HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘කුතුහලයා’ රතු ග‍්‍රහයා මත සිට චන්ද්‍ර ග‍්‍රහණයක් දකියි! එහි පැහැදිලි පින්තූර පොළොවට එවයි!

රතු ග‍්‍රහයා මතුපිට සරණ නාසා ආයතනයේ කියුරියෝසිටි හෙවත් ‘කුතුහලයා’ දැන් දැන් අපූරු පින්තූර එවන්න පටන් අරන්. එසේ එවා ඇති අලූත්ම පින්තූර රතු ග‍්‍රහයාගේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් කුඩාම චන්ද්‍රයා වූ ‘ඞීමෝස්’ගෙයි. ඞීමෝස් සූර්යයා හරහා යමින් රතු ග‍්‍රහයා මතට පෙනෙන ආකාරයේ අර්ධ සූර්ය ග‍්‍රහණයක් මැවූ ආකාරය දැක්වෙන මේ රූපය මිහිමත සිටින අපි කවදාවත් දැක නැති එකක්.

 
පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ඞීමෝස් චන්ද්‍රයා සූර්යයා හරහා ගිය ආකාරය රතු ග‍්‍රහයා මතට පෙනුන හැටි.

ෆෝබෝස්ගේ සූර්යග‍්‍රහණය දැක්වෙන පින්තූරයේ පෙනෙන්නේ හරියට සූර්යයාගෙන් කොටසක් ගිලලා වාගෙයි. ඒත් කුඩා චන්ද්‍රයා වූ ඞීමෝස්ගේ සූර්ය ග‍්‍රහණය සූර්යයා මත තද කළු ලපයක් ලෙස පැහැදිලිව පෙනෙනවා.

ෆෝබෝස් චන්ද්‍රයාගේ විශ්කම්භය සැතැපුම් 14ක් වන අතර ඞීමෝස්ගේ විශ්කම්භය සැතැපුම් අටක් විතරයි. එහෙත් ලොකු චන්ද්‍රයා අඟහරු මත සිට බලන විට වඩාත් ලොකුවට පෙනෙනවා. ඒ එය අඟහරුට වඩාත් ළංව පිහිටා ඇති නිසයි.

ෆෝබෝස්ගේ කක්ෂයක දුර සැතැපුම් 5,800ක් වන අතර ඞීමෝස්ගේ කක්ෂයක දුර සැතැපුම් 14,580ක් වෙනවා.

 
පසුගියදා නාසා ආයතනය විසින් නිකුත් කළ අඟහරු ලොවට පෙනුණු සූර්යග‍්‍රහණ පින්තූර. මෙහි දැක්වෙන්නේ එහි ඇති චන්ද්‍රයන් දෙදෙනාගෙන් විශාලතම චන්ද්‍රයා වූ ෆෝබෝස් සුර්යයා ග‍්‍රහණය කර ගන්නට පටන් ගත් ආකාරයයි.

ෆෝබෝස් හා ඞීමෝස් අපේ පෘථිවියේ චන්ද්‍රයාට වඩා අඟහරුට ආසන්නවයි, පිහිටා තියෙන්නෙ. ඒ නිසා ඒවා ඉක්මනින් අහස සිසාරා යනු දැකිය හැකියි. ෆෝබෝස්ට අඟහරු වටා වරක් යන්නට ගත වන්නේ පැය අටකටත් අඩු කාලයක් විතරයි. ඞීමෝස්ට ඒ එක් ගමනක් සඳහා පැය 30ක් ගත වෙනවා.

අඟහරු අපේ පෘථිවියට වඩා සූර්යයාට මඳක් ඈතින් පිහිටියත්, රතුග‍්‍රහයා මත සිට වුනත් සූර්යයා දෙස කෙළින් ම බැලීම හානිකරයි. ඒ නිසා ‘කුතුහලයා’ වුනත් මේ පින්තූර ගන්න කැමරාවට පෙරණයක් පාවිච්චි කළා. ඒ පෙරණයට සූර්ය කිරණ 1000 ගුණයකින් පංගුවකට අඩු කරන්න පුළුවන්.

