HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උඩුගුවන් නැවතුම්පොළේ දී සුනීතා කළ හපන්කම! බල සැපයුම් ඒකකය සකි‍්‍රය කරයි!

පසුගියදා උඩු ගුවනේ සිටින අජටාකාශගාමීන් ලොකු හපන්කමක් කළා. ඒ අභ්‍යවකාශයේ රඳවා ඇති නැවතුම් පොළේ අකි‍්‍රය වූ කොටසක් අලූත්වැඩියා කිරීමයි. මේ කටයුත්තේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේ කාන්තාවක්. ඒ සුනීතා විලියම්ස්. ඇය එය කළේ දත් බුරුසුවකින් තනාගත් නව මෙවලමක් උදවු කර ගෙනයි.

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළක් පිහිටුවා ඇති බව ඔබ දන්නවා ඇතුවාට සැකයක් නැහැ. ඒ නැවතුම්පොළට රුසියාවෙන්, ඇමරිකාවෙන්, යුරෝපයෙන් හා ජපානයෙන් වරින්වර අජටාකාශගාමීන් යනවා, අත්හදා බැලීම් පර්යේෂණ ආදිය කරන්න.

 
අලූත්වැඩියාවට යොදා ගත් දත් බුරුසුවෙන් තැනූ උපකරණය

මෙවර උඩු ගුවනට ගිය කණ්ඩායම හැඳින්වුණේ 32 වැනි ගවේශන කණ්ඩායම හැටියටයි. සුනීතා විලියම්ස් කි‍්‍රයා කළේ ඒ කණ්ඩායමේ ගගන ඉංජිනේරුවරිය ලෙසයි. ඇය 2012 සැප්තැම්බර් 5 වැනිදා උඩුගුවන් නැවතුම්පොළෙන් එළියට ආවේ එහි අලූත්වැඩියාවක් සඳහායි.

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළෙහි එක් පර්යේෂණාගාර අංශයක විදුලි බල සැපයුම් ඒකකයක් අකි‍්‍රය වුණා. නැවතුම්පොළෙන් පිටතට ඇවිත් අවදානම් සහිත ගමන් කීපයක යෙදෙමින් ඒ සඳහා අලූත් කොටසක් සවි කරන්න ගත් උත්සාහයන් කීපයක් ම වැරදී ගියා.

පැය හයකුත් මිනිත්තු 28ක් උඩුගුවනේ ඇවිදිමින් නාසා අජටාකාශගාමිනී සුනීතා විලියම්ස් හා ජපන් අභ්‍යවකාශ ඒජන්සියේ අජටාකාශගාමී අකිහිතෝ හොෂිඬේ (ඔහු තමා සුනීතාගේ හෙල්මටයේ වයිසරයෙන් පෙනෙන්නේ) යන දෙදෙනා ‘මේන් බස් ස්විචින් යුනිට්’ නම් විදුලි බල සැපයුම් ඒකකය අලූත්වැඩියා කරන්නයි, වෙහෙසුණේ.

ඔවුන් ඒ අවස්ථාවේ දී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළෙහි ‘කැනඩා ආම් 2’ යනුවෙන් හැඳින්වෙන රොබොටික අතෙහි කැමරාවක් ද සවි කළා.

අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළෙන් පිටතට ආ ගමන් ම ඔවුන් කළේ ඩොලර් 3ක් වටිනා දත් බුරුසුවකින් ඩොලර් බිලියන 100ක් වටිනා අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළ විනාශයෙන් ගලවා ගැනීමට පියවර ගැනීමයි.

ඒ දෙදෙනාගේ සාමූහික ප‍්‍රයත්නය දක්ෂතාව නිසයි, විදුලිබල සැපයුම් ඒකකය සවි කිරීමේ කාරිය ඉටු කර ගන්න හැකි වුණේ. ඔවුන් සවි කළ ඒ ඒකකය රාත්තල් 220ක් බරයි. පැරණි ඒකකය අකි‍්‍රය වී අභ්‍යවකාශ නැවතුම්පොළ විනාශ වීමේ තර්ජනයකට ලක් වූ නිසයි අලූත් ඒකකයක් සවි කිරීමට සිදු වුණේ.

