HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’!

අඟහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ (කුතුහලය) රොබෝ යානය නැතිනම් රෝවරය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගනිමින් සිටිනවා. දත්ත ලබා ගන්නා අතරතුරේ ඡායාරූප ගැනීමත් සිදුවෙන බව වාර්තා වෙනවා. මෙසේ ගත් ඡායාරූප කිහිපයක දකින්න ලැබුණු ‘අබිරහස් ආලෝකයක්’ සහ ‘සපත්තුවක්’ නිසා යළිත් වරක් මහා ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.


පසුගිය අගෝස්තු 6 වැනිදා ‘කියුරියෝසිටි’ රෝවරය අඟහරු මත පතිත වූ අවස්ථාවේ සිට අඟහරු ලොවේ ජීවීන් ගැන කුතුහලයක් ඇති වුණා. කියුරියෝසිටි අඟහරු මතුපිට සිට ප‍්‍රථම ඡායාරූප පෘථිවියට එවීමෙන් පසුව ඒවා අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධ වුණා. මේ අතර ඇතැම් පරිගණක ග‍්‍රැෆික් නිර්මාණකරුවන් එම ඡායාරූප වෙනස් කරමින්, යළි අන්තර් ජාලයට එක් කළේ අඟහරු මතුපිට පිටසක්වළයන් සිටින අයුරු නිර්මාණය කරමිනුයි.



ඒත් මේ ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’ නිසා අඟහරු මතුපිට පිටසක්වළයන් සිටිනවා යැයි ද කටකතා පැතිරෙනවා. ‘සපත්තුවේ’ අබිරහසට පිළිතුරු දෙමින් නාසා විද්‍යාඥයන් පවසන්නේ එය අසාමාන්‍ය පාෂාණ පිහිටීමක් විය හැකි බවයි. එය බැලූ බැල්මට ඉවත දැමූ බූට් සපත්තුවක් යැයි නාසා විද්‍යාඥයෝ පිළිගන්නවා.


‘කියුරියෝසිටි’ රෝවරය එවූ අනෙක් ඡායාරූපවල ඇති අසාමාන්‍ය අලෝකය නාසා විද්‍යාඥයන්ටත් අබිරහසක්. එය සුදු පැහැති ආලෝකයක්. ඈත ක්ෂිතිජයේ, අහසේ එහෙ මෙහෙ යන අයුරු ඡායාරූපවල දැක්වෙනවා. එය ඇත්තටම අඟහරුගේ අහසේ ගිය කිසියම් ආකාරයක ආකාශ වස්තුවක්ද? නැතිනම් පියාඹන පීරිසියක්ද? යන්න ගැන මේ වනවිට සොයා බැලෙනවා. එය පෘථිවියේ අපි යැවූ රොබෝ රෝවරය ගැන සොයා බලන්න පැමිණි අපට වඩා දියුණු පිටසක්වළ ජීවීන්ගේ යානාවක් යැයි ඇතැමුන් අනුමාන කරනවා. ඒත් මේ ගැන තවමත් හරිහැටි පැහැදිලි කිරීමක් කරන්න නාසා ආයතනයේ විද්‍යාඥයන්ට හැකියාව ලැබිලා නැහැ.


විශේෂිත මෙන්ම ඉතා අවදානම් ක‍්‍රමවේදයකට, කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කිරීමට නාසා විද්‍යාඥයන් සමත් වුණේ ගේල් නමැති ආවාටය මතටය. කියුරියෝසිටි මේ වනතෙක්ම ගොඩ බෑ ස්ථානයේ නිසලව සිට, අවට ඇති දේවල් ඡායාරූපයට නගා නාසා විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්සුවා. එය අඟහරු මතුපිට එහෙ මෙහෙ යෑමට පටන් ගත්තේ පසුගිය අගෝස්තු 22 වැනිදා සිටයි.

කියුරියෝසිටි රෝවරය ගේල් ආවාටයේ ගොඩ බෑ වූ ස්ථානය, ‘බ‍්‍රැඞ්බරි’ යනුවෙන් නම් කිරීමට විද්‍යාඥයන් තීරණය කළා. ඒ, අඟහරු ග‍්‍රහයා ගැනත් අඟහරු ගවේෂණ ගැනත් විද්‍යා ප‍්‍රබන්ධ ලියූ ප‍්‍රකට ලේඛක රේ බ‍්‍රැඞ්බරිට උපහාරයක් හැටියටයි. රේ බ‍්‍රැඞ්බරි, ජීවතුන් අතර සිටියේ නම් අගෝස්තු 22 වැනිදාය ඔහුගේ 92 වැනි උපන් දිනය යෙදෙන බව ද නාසා විද්‍යාඥයෝ මතක් කර දෙනවා.


