HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තරුණ ගෝරිල්ලන් දෙදෙනකුගේ හපන්කමක් දැක්වෙන විස්මිත පින්තූර පෙළක්!

ගෝරිල්ලන් අල්ලා ගෙන ගොස් විකුණන්නන් අටවපු උගුලකට අහුවුණු තරුණ ගෝරිල්ලකු අවාසනාවන්ත ලෙස මිය ගියා. ඊට පස්සෙ මොකද දන්නවද වුණේ? තරුණ ගෝරිල්ලන් දෙන්නෙක් හොඳින් කල්පනා කරලා ඒවාට වැඩක් දුන්නා. ගෝරිල්ලන්ගේ ඒ කාරිය දැන් ඡායාරූපවලින් ඔබටත් දැක ගන්න පුළුවන්.

ඩයන් ෆොසී ගෝරිල්ලා පදනමේ (Dian Fossey Gorilla Fund) කාර්ය මණ්ඩලයට දැක ගන්න ලැබුණා අමුතු දෙයක්. ඒ ඔවුන් අධීක්ෂණය කරමින් සිටි ගෝරිල්ලන් කණ්ඩායමක වූ තරුණ ගෝරිල්ලන් දෙදෙනකු ඔවුන් ජීවත් වූ වනයේ ඇට වූ උගුලක් විනාශ කරමින් සිටින බවයි.

 
රුවන්ඩා රාජ්‍යයේ වනාන්තරයක සිදු වූ ඒ අපූරු සිදුවීම. තරුණ ගෝරිල්ලන් දෙදෙනා එක්ව මලපුඩුව සොයා විනාශ කළ අයුරු.

”අද අපේ ක්ෂේත‍්‍ර කණ්ඩායමට දැක ගන්නට ලැබුණා, සතුන්ට ඇට වූ මලපුඩුවක් විනාශ කරමින් සිටින ආකාරය. ඒ කාර්යයෙහි නිරතව සිටියේ අපේ නිරීක්ෂණයට ලක්ව සිටි කුර්යාමා නමින් හැඳින් වූ ගෝරිල්ලන් කණ්ඩායමට අයත් ඩුකුරේ හා ර්වෙමා නම් තරුණ ගෝරිල්ලන් දෙදෙනායි.” වෙරෝනිකා වර්සෙලියෝ කීවා. ඇය, ඩයන් ෆොසී ගෝරිල්ලා පදනමේ කැරිසෝකේ පර්යේෂණ මධ්‍යස්ථානයේ (Karisoke Research Center) වැඩසටහන් සම්බන්ධීකාරකවරියයි.

මේ සිද්ධිය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ඇය ඇගේ වෙබ් අඩවියට ඇතුළත් කළා බවත් ඇය කියනවා.

”අපේ ක්ෂේත‍්‍ර තොරතුරු රැස් කිරීම කරන සම්බන්ධීකාරක ජෝන් න්ඩයම්බජේ දැකලා තියෙනවා, අපේ නිරීක්ෂණය ලක් වී සිටි ගෝරිල්ලන් කණ්ඩායමට ඉතා ආසන්නව එක් මලපුඩුවක් අටවා ඇති බව. ඒ අනුව ඔහු ඒක ගලවා දමන්න හිතලා ඒ දිහාවට යන්න ගිහින් තියෙනවා.”

”අතරමගදි ඔහුගෙ ගමන අඩාල වෙලා තියෙනවා, වල් ඌරෙක් ඔහු දිහාවට හැරිල කළ තර්ජනකාරී ගෙරවිල්ලක් නිසා. ඒ ඇසිල්ලට අර ගෝරිල්ලන් දෙන්නා මලපුඩුව වෙතට දුවලා ගිහිල්ලා ඒක විනාශ කරල දමලා තියෙනවා. ඔවුන් සමග කිරි බොන පැටියකුත් දිව ගොස් ඊට හවුල් වුණා.

”ඊළඟට ඔවුන් දැකලා තියෙනව තවත් මලපුඩුවක්. ඔවුන් ඒකත් කලින් විදියට ම විනාශ කළා” යැයි වෙරෝනිකා කියන්නේ මීට කලින් එවැන්නක් ගැන අහලාවත් නැති බව සහතික කර කියමිනුයි.