 
හිරු අල්ලන්නී: නාසා අජටාකාශගාමිනී සුනීතා විලියම්ස් අභ්‍යවකාශ නැවතුම්පොළෙන් පිටතට විත් ඒ හපන්කම කිරීමෙන් පසු අත ඔසවා සිය සතුට පළ කළේ මෙහෙමයි. එය උඩුගුවනේදී කැමරාවට හසු වූයේ ඇය හිරු අල්ලන්න හදනවා වාගෙයි.

 
නාසා අජටාකාශගාමිනී සුනීතා විලියම්ස් හා ජපන් අභ්‍යවකාශ ඒජන්සියේ අජටාකාශගාමී අකිහිතෝ හොෂිඬේ උඩුගුවන් නැවතුම් පොළේදී

 
අජටාකාශගාමින් නැවතුම්පොළෙන් පිටතට ගොස් ඒ අලූත්වැඩියාවට සැරසෙන අයුරු

 
සුනීතා විලියම්ස් මා අකිහිතෝ හොෂිඩෝ යන දෙදෙනා අභ්‍යවකාශ නැවතුම්පොළෙන් පිටතට ඇවිත් අලූත්වැඩියාව සිදු කළ අයුරු

සුනීතා විලියම්ස් ඇගේ ඒ අත්දැකීම් එහි සිට ඇගේ බ්ලොග් අඩවියට මෙහෙම ලියනවා. ”අපි පැය 10ක් ම අජටාකාශ ඇඳුම ඇඳ ගෙන පැය 10ක් එක දිගට හිටියා. කෑමක් නෑ නෑමක් නෑ.”

ඒ ඇණ අවට එක්රැස් වී තිබුණු අපද්‍රව්‍ය ඉවත් කරනතුරු අලූත් විදුලිබල සැපයුම් ඒකකය සවි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

සුනීතා විලියම්ස් හා අකිහිතෝ හොෂිඬේ දෙදෙනාට ගැලවීමට අපහසු ඒ ඇණ මතුපිට බැඳී තිබුණු ද්‍රව්‍ය ඉවත් කරන්න පැය හතරක් ගත වුණා. පැය හතරකට පස්සේ ඒ ඇණ හිරු එළියෙන් දිළිසෙන්න වුණා. ඉන්පසු ඔවුන් ඊට අලූත් විදුලිබල සැපයුම් ඒකකය සවි කරන්න තැත් කළා. ඒ උත්සාහය සාර්ථක වුණා.

”ඔය දෙන්නා සාර්ථකව ඒක සවි කර අභ්‍යවකාශ නැවතුම්පොළ යථාතත්වයට පත් කළා.” පොළොවේ පිහිටි මෙහෙයුම් මැදිරියේ සිටි අජටාකාශගාමී ජැක් ෆිෂර් ඔවුන්ට ප‍්‍රශංසා කළා. නාසා ආයතනයට අයත් ඒ මෙහෙයුම් මැදිරිය පිහිටුවා තියෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ හූස්ටන්හී ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි.

මේ මොහොතේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම්පොළේ අජටාකාශගාමීන් හය දෙනක් ඉන්නවා. ඇමරිකාවේ නාසා ආයතනයෙන් ගිය සුනීතා විලියම්ස් හා ජෝ ඇකබා යන දෙදෙනාත් ජපන් අභ්‍යවකාශ ගවේශන ආයතනයේ හොෂිඩාත්, රුසියානු අජටාකාශගාමින් වන ගෙනඩි පැඩල්කා, යූරි මෙලන්චෙන්කෝ හා සර්ජි රේවින් යන තිදෙනාත් මේ අය අතරට අයත් වෙනවා.

Post a Comment

3 Comments

  1. ජපන් රටේ හිටපු කෙනත් මහත් සහායක් දෙන්න ඇති නේද??

    ReplyDelete
  2. අති විශිෂ්ඨයි....

    ReplyDelete
  3. සුනීතා ව්ලියම්ස් කිව්වහම නිකන් දන්නව දන්නවා වගේ ගතියක් ආවා.. ඉන්දියානු සම්භවයක් ඇති කෙනෙක් වෙන්න ඇති නේද?

    ReplyDelete