HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිට පිට පරාද වුනත් සටන අත් නොහැර ඉදිරියට ගිය මිනිසා ලින්කන්!

ලෝකය පුරාම දිරිය මිනිසුන් දකින්න පුළුවන්. පරාජය බාර නොගෙන ධෛර්යවන්තව සිය සටන අත් නොහැර දිගටම කර ගෙන ගොස් අවසානයේ ජයගත් අය ගැන කතා ලෝකයේ හැම තැනකින් ම අසන්න ලැබෙනවා. මේ ඇමරිකාවෙන් ඇහෙන එවැනි කතාවක්.


ඔහු තමා ඒබ‍්‍රහම් ලින්කන්. ඉතා දුප්පත්ව ඉපිද ලෝකය ජයගත් අයෙක්. ඔහු ඡන්ද අටක් පැරදුණා. දෙවරක්ම ව්‍යාපාර අතින් ආසාර්ථක වුණා. මානසික ආබාධයකට ලක් වුණා. ඒත් ඒ එකකින්වත් ඔහු පරාජය බාර අරන් පැත්තකට වුණේ නැහැ. මෙන්න ඔහුගේ පරාජිත ගමන අපරාජිත වුණු හැටි.

  • 1816 ඔහුගේ පවුල ජීවත්ව සිටි නිවෙසින් එළියට දමනු ලැබුවා. ඔවුන් ජීවත් කරවන්නට ළමා වියේ දීම ඔහුට රැකියාවක් කරන්න සිදු වුණා.
  • 1818 ඔහුගේ මව මිය ගියා.
  • 1831 ව්‍යාපාරයක් කරන්න හැදුවා. එය අසාර්ථක වුණා.
  • 1832 ප‍්‍රාන්ත මැතිසබයට තරග කළා. පැරදුණා.
  • 1832 රැකියාව අහිමි වුණා. නීති විද්‍යාලයට යන්න හැදුවා. හරිගියේ නෑ.
  • 1833 යාළුවකුගෙන් මුදලක් ඉල්ලා ගත්තා ව්‍යාපාරයක් කරන්නට. වසර අවසානයේ දී එය බංකොලොත් වුණා. ඊළඟ අවුරුදු 17 ඔහුට ගත කරන්න වුණේ ඒ ණය බේරන්නයි.
  • 1834 යළිත් ප‍්‍රාන්ත මැතිසබයට තරග කළා. පැරදුණා.
  • 1835 විවාහ වෙන්න ගිවිස ගත්තා. පෙම්වතිය මියගියා. ඒ දුක දරාගන්න බැරි තරම් වුණා.
  • 1836 ඔහු දරුණු ලෙස මානසිකව රෝගී වුණා. මාස හයක් ඇඳෙන් බහින්න බැරි වුණා.
  • 1838 ප‍්‍රාන්ත මැතිසබයේ කථානායක පුටුවට තරග කළා. පැරදුණා.
  • 1840 ඉලෙක්ටර්වරයකු වීමට (elector) වරම් පැතුවා. ඒත් හරි ගියේ නෑ.
  • 1843 කොංග‍්‍රසයට තරග කළා. පැරදුණා.
  • 1846 කොංග‍්‍රසයට යළිත් තරග කළා. ඒ වතාවේ දිනුවා. වොෂින්ටනයට ගියා. සිය රාජකාරිය හොඳින් කළා.
  • 1848 කොංග‍්‍රසයට යළිත් තරග කළා. පැරදුණා.
  • 1849 සිය ප‍්‍රාන්ත රාජ්‍යයේ ඉඩම් නිලධාරි තනතුරට ඉල්ලූම් කළා. හරිගියේ නෑ.
  • 1854 ඇමරිකානු සෙනෙට් මන්තී‍්‍ර මණ්ඩලයට තරග කළා. පැරදුණා.
  • 1856 ඔහුගේ පක්ෂයේ උප ජනාධිපති නාම යෝජනා සඳහා පක්ෂයේ ජාතික සම්මේලනයේ දී ඉල්ලූම් කළා. ඡන්ද 100ක්වත් ලැබුණේ නෑ.
  • 1858 යළිත් ඇමරිකානු සෙනෙට් මන්තී‍්‍ර මණ්ඩලයට තරග කළා. යළිත් පැරදුණා.
  • 1860 ඇමරිකානු ජනාධිපති පදවියට තරග කළා. ජයග‍්‍රහණය කළා.

ලින්කන් ඔහුගේ රටේ ඉහළම පදවියට එන්න ඔහුට උපයෝගී වුණු අනෙක් වැදගත්ම ගුණාංගය ඇහුම්කන් දීමයි. ඔහු ඇමරිකානු ජනාධිපති පදවිය සඳහා තරග බිමට පිවිස රට වටා යද්දී ඔහුට 11 හැවිරිදි දැරියකගෙන් ලිපියක් ලැබුණේය. ‘ආදරණීය ලින්කන් මහතාණනි, මගේ පියා පොළට ගොස් එන විට ඔබේ පින්තූරයක් ගෙනැවිත් තිබුණා. මං 11 හැවිරිදි දැරියක් මේ විදියට ඔබට කෙළින් ම ඇමතීම ගැන වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා! ඔබේ ඔය කෙසඟ මුහුණ ලස්සන වෙන්න රැවුල වවන්න. එහෙම රැවුල වැවුවොත් මගේ අයියලාගේ ඡන්දත් ඔබට අරන් දෙනවා. කාන්තාවන් වැඩි දෙනකු රැවුල වවන පිරිමින්ට කැමතියි. ඒ නිසා ඔවුන් සැමියන්ගේ ඡන්දත් ඔබට අරන් දේවි.’ ඒ ලිපියෙන් කියැවුණා.


