2

මොහොතකින් ගොඩනැගිල්ලක් පොළොව තුළට ගිලා බැස්සවිය හැකි 'බංකර් නාශක බෝම්බ'!

දෙවන ලෝක යුද සමයේ දී බි‍්‍රතාන්‍ය සැලසුම්කරුවකු වූ බාන්ස් විලිස් අමුතු ම විදියේ බෝම්බ දෙකක් නිෂ්පාදනය කළේය. අද බංකර් නාශක බෝම්බ ලෙස හැඳින්වෙන බෝම්බයේ ආරම්භය එයයි. එකක් ‘ටෝල් බෝයි’ හෙවත් ‘උස ළමයා’ නම් විය. එය බරින් ටොන් 5ක් විය. අනෙක ‘ග්රෑන්ඞ් ස්ලෑම්’ නම් විය. එහි බර ටොන් 10ක් විය. මේවායේ බඳ තනා ඇත්තේ සවිමත් වානේවලිනි. මේවා වායුගති විද්‍යානුකූලව වල්ගයක් ද සහිතව සැලසුම් කර ඇති බැවින් ගුවන් යානයකින් ගෙන ගොස් මීටර 6700(අඩි 22,000)ක් ඉහළ අහසේ සිට හෙළූ විට කැරකෙමින් පහළට එන්නේ ශබ්දයේ වේගය ද ඉක්මවන වේගයකිනි. මේවා මුලින් ම තනන ලද්දේ යුද සබ්මැරීන ගාල් කර තිබූ දැවැන්ත කොන්කී‍්‍රට් ආවරණ විනාශ කිරීමටය.


අද බංකර් නාශක බෝම්බ ලෙස හඳුන්වනු ලැබුවත් මේවා තනන කාලේ හැඳින්වූයේ ‘භූකම්පන බෝම්බ’ යනුවෙනි. මේවා මුලින් සැලසුම් කළේ ඉලක්කයකට යවන්නට නොවේ. ඉලක්කය අසල බිම පතිත කළ විට පොළොව පසාරු කර ගෙන ගොස් යට දී විශාල කම්පනයක් ඇති කරමින් පුපුරන ආකාරයටය. එවිට ඉලක්ක කළ ගොඩනැගිල්ලේ පදනම පුපුරා ගොස් මොහොතකින් ඒ ගොඩනැගිල්ල පුපුරා පොළොව තුළට ගිලා බැසීමය.

1991 ඇමෙරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ ‘ඩෙසර්ට් ස්ටෝම්’ හෙවත් කාන්තාර කුණාටුව නම් මෙහෙයුමේ දී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බි‍්‍රතාන්‍යය භාවිත කළ යුද අවිවලට සමාන වූ ගැඹුරට කිඳා බැසිය හැකි බෝම්බයක අවශ්‍යතාව ඇති වුණා. නේටෝ සංවිධානයේ ගුවන් හමුදාව සතුව එවැනි අවියක් නොතිබුණි. රාජකීය ගුවන් හමුදාව සතුව ප‍්‍රදර්ශන භාණ්ඩයක් ලෙස බාන්ස් විලිස් තැනූ බෝම්බ කීපයක් තිබේ. හදිසි වැඩ පිළිවෙළක් යටතේ දින 28ක් ඇතුළත මෙවැනි බෝම්බ කීපයක් තනනු ලැබීය. ඒවායේ අසුරුම් ලෙස යොදා ගනු ලැබුවේ මිමී 203 (අඟල් 8) ප‍්‍රමාණයේ පැරණි කාලතුවක්කු බැරල් ය. මේ බෝම්බයක් ටොන් 2ක් පමණ බරෙන් යුක්ත විය. ඒත් ඒවා තුළ තැන්පත් කර තිබුණේ රාත්තල් 647ක් බරැති පුපුරන ද්‍රව්‍ය පමණය. ලේසර් කිරණ මගින් මග පෙන්වන නිසා ඒවා හඳුන්වනු ලැබුවේ ‘මෙහෙයුම් මිසයිල’ කියාය.

මෑත දී ඇමෙරිකා එක්සත් ජනපදය අවශ්‍යතාව අනුව සැකසුණු ඉතා තද පෘෂ්ඨයන් විනිවිද යා හැකි, එමෙන් ම පොළොව පසාරු කර ගෙන ගැඹුරු තැන්වලට යා හැකි විශේෂ බංකර් බෝම්බ පෙළක් ම නිපදවීය. මීටර 1.8(අඩි 6) සිට මීටර 6 (අඩි 20) ක් දක්වා ඝනකම ඇති කොන්කී‍්‍රට් කුට්ටියක් පසා කර ගෙන යාමට ඒ බංකර් බෝම්බවලට හැකියාව තිබුණේය. ඒවා නම් කෙරුණේ 'BLU -109 පෙනිටේ‍්‍රටර්’, 'BLU 116 ඇඞ්වාන්ස්ඞ් යුනිටරි පෙනිටේ‍්‍රටර්’, 'BLU - 118/B තාපකි‍්‍රයාකාරී යුද ශීර්ෂ', '113 BLU සුපර් පෙනිටේ‍්‍රටර්’ ආදී වශයෙනි.

