කොළඹ මහ පොත් දැක්ම - පාඨක ගඟ නගරයට ගලන දෙසතිය ඇරඹේ!

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ගත්තා. ශී‍්‍ර ලංකාවේ පොත් ලෝලීන්ගේ පොත් ප‍්‍රකාශකයන්ගේ වාර්ෂික මංගල්‍යය එයයි.

එහි අපූරු විශේෂාංගයක් තියෙනවා. ඒ තමා ‘කැටපත් පවුර’.

සීගිරියෙ කටපත් පවුර සිහි ගන්වන මේ විශේෂාංගයට අනුව ප‍්‍රදර්ශන භූමියේ තැනක් වෙන්කරල තියෙනවා, ප‍්‍රදර්ශනය බලන්න එන අයට කවි ලියන්න.


එහි විශේෂ ආකර්ෂණය ඇත්තේ පාසල් ළමුන්ටයි, තරුණ තරුණියන්ටයි. වැඩිහිටි අයත් එහි කවි නොලියනවා නොවෙයි. එහි ලියැවෙන කවි අදහස් අතින් තරුණයි! හරිම නැවුම්.

මේ කවි අතරින් රසවත්, හරවත් ඒවා තෝරලා වසරක් පාසා ‘කැටපත් පවුර’ නමින් ම පොතක් පළ කරනවා, මේ ප‍්‍රදර්ශනය සංවිධානය කරන ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය. මෙවර මේ පොත සංස්කරණය කළේ අපේ ජ්‍යෙෂ්ඨ ලේඛකයකු, පරිවර්තකයකු හා ප‍්‍රවීණ කවියකු වන ආරියවංශ රණවීර කවියායි. ඔහු ඒ ගැන මෙසේ අදහස් දක්වනවා.

”කැටපත් පවුර හුදෙක් කවි පවුරක් ම නොවේ. එය පැමිණි ජනී ජනයාගේ සිතුම් පැතුම්, හැටි සොබා, කැමති අකමැති කම් සහ ප‍්‍රාර්ථනා ආදිය පිළිබිඹු කරන කැටපතකි.”

”ප‍්‍රදර්ශනය බැලීමට පැමිණ කැටපත් පවුරේ සටහන් තැබූ වැඩි දෙනකු කොළඹ හා තදාසන්න පෙදෙස් වලින් පැමිණි බව පෙනී යන නමුදු, පොලොන්නරුව, ඇඹිලිපිටිය, පුත්තලම, නාත්තණ්ඩිය, කතරගම, මාතර, අඟුණකොළපෑලැස්ස හා ලූණුගල වැනි ඈත පළාත්වලින්ද ප‍්‍රදර්ශනය බැලීමට පාඨකයන් පැමිණෙන බව එකී සටහන් වලින් පෙනී යයි.”


මේ 2011 මහ පොත් දැක්මේ දී කවි කිවිඳියන් අතින් ලියැවුණු කවි අතරින් කීපයක් ඔබේ පහන් සංවේගය උදෙසා මෙසේ පළ කරනවා.

2010 ලියූ හොඳම කවි පොතට හිමි ජාතික සම්මානය 2011 උළෙලේදී හිමි කර ගත් මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල තරුණ කවියාත් ‘කටපත් පවුර’ට නිර්මාණයක් එක්කර තියෙනවා.

පීඩා
නෙලා එකින් එක අකුරෙන්         මද හාස
හෙලා මල් මතට පිනි කවි           රස රාස
බලා කල් ගෙවා ඉන් පසු           සති මාස
මුලා වූ විටෙක රතු වූව ද                දෑස

යමින් ගමන් වටපිට බල          එසැණිනේ
බිමින් තබා කලබල මඳක්         සැනසුනේ
පෙමින් යළිත් කවි කම් සොයන   සකියනේ
හෙමින් නොලිව්වොත් කවියට රිදෙයි  අනේ

- මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල

රන් කඳ
සට පට ගගා මැෂිමේ රෙදි වියන වද
වට පිට බලන කොට ෂටලය පනිනවද
දවසට කී වරක් මා සිහි කරනවද 
සාරිද වියන්නේ මගෙ රත්තරන් කඳ

- නිශාන්ත දළුගම (වෑබඩ)

ඉහත කවිය ගැන රසවිඳීමක් ද රණවීර කවියා මෙහි පළ කර තියෙනවා.

”සිය පේ‍්‍රමය වක‍්‍රව වදනින් හා කවියේ වදන් රිද්මයෙන් ද මතු කරන අයුරු ප‍්‍රශාංසා කටයුතුය. සිය පේ‍්‍රමියගේ ‘වට පිට බැලීම’ වැනි වදන්වලින් ඇගේ හුරු බුහුටි බව, දඟකාර බව ආදී චරිතාංගයන්ද මතු කරන අතර, මෙහි එන ‘රත්තරන් කඳ’ වැනි ආවේගාත්මක යෙදුමක් වුවද, කවියේ අනෙක් පරිසරය හා ගත් විට, අස් කොන් ඇති නොකර කවිය තුළ ම ලැඟුම් ගනියි. එහෙත් සාරිද යන වචනය වෙනුවට සීනද යන්න එක් කළේ නම් මේ තවියේ අගය බොහෝ සේ වැඩි වෙන්නට තිබිණි.