කියුරියෝසිටි රෝවරය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරමින් ලබා ගන්නා දත්ත පෘථිවියට එවීමත් සිදු කරමින් පවතිනවා. රෝවරයට බලය සැපයෙන්නේ එහි බල සැපැයුම් පද්ධතියෙහි ඇති ප්ලූටෝනියම් ඩයොක්සයිඞ් කිලෝ ග‍්‍රෑම් 4.8 කිනි. විකිරණශීලී ද්‍රව්‍ය ක්ෂය වීමෙන් විදුලිය නිපදවීමක් සිද්ධ වෙනවා. මෙම බල සැපැයුමේ ආයු කාලය වසර 14 ක් බව නාසා ආයතනය කියනවා. පස් සාම්පල එක් රැස් කිරීමට රොබෝ අතක් යානයෙහි තිබෙනවා. දිගු කළ විට එහි දිග මීටර් 2.3 ක්. සෙ.මී. 50 ක විෂ්කම්භයකින් යුත් රෝද සෑම එකකටම මෝටර් යොදා තිබෙනවා. අංශක 45 ක ආනතියකට නැගීමට හැකියාව තිබෙනවා.

නාසා ආයතනය අඟහරු ගවේෂණය සඳහා මීට පෙර ද යානා යැව්වා. ඒවා අතරින් ‘ස්පිරිට්’ ‘පාත්ෆයින්ඩර්’ සහ ‘ඔපර්චුනිටි’ යන රොබෝ යානා විශේෂයි. අඟහරු මත ද්‍රව අයිස් ඇති බව තහවුරු කළේ එම ගවේෂණ යානායි. ‘ස්පිරිට්’ සහ ‘ඔපර්චුනිටි’ යානා කුඩා ඒවාය. කිලෝ ග‍්‍රෑම් 899 ක් බර ‘කියුරියෝසිටි’ කුඩා මෝටර් රථයක් තරමට විශාලයි. එදා මෙදා මිනිසා අභ්‍යවකාශයට යැවූ රොබෝ ගවේෂණ යානා සමඟ සන්සන්දනය කර බලද්දී ඉදිරියෙන්ම සිටින්නේ ‘කියුරියෝසිටි’ රෝවරයයි.


‘කියුරියෝසිටි’ යානය අඟහරු මත පතිත කිරීමේ අරමුණ, අනාගතයේ දිනෙක මිනිසුන් එහි යැවීමේ මෙහෙයුම ආරම්භ කිරීමට යැයි නාසා විද්‍යාඥයෝ ප‍්‍රකාශ කරනවා. අතීතයේ, අඟහරු මත ජීවය පැවැතියේද යන්න සෙවීමත් මෙම යානයේ තවත් අරමුණක්. අඟහරු ග‍්‍රහලොවට මිනිසුන් රැගෙන යෑමට හැකි ආකාරයේ ගගන යානාවක් නිර්මාණය කිරීමට ඇමෙරිකානුවන්ට හෝ රුසියානුවන්ට හැකියාවක් ලැබී නැහැ.

ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියත් ඇමෙරිකා රජයේ උපදෙස් පරිදි නාසා ආයතනය ඇමෙරිකාවේ පෞද්ගලික ගුවන් යානා නිෂ්පාදන සමාගම සමඟ හවුල් වී ‘ඔරායන්’ නමැති ගගන යානය නිපදවීමේ කටයුත්තට අත ගසා තිබෙනවා. වසර 2030 දී අඟහරු ග‍්‍රහලොවට මිනිසුන් යැවීමට හැකිවේවි කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා.


සහතිකව කියන්න පුළුවන්, අඟහරු මත අතීතයේ සාගර තිබෙන්න ඇති කියලා. සාගර තිබුණා යැයි කියන්නේ අතීතයේ ඒවායේ ජීවය තිබෙන්නත් ඇති. අඟහරු ග‍්‍රහයා කැණීම් කර පොසිලයක් මතු කර ගන්න හෝ දැනටමත් අඟහරු මත ඇති අයිස් තට්ටුවලින් ක්ෂුද්‍ර ජීවියකු සොයා ගන්න හෝ විද්‍යාඥයන්ට හැකිවුණොත් ඒක හරි අපූරු දෙයක් වේවි. එයින් අදහස් වෙන්නේ පිටසක්වළ ජීවීන් සිටිනවා කියලා අපට ප‍්‍රබල සාක්ෂියක් ලැබීමයි. පෘථිවිය හිරු වටේ භ‍්‍රමණය වෙනවා කියලා කොපනිකස් ඉදිරිපත් කළ න්‍යායයෙන් පසු මනුෂ්‍ය වර්ගයා විසින් සිදුකරන මහා සොයා ගැනීම ඒක වේවි.