මෙවැනි බෝම්බයක වුනත් පිපිරවීම සඳහා ෆියුසයක් තිබිය යුතුයි. මෙහි ෆියුසය ඇත්තේ කාල ගණකයක් හා බෝම්බය වේගයෙන් ඉදිරියට තල්ලූ කළ හැකි අවරපෙති සහිත ශක්තිමත් බමනයක් ද සමඟ බෝම්බයේ පසුපසය. ගුවන් යානයෙන් බෝම්බය මුදා හරිද්දී මේ බමනයත්, කාල ගණකයත් එකවර කි‍්‍රයාත්මක වෙයි. ෆියුසය ඇට වෙන්නේ ද බෝම්බය මුදා හැරෙන මොහොතේ මය. බෝම්බය පුපුරා යන්නේ මේ බමනයත්, කාල ගණකයත් නතර වූ මොහොතේ දීය. නවීන බංකර් නාශක බෝම්බවල බොහෝ විට සාම්ප‍්‍රදායික ෆියුසයක් ඇතත් සමහර බංකර් නාශක බෝම්බවල මයික්‍රෝෆෝනයක් හා මයික්‍රෝපාලකයක් ද තිබේ. ඒවා කි‍්‍රයාත්මක වීමේ දී මයික්‍රෝෆෝනය සවන් දීම කරන අතර මයික්‍රෝපාලකය මහල් ගණන් කිරීම සිදු කරයි. බෝම්බය කොන්කී‍්‍රට් තට්ටු සහිත මහල් ගණනාවක් පසාරු කර ගෙන ගොස් බෝම්බය මුදා හරින්නට පෙර සකස් කළ ආකාරයට අනුව නියමිත මහලේ දී පුපුරා යයි.


මේ අති නවීන බංකර් නාශක බෝම්බයකට, විශේෂයෙන් ම මිසයිලයක් සවි කළ බංකර් නාශක යුදඅවිශීර්ෂයකට එහි ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය ජවය හා වේගය ලබා දීමට රොකට් මෝටරයක් ද සවි කර ඇත. මේ මෝටරය මගින් විශාල ඝනකමක් ඇති ශක්තිමත් කොන්කී‍්‍රට් කුට්ටි පසාරු කර ගෙන යාමට අවශ්‍ය අතිරේක වේගයක් සැපයේ. වැඩි ගැඹුරකට කිඳා බැසීමට හැකිවන පරිදි මේ බංකර් නාශක යුදඅවිශීර්ෂයකට අධි ඝනත්වයක් ඇති ප‍්‍රක්ෂිප්තයක් ද සවි කර තිබේ. එවැනි යුදඅවිශීර්ෂයක්, රසායනික පුපුරන ද්‍රව්‍ය රැගත් යුදඅවිශීර්ෂයකට වඩා වැඩි බලයක් ගෙන යයි.

1945 මාර්තු 15 වැනිදා හෙළන ලද ‘ග‍්‍රෑන්ඞ් ස්ලෑම්’ බෝම්බය මීටර 7 (අඩි23) මහත කොන්කී‍්‍රට් තට්ටුවක් විනිවිද ගොස් පුපුරා පොළොව යට විශාල ආවාටයක් ඇති කළ අතර ඉහළින් තිබූ ගොඩනැගිලි පුපුරා ඒ තුළට ඇද වැටුණි. එසේ ම ‘ටෝල් බෝයි’ බෝම්බයෙන් යෝධ කාලතුවක්කු රැඳවූ උමඟක් විනාශ කිරීමට හැකිවිය. ඉන්පසු මෙවැනි බෝම්බ තවතවත් වැඩි දියුණු කරනු ලැබීය. දැන් ඇති නවතම අවියක් වන න්‍යෂ්ටික බී61 මෙන් ම අධිතාපයක් ජනනය කර අවට ඇති ඔක්සිජන් සියල්ල ඇද ගත හැකි, මානයේ ඇති හැම දෙයක් ම අළුධූලි කළ හැකි, ජීබීයූ වැනි කි.ග‍්‍රෑ. 2130ක් බරැති සුපිරි බංකර් නාශක යුද අවියකට අඩි 20ක් පමණ ගැඹුරු කොන්කී‍්‍රට් ආවරණයක් සිදු කර ගෙන යා හැකිය. 1997 දී යුද පෙරමුණට ආ මෙයට අඩි සිය ගණනක් ගැඹුරේ පිහිිටි ඉලක්කයක් විනිවිද යා හැකි බව ඔප්පු කළේය. ඇමෙරිකානු රුසියානු නිරවි යුදසමයේ දී මේ බංකර් නාශක යුදඅවි නිපදවීම ගැන රුසියාව හා ඇමෙරිකාව වැඩි අවධානයක් යොමු කර තිබුණි. 2001 දී ඇෆ්ගනිස්ථානයේ දී ද 2003 දී ඉරාක ආක‍්‍රමණයේ දී ද මෙම අවි යුද පෙරමුණට ගෙන එනු ලැබීය.