තනිකම

තිගැස්සුණු සවන් අග
කම්පිත දෙනෙත ළඟ
තෙත නොවූ ළවන් මත
ලැග හිඳියි තනිකම......

කියන්නට කිසිවක් නැතිව
දොඩන්නට කිසිවෙක් නැතිව
ලියන්නට සිතුවිලි නැතිව
ලැග හිඳියි තනිකම.....

සුළෙඟ පවා සසැළෙන
දළුවක සියුම් හඬ ගෙන
හදේ ගිම් නිවමින
ලැග හිඳියි තනිකම....

- සංජුලා පීටර්ස් (රත්නාවලී බා. වි. ගම්පහ)

හදෙහි තැන්පත් පේ‍්‍රමයක් ඇත
ඉතා සුරැකිව එය තබා ඇත
නිතර නොවුනත් තවම ඉඳහිට
මතුපිටට ගෙන අසමි සැප දුක

- දිනූක සපුතන්තී‍්‍ර


සෙරෙප්පු 2

මල් තිබ්බට
වැඳ වැටුණට
මම තනියම
බුද පුද ළඟ

සෙරෙප්පු දෙක
රහත් වෙලා
මට කළියෙන්
පඩි පෙළ ළඟ

- (ලියපු නම ලියා නැත)

ගඩොලින් ගඩොලට
දහදිය මුසු කොට
රට වට දාගැබ් ගොඩ නැඟුවා
ඒ දාගැබ් වට
තෙල් මල් ඉස ඉස
රජුන්ට පිං දී
ඔබ යනවා

වැලි කැට පස් කැට
ගානට ජීවිත
මේ පස් කඳු යට
සැතපෙනවා
ඒ ගැන මොහොකත්
සිතන්න ඉඩ නෑ
රජුන්ට පිං දී
ඔබ යනවා

කාලෙන් කාලෙට
ඒ පිං අරගෙන
යළි යළි රජවරු
මෙහි එනවා
නුඹලා තාමත්
රජුන්ට පිං දී
වැවෙන්ම නාගෙන
ගොඩ වෙනවා

- ඩබ්. ඒ. ජයලත් කුලසිංහ (කඳාන)


අනේ චැප්ලින්

චැප්ලින්
මටත්  ඕනෑ හතරැස් උඩු රැවුලක්
නිතර බිම වැටෙන තරමට
කලබලයක්
ජේත්තු පෙන්වන්න
බස්තමක්

මට  ඕනෑ විකටයෙක් වෙන්න
හදවත ඉරන විට
ඇතුළට පුළුන් දමා පුරවන්න
ඇඟිලි තුඩින් ම එහි මල් මහන්න
මට එක උපායක් කියන්න

කළු කබල් තොප්පියක් දෙන්න
මෙඩූසාගේ හිස මුවා කර ගන්න
මට බෑ සර්පයින් හිසේ
හංගාගෙන ඉන්න

මට  ඕනෑ විකටයෙක් වෙන්න
වැඩකට නැති බස්තමක් වෙන්න

අනේ චැප්ලින්
එක උපායක් කියන්න

- කාංචනා අමිලානි

මතකය....

ඇවිත් ළඟ උන්නම
නැති වුනත් හිත තනිකම
නුඹට කියනා නම
දුකද සතුටද දන්නෙ නෑ මම

- චන්දිම

පුතුට සවිය දෙතනේ මවු කිරි බීම
ගතට සවිය රතු හාලේ බත් කෑම
දැයට සවිය හරි මග තෝරා යෑම
සිතට සවිය හොඳ පොතපත කියැවීම

- කේ. ඒ. එල්. පෙරේරා (ගිරිඋල්ල)

On English

මම දිව දෙකේ මිනිහෙක්
- තිස්ස අබේසේකර

මකර දිව සා තියුණු
දෙවැනි දිව බැවිය යුතු....
පළමු දිව දියුණු කොට
සඳුන් හර පැලිය යුතු...

- හෂිත

කාවෙක් වෙයන්
එන භවයේ
පොත් අතරේ....

- සරත් විමලවීර

රහස

මෙතෙක් ලොව ලියා ඇති
දුක්බරම පොත ලෙසට,
පරණ දින පොත මගේ
තේරිලා ඇත නැවත...

ජූරියේ මහත්තුරු
නොදත් රහසක්ද ඇත,
ඇය සමඟ ගෙවූ දින
දිනපොතේ ලියා නැත...

- තිළිණ කොග්ගලගේ

කෙතක සුවඳ
මවක සුවඳ
පොතක සුවඳ
එක වගේය...

- ප‍්‍රසංග ලියනගේ

      

   

Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


1 අදහස්:

Pathum Herath said...

මේ සැරේ ගිහින් මාත් කවියක් ලියල එනව... :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top