මේ සූර්ය ග‍්‍රහණවලට අමතරව කුතුහලයා අවධානය යොමු කළා අඟහරු බිම මතුපිට හමු වූ පාෂාණවලට. එයාට හමු වුණා, පිරමීඩ හැඩයක් ඇති පාෂාණයක්, පාපන්දුවක් විතර ලොකු. ඒ පාෂාණය තමයි මුලින් ම විමර්ශනයට ලක්වුණේ.

 
පාපන්දුවක් තරම් විශාල පිරමීඩ හැඩයේ පාෂාණ කැබැල්ලක් හමු වෙයි. මේ පින්තූරය අඟහරු ලොවේ සිට එව්වේ පසුගිය සැප්තැම්බර් 21 වැනිදායි.

 
කුතුහලයාගේ එක් රොබෝ අතක සවි කර ඇති කැමරාවකින් ගත් මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කොඩියයි.

 
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඇතුළු එරට ප‍්‍රධානීන්ගේ අත්සන් සහිත මේ ඵලකයත් එහි සවිකර ඇති එකක්.

ඒ පිරමීඩ හැඩයේ පාෂාණය හමු වූ ස්ථානය ‘ග්ලෙනෙල්ග්’ කියා නම් කර තියෙනවා. පොළොවේ මෙහෙයුම් මැදිරියේ ඉන්නා අය බලාපොරොත්තු වෙනවා, ඒ පාෂාණයේ මූල ද්‍රව්‍ය සංයුතිය ගැන සොයන්න ස්පෙක්ට්‍රොමීටරයක් යොදා ගෙන. එහි රොබෝ අතේ සවි කර ඇති කැමරාවෙන් එහි වඩාත් සමීප ඡායාරූප ගන්නත් ඔවුන් සූදානම් වෙනවා.

මේ පාෂාණය ‘ජේක් මැටිජෙවික්’ කියා නම් කර තියෙන්නේ මෑත දී මියගිය නාසා සේවකයකු සිහි වෙන්නයි.

මේ රොබෝ අතේ සවිකර ඇති ඇල්ෆා අංශු එක්ස් කිරණ ස්පෙක්ට්‍රොමීටරය හා කුඹ ගසෙහි සවිකර ඇති ලේසර් ධාරාවක් මගින් රාසායනික සංයුතිය විශ්ලේෂණය කළ හැකි කැමරා උපකරණය යොදා ගෙන තමයි, පාෂාණයේ මූල ද්‍රව්‍ය හඳුනා ගන්නට බලාපොරොත්තු වන්නේ.

මේ විමසුමෙන් රතු ග‍්‍රහයාගේ ව්‍යුහය පිළිබඳ නව දැක්මක් ලැබේයැයි ඔවුන් අපේක්ෂා කරනවා. ඒ අතරම ඔවුනට ඒ උපකරණවල කි‍්‍රයාකාරිත්වය ගැනත් අවබෝධයක් ලබා ගන්නත් හැකි වෙනවා.

අඟහරු ග‍්‍රහයාගේ සිට එවන ලද අලූත්ම පින්තූර අතර ඇමරිකානු ජාතික ධජයේ අනුරුවක් ඇතුළත් පදක්කමක රූපයක් හා ජනාධිපති අත්සන් සහිත ඵලකයක රූපයක්ද වෙනවා.

--සම්බන්ධිත පුවත් --

Post a Comment

1 Comments

  1. මහත්මයාණෙනි ඔබ හොන්ඩා සමාගමේ හිමි කරුගේ ජීළුිත කථාව පිළිබඳ ලිපියක් යම් බ්ලොග් එකක දැක්කද? ඒ ලිපිය මට කියවීමට අවශ්‍යයි. ඒ ගැන දන්නේ නම් මට දන්වන්න... ස්තූතියි
    helavijayayouthsociety@gmail.com

    ReplyDelete