1961 වසරේ සිට 1973 තෙක් කාලයේ, ඇමෙරිකාවේ නාසා ආයතනය නව නිපැයුම් රැසක් නිර්මාණය කළා. මීට කලින් නිර්මාණය නොකළ ආකාරයේ. එතකොට නාසා ආයතනයට වෙන්ව තිබුණේ අද ලැබෙන මුදලින් සියයට 25 කටත් වඩා අඩු ප‍්‍රමාණයක්. ඒත් ඒ ප‍්‍රමාණයෙන් උපරිම දේවල් ඔවුන් නිර්මාණය කළා. විශ්වාස කළ නොහැකි දේ කළා. ඇපලෝ වැඩසටහන පමණක් පාසල් දරු දැරියන්ට ශක්තියක් සහ ධෛර්යයක් වුණා. ලෝකයේ දක්ෂ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් බිහි කරන්න ඒක හේතුවක් වුණා. අඟහරු බලා ගගනගාමීන් රැගෙන යෑමේ මෙහෙයුමක් සිදුවුනොත් ඒ හා සමාන පෙරළි රැසක් සිදුවෙනවා.

අඟහරු කියන්නේ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ග‍්‍රහයෙක් පමණක් නොවේ. අඟහරු අනාගතයේ දිනක අපේ නව නිවහන වෙන්නත් බැරි නැහැ. අනාගතයේ දවසක මිලියන ගණනක් දෙනා පෘථිවියෙන් අඟහරු වෙත ගොස් එහි ජනාවාස පිහිටුවා ගන්න බැරි නැහැ. එවැනි කි‍්‍රයාවලියකට මං පෙත් සකස් කරන්නේ නැතිනම් පුරෝගාමීන් වෙන්නේ වර්තමානයේ ජීවත් වන විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන්. ඒ නිසා අද ඔවුන් ගන්නා තීරණ වගේමයි ඔවුනුත් අමරණීය වෙනවා. අඟහරු ග‍්‍රහලොව ගැන නොයෙක් නොයෙක් පොත් පළ වී තිබෙනවා. එයින් සමහරක් ඒවා අපූරු වීර වික‍්‍රම. තවත් සමහරක් විද්‍යාත්මක න්‍යායයන් පදනම් කරගෙන ලියූ විද්‍යා ප‍්‍රබන්ධ. රේ බ‍්‍රැඞ්බරි මෙන්ම අඟහරු ගැන විද්‍යා ප‍්‍රබන්ධ ලියූ තවත් ලේඛකයෙක් තමා රොබට් සුබ්රින්. අඟහරු මත ජනාවාස ඉදිකරන අයුරුත්, මුහුණ දීමට සිදුවන අභියෝග ජය ගන්නා අයුරුත් මෙම විද්‍යා ප‍්‍රබන්ධවලට පාදක වෙනවා.

 
 -- සම්බන්ධිත පුවත් --






Post a Comment

4 Comments

  1. කලබල වෙන්න දෙයක් නෑ. එක සපත්තුවක් තියෙනවා නම් අනිකත් ඔය ළගම ඇති. හිමීට හොයා බලන්නයි තියෙන්නෙ...

    ReplyDelete
  2. ඕක කියන විදිහට පිරිමි සපත්තුවක් උනොත් හොදයි මොකද ගෑනු එහෙත් හිටියොත් කනක් ඇහිල ඉන්න වෙන්නේ නැහැ නේ

    ReplyDelete
  3. ඉතා වටිනා ලිපියක් අගහරු ගවෙශනයෙ අලුත් තොරතුරු ඉදිරියටත් පලකරන්න

    ReplyDelete
  4. හැබැයි අඟහරුවල බුද්ධිමත් ජීවීන් නම් ඉන්න විදිහක් නෑ. මොකද එහෙනම් ඔය අපි කරපු ටික ඒගොල්ලො ඊට කලින්ම කරල

    ReplyDelete