ඇමෙරිකානු යුද හමුදාව සඳහා මෙතෙක් මෙවැනි යුදඅවි තැනූ, ඔක්ලොහෝමාවල මැක්ඇලෙස්ටර් යුදඅවි නිෂ්පාදන කම්හල රාත්තල් 2000(කිලෝ ග‍්‍රෑම් 900)ක් බර බංකර් නාශක බෝම්බ තැනීම අවස්ථා දෙකක දී ම අත්හිටවීය. 2005 පෙබරවාරි 8 වැනිදා නිෂ්පාදනය නවතා දැමුවේ එහි මෙවැනි බෝම්බ තැනීමේ යෙදුනු සේවකයන් 17 දෙනකු රෝගී වීමත් සමඟය. මේ බෝම්බ තැනීමට යොදා ගන්නා ටයිනයිට්‍රොටොලූවින් හෙවත් ටීඇන්ටී විෂට අනාවරණය වීම නිසා ඔවුන්ගේ ශරීරවල රුධිරගත ඔක්සිජන් ප‍්‍රමාණය අසාමන්‍ය ලෙස පහත වැටීම හේතුවෙන් ඔවුන් රෝගී වූ බව හෙළිවීමෙන් පසුවය. නව වායු සංසරණ පද්ධතියක් සවි කොට 2006 ජනවාරි 1 වැනිදා යළිත් නිෂ්පාදනය ඇරඹුව ද එම වසරේ ම මාර්තු 2 වැනිදා නැවතත් අත්හිටුවීමට සිදු වූයේ එහි වැඩ කළ සේවකයන්ගේ රුධිර පරීක්ෂණවලින් පසුවය. මෙවර ද සේවකයන් රෝගී වූයේ ටීඇන්ටී හේතුවෙනි.



දැනට තනන බංකර් නාශක යුදඅවි අතරින් අති බිහිසුණු ඒවා ලෙස සැලකෙන්නේ න්‍යෂ්ටික යුද අවි ය. මේවා හැඳින්වෙන්නේ ‘පෘථිවි විනිවිදක යුද අවි’ හෙවත් ‘බංකර් නාශක න්‍යෂ්ටික යුදඅවි’ කියාය. පස්, ගල් පමණක් නොව කොන්කී‍්‍රට් පවා විනිවිද යා හැකි මේ මගින් අති බිහිසුණු න්‍යෂ්ටික බෝම්බයක් අවශ්‍ය ඉලක්කයට ගෙන යයි. මෙවැනි න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමෙන් වන හානියට වඩා හානියක් සිදුවන්නේ එයින් විසිර යන විකිරණශීලී අංශුවලිනි. න්‍යායාත්මකව දක්වා ඇත්තේ එළිමහනේ පුපුරුවා හරින පරමාණු බෝම්බයකට වඩා මෙහි දී වන හානිය අඩු බවය. මෙය පොළොව යට දී පුපුරා යන්නක් බැවින් විකිරණශීලී ද්‍රව්‍ය වායුගෝලයට එක්වීමක් සිදු නොවන බවය. කෙසේ වෙතත් මෙවැනි අවියකින් පොළොව යට සුන්බුන්වලට එක් කරන විකිරණශීලී ද්‍රව්‍ය ද හානිකර තත්වයෙන් අඩුවෙතැයි කිව නොහැකිය.

බංකර් නාශක න්‍යෂ්ටික යුදඅවිවලට එරෙහි ව එල්ල කෙරෙන ප‍්‍රධාන විවේචනය වන්නේ ඒවායින් නිකුත් වන විකිරණශීලී අංශුවලින් හා ඒවා තැන්පත්වීමෙන් පසු ඇති විකිරණශීලී ශක්තියේ ඇති වන වර්ධනයෙන් මිනිස් ජීවිතයට හා පරිසරයට වන හානිය පිළිබඳව ය. පිළිකා ඇති කරමින් දීර්ඝකාලීන ව මාරක රෝගී තත්වයන් උදා කිරීම ගැනය. මේවාට විරෝධය දක්වන්නන් පවසන තවත් කරුණක් වන්නේ බොහෝ විට මෙවැනි අවිවලට ඉලක්ක වන තැන් ඇත්තේ වැඩි ජනගහනයක් ජීවත්වන නගරවල හා තදාසන්න පෙදෙස්වල බැවින් මෙවැනි අවිවලින් මිනිස් ජීවිතවලට වන හානිය ඉතා වැඩි බවය.





Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


2 අදහස්:

anusha.us said...

ela post akk

Dimuthu Daundasakera said...

තාක්ශනය ... විනාශයට මග පාදා ගැනීමට තරම් මිනීස් සිත දුර්වල වී ඇත...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top