HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතයේ අඟහරු වෙත යන රෝවර් යානාවලට ‘බලූ පුරුද්දක්’ එක් වේවි!

බල්ලන්ගෙන් ඉගෙන ගත් පුරුද්දක් ඉදිරි අඟහරු යානාවලට යොදා ගන්නට විද්‍යාඥයන් අදහස් කර ගෙන සිටිනවා. බල්ලන් ඇෙඟ් තැවරෙන දූවිලි හෝ වතුර ගසා දමන හැටි ඔබ දැක තියෙනවාද?

ඔබේ සුරතල් බල්ලා නාවා අවසන් වූ පසු ඔබ පිසදමන්න පෙර ඇඟ ගසා දමන සැටි ඔබ අත් දුටුවාට සැකයක් නැහැ. ඒ ක‍්‍රමවේදය අනාගත අඟහරු යානාවලට යොදා ගන්නයි දැන් හදන්නේ. ලෝමවලින් පිරුණු තෙත බරිත සතුන් ඇඟ ගසා දමන ආකාරය පිළිබඳව කළ අධ්‍යයනයකින් තමයි, මේ ගැන අවධානය යොමු වෙලා තියෙන්නෙ.

 
බල්ලන් මෙසේ ඇඟ ගසා දමන ආකාරය හා වාර ගණන ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා.

ලොම් සහිත සිරුරු ඇති සතුන්ට ඇඟ සලිත කොට ගසා දැමීමෙන් තමන්ගේ සිරුරේ දැවටී ඇති බාහිර ද්‍රව්‍යවලින් සියයට 70ක් ම තත්පරයකින් අංශුවක දී ඉවත් කර ගන්නා හැටි ජෝර්ජියා තාක්ෂණික ආයතනය විසින් කළ අධ්‍යයනයකින් තහවුරු වී තියෙනවා.

ශීත දේශගුණවල වෙසෙන ක්ෂීරපායී සතුන්ට මෙසේ සිරුරෙන් තෙත් ගතිය ඉවත් කොට වියළා ගැනීම ඉතා ඉක්මනින් කළ යුත්තක්. එය ඔවුන්ගේ ජීවිතයත් මරණයත් අතර ප‍්‍රශ්නයක්. ඉලෙක්ට්‍රොනික උපකරණවලටත් මේ අවදානම තියෙනවා, දූවිලි අධික පරිසරවලදි, අඟහරු ග‍්‍රහයාගේ වගේ ආන්ත පරිසරයකදි. දූවිලි වලාවකින් යන්ත‍්‍ර සූත‍්‍ර වැසී ගිය විට ඒවා ඉක්මනින් ඉවතට ගසා දමා යළිත් සකි‍්‍රය වීම අත්‍යවශ්‍ය දෙයක්.

”අප හිතනවා වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වූ මේ ක‍්‍රමය ඉතා හොඳ එකක් කියා.” මේ අධ්‍යයනයේ සම-කර්තෘ මහාචාර්ය ඬේවිඞ් හියු ‘ලයිව් සයන්ස්’ (LiveScience) වෙබ් අඩවියට කියා තියෙනවා.

”නිකං හිතා බලන්න, නාලා ඉවර වෙලා තුවායකින් පිස දමනවා වෙනුවට බොත්තමක් තද කොට ඇඟ සලිත කොට තත්පරයකින් තිහෙන් පංගුවක කාලයකින් සිරුරෙන් සියයට තිහක් වේලා ගන්න ඔබට පුළුවන්ද?.” මහාචාර්යවරයා ප‍්‍රශ්න කරනවා. ”දැන් අපි සතුන්ට ඇති ඒ හැකියාව රොබෝ යන්ත‍්‍රවලටත් ලබා දෙන්නයි හදන්නෙ” ඔහු කියනවා.

මේ මහාචාර්යවරයා ප‍්‍රමුඛ විද්‍යාඥ කණ්ඩායම අධි වේගී වීඩියෝ කැමරා ගත කිරීමක් කළා සතුන් 33 දෙනකුගේ ඇඟ ගසා දමන ආකාරයන් ගැන. ඊට මීයන්, බල්ලන්, කොටියන්, ව්‍යාඝ‍්‍රයන්, වලසුන් ආදී සත්ව විශේෂ 16ක් ඇතුළත් වුණා. සුනඛ වර්ග 5ක් ගැන වෙනමම අධ්‍යයනයක් කළා.