එතුමා එදා දැරියට ඇහුම්කන් දුන්නා. ඇයට දින තුනක් ඇතුළත පිළිතුරු ලිපියක් යැව්වා. ”මේ වයසෙදි මං එහෙම කළොත් බොළඳ වැඩක් වෙයිද?” කියා ඒ ලිපියේ සඳහන් කළත් ඔහු එදා සිට රැවුල කැපුවේ නැහැ. ඡන්ද ව්‍යාපාරය අතරතුර එතුමා ඒ දැරිය වාසය කළ නිව්යෝකයේ ෂාටෝක්වා ප‍්‍රාන්තයේ වෙස්ට්ෆිල්ඞ් නගරයටත් ගියා. ඒ වන විට ඔහුගේ රැවුල හොඳින් වැඞී තිබුණා. එතුමා දැක බලා ගන්නට පිරිස රැස්වුණා. එතුමා ඔවුන් අමතන්නට පෙර ගේ‍්‍රස් බෙඩෙල් දැරිය එහි පැමිණ සිටී දැයි විපරම් කළා. ඒ සිද්ධිය 1861 පෙබරවාරි 19 වැනිදා නිව්යෝක් වර්ල්ඞ් (New York World) පුවත්පතේ පළ වූයේ මෙහෙමයි;

”වෙස්ට්ෆිල්ඞ්හිදී අපූරු සිදුවීමක් වාර්තා වුණා. ලින්කන් මහතාට නාම යෝජනා ලැබී නොබෝ දිනකින් එහි විසූ කුඩා දැරියකගෙන් ලියුමක් ලැබුණා. ඔහුගේ මුහුණේ පෙනුම වැඩි දියුණු කර ගන්න රැවුල වවන ලෙස ඒ ලියුමෙන් ඇය ඉල්ලා සිටියා. සංචාරය අතර ලින්කන් මහතා අද එම ස්ථානයට පැමිණියා. ඒ වනවිට මුහුණ පුරා රැවුල වවාගෙන සිටි ලින්කන් ඒ ලිපිය ගැන ප‍්‍රසිද්ධියේ සඳහන් කර එය එවූ ‘තරුණ නෝනා’ පැමිණ සිටීදැයි රැස්ව සිටි පිරිසගෙන් විපරම් කළා.

”මොහොතක දැඩි නිහැඬියාවකට පසු සෙනඟ අතරින් රිංගා ගෙන මහලූ මිනිසෙක් දැරියක් අතින් අල්ලා ගෙන වේදිකාව අසලට පැමිණියා. වයස අවුරුදු 12ක පමණ දැරියක් වූ ඇය ලින්කන් මහතාට ලිපිය එවූ තැනැත්තිය ලෙස හඳුන්වා දුන්නා. ලින්කන් මහතා වේදිකාවෙන් බැස අවුත් ඒ දැරිය සිපගෙන ඇයට ප‍්‍රශංසා කරමින් මඳ වේලාවක් පිළිසඳරේ යෙදුණා. කුඩා දරුවකුගේ වුනත් අදහසක් පිළිගැනීමට තමා සැමවිටම සූදානම් බව එදා ලින්කන් මහතා නිහතමානීව පෙන්වා දුන්නා.”

Post a Comment

4 Comments

  1. //1834 යළිත් ප‍්‍රාන්ත මැතිසබයට තරග කළා. පැරදුණා. එවරත් දිනුවා//

    වැරදිලා ද?

    ලින්කන් මහත්තයාගේ මුණ ඔච්චරට කෙසඟ වෙලා තියෙන්නෙ දරපු මානසික ශාරීරක පීඩනය හින්දා වෙන්ඩැති එහෙනම්!

    .................

    මල් කැකුලු,
    ඔෂීන් ගැනත්, ඔෂින් කතාවට පසුබිම් වුනු කතාව ගැනත් ලිපියක් ලියන්න පුලුවන්නම් අපි කැමතියි. මේ දිනවල විකාශය වන ඔශීන් කතාව පිටුපසත් රසවත් කතාවක් තියෙනවලු නේද?

    ReplyDelete
  2. ලින්කන් ගැන කියද්දී මට මතක් වුණේ එයාගේ කරදරකාරී බිරිඳ ගැන

    ReplyDelete
  3. රනිලුත් ඔහොම වෙයිද?

    ReplyDelete
  4. මම මේ බ්ලොග් එක බලන්න ගත්තෙ අද. මට මේ තියෙන ලිපි ඔක්කොම බලනකම් ඉවසිල්ලක් නැ. මම දැකපු හොදම බ්ලොග් එකක් මේක. විශේෂයෙන් පිටසක්වල ජීවීන් ගැන මම ගොඩක් කියවන්න කැමති. දිගටම කරගෙන යන්න. ජය වේවා.

    ReplyDelete