෙනවා. වසංගත තත්වයන් ඇති කරන්නේ අංක 1 මාදිලියයි. විශාලනය 90,000 වරකි.


Post a Comment

0 Comments