ජල නළයකින් සතකුගේ ඇඟ තෙමා ඌ සම වියළා ගන්න ඇඟ ගසා දමන වාර ගණන ගනින්නට මේ අධ්‍යයනයට එක් වූ උපාධිධාරී ශිෂ්‍යයන්ට පැවරුණා. සතා විශාල වන විට වියළි වීමට ඇඟ ගසා දැමීම කරන්නේ හෙමින් බව එහිදී කණ්ඩායමට පැහැදිලි වුණා.

ඒ අධ්‍යයනයේ ප‍්‍රතිඵල අනුව ලොකු සතුන්ගේ ලොම් ඇඟ ගසා දැමීමේ දී වැඩි ඈතකට විසි වී වන බව පෙනී ගියා. එසේම ඔවුන්ගේ කේන්ද්‍රාභිසාරී බලය කුඩා සතුන්ට වඩා වැඩි බව වැටහුණා.

තෙත බරිත වූ වලසෙකු තත්පරයකට හතර වතාවක් ඇඟ සොලවන අතර සාමාන්‍ය බල්ලකු හතරේ සිට හය දක්වා වාර ගණනක් ඇඟ සොලවනවා. මීයකු උගේ කෙඳි තත්පරයකට 30 වාරයක් විතර ගසනවා. එය සෙලවීමකට වඩා කම්පනයකට කිට්ටුයි.

”මීයන් තත්පරයකට 30 වරක් බැගින් කෙඳි සලන වේගය සිතා ගන්නත් බැරි තරම්. ඒ අනුව ඔවුන්ගේ මුළු සිරුරම ගැහෙනවා.” මහාචාර්ය වරයා පැහැදිලි කරනවා.

 
විද්‍යාඥ කණ්ඩායම අධි වේගී වීඩියෝ කැමරා ගත කිරීමක් කළා සතුන් 33 දෙනකුගේ ඇඟ ගසා දමන ආකාරයන් ගැන. ඊට සත්ව විශේෂ 16ක් හා සුනඛ වර්ග 5ක් ඇතුළත් වුණා.

 
මේ අධ්‍යයනයේ සොයා ගැනීම් අනුව ස්වයං පවිත‍්‍රකරණය හා ස්වයං වියළිකරණය යන උපක‍්‍රමය රොබොටික උපකරණවලට යෙදීමට විද්‍යාඥයන් දැන් සමත් වෙලා තියෙනවා.

”පර්යේෂණයෙන් පෙනී ගිය තවත් කරුණක් වන්නේ ලොම් සහිත සතුන්ගේ සම ලිහිල්ව පිහිටා ඇත්තේ ඉක්මනින් සම මතින් දියර ඉවත් කිරීමට පහසු වෙන්නයි.” මහාචාර්යතුමා නේචර් (Nature) සඟරාවට කියා තිබුණා.

බුරුල් සම සතාට උදවු වෙනවා 10 ගුණයේ සිට 70 ගුණයක් දක්වා ගුරුත්ව බලයක් ජනිත කරවීමට. වැඩි ගුරුත්ව බලයක් ජනති කරන සතුන් ඒ බලයෙන් ඇස් ආරක්ෂා කර ගැනීමට ඒවා පියා ගන්නවා.

මේ ප‍්‍රතිඵල බි‍්‍රතාන්‍ය රාජකීය සංගමයේ අන්තර්ජාල ජර්නලයෙහි ලිපියක් මගින් එළි දක්වා තියෙනවා.

”අනාගතයේ දී තෙත හෝ දූවිලි සහිත පරිසරවල දී කැමරාවලට හා වෙනත් උපකරණවලට ස්වයං පවිත‍්‍රකරණය හා ස්වයං වියළිකරණය යන හැකියාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් රාජකීය සංගමයේ අන්තර්ජාල ජර්නලයට සිය පර්යේෂණය ගැන ඒ ලිපිය සපයමින් ඔවුන් සඳහන් කර තියෙනවා.


Post a Comment

1 Comments