ඇය මේ පිළිබඳව නැෂනල් ජ්‍යොග‍්‍රෆික් සඟරාවට කීවේ තරුණ ගෝරිල්ලන් මෙවැනි දෙයක් කරනු දුටු පළමු වතාව බවයි. ”මං දන්නෙ නෑ මෙහෙම දෙයක් කොහේ හරි තරුණ ගෝරිල්ලකු කරනවා දැකපු වාර්තාවත් තියෙනවද කියලා. ඒත් ගෝරිල්ලන් නිරීක්ෂණය පිළිබඳව ලෝකයේ ඇති විශාලතම දත්ත ගබඩාව තියෙන්නේ අප ළඟයි. ඒ නිසා වෙන කෙනකු මෙවැන්නක් දැක තිබුණා යැයි අසන්ට ලැබුණොත් ඒක ලොකු පුදුමයක්.”

”අද අපට කියන්න පුළුවන් ගෝරිල්ලන් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසා ගන්න දන්න බව.” ඇය කියනවා.

මේ වනෝද්‍යානයේ සේවක පිරිස තවමත් ශෝකයෙන් පසුවෙනවා, පසුගිය සතියේ න්ග්විනෝ නමින් ඔවුන් හැඳින් වූ තරුණ ගෝරිල්ලියගේ මරණය ගැන. ඈ මලපුඩුවකට අහුවෙලා ඇති වුණු තුවාලවලින් මිය ගියා. ඒ තරුණ ගෝරිල්ලිය උගුලකට අසුවී ඇති බව කැරිසෝකේහී සේවකයන් දැන ගන්න කොට පමාවෙලා වැඩියි. මලපුඩුවෙන් බේරෙන්න දඟලලා ඇති වුණු තුවාලවලින් ඈ මිය ගියා. ඇගේ උරහිසේ අස්ථි පැනලා තිබුණා. උගුලේ රැහැනකට කැපුණු කකුලක තුවාලයක් වණ වෙලා තිබුණා ඔවුන්ට හමු වෙන කොට.

 
තමන්ට තුවාලයක් සිදු නොකර ගෙන ඔවුන් සමත් වුණා, ඒ මලපුඩුව විනාශ කර දමන්නට.

රුවන්ඩාවේ තරුණ ගෝරිල්ලන් දෙන්නා දඩයක්කාරයන් ඇට වූ උගුල දුටු මොහොත.

 
වන රක්ෂිතයේ පිහිටි කැරිසෝකේ පර්යේෂණ මධ්‍යස්ථානය ආසන්නයේ තැනකයි, මේ උගුල් අටවා තිබුණේ.

අනවසර දඩයක්කාරයන් දහස් ගණන් උගුල් අටවනවා, හොර රහසේ ම මේ රුවාන්ඩාවේ යමහල් වනෝද්‍යානයේ (Volcanoes National Park) ඇන්ටිලොප් මුවන් වැනි කුඩා සතුන් අල්ලා ගන්න මස් පිණිස.
සමහර විට කුඩා වානර වර්ග අල්ලා ගන්නත් මේ විදියට උගුල් අටවනවා.

දඩයක්කරුවන් මේ උගුල් අටවන්නේ උණ බම්බුවක් හෝ නමා ගත් අතුරිකිල්ලක් හෝ යොදා ගෙනයි. ඒවා අතුකොළ ආදියෙන් සඟවා තැබුවත් ගෝරිල්ලන්ගේ ඇස්වලින් ඒවා සඟවන්නට ඔවුන් බැරිවෙලා තියෙනවා.

මේ උද්‍යානයේ තමා, කඳුකර ගෝරිල්ලන් වැඩියෙන් ම වාසය කරන්නේ. ඔවුන්ගේ ආරක්ෂාවට තමයි, මේ අධ්‍යයන හා අධීක්ෂණ වැඩසටහන කි‍්‍රයාත්මක කරන්නේ.

කැරිසෝකේ පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවකයන් සෑමදාම වනාන්තරය පීරලා මලපුඩු සොයා විනාශ කර දමනවා, වඳ වී යාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මේ කඳුකර ගෝරිල්ලන් ඉන් ගලවා ගනු පිණිස. සොබාදහම සුරැකීම පිළිබඳ අන්තර්ජාතික සංගමයේ (IUCN) සත්ව විශේෂ සංරක්ෂණ කොමිසම විසින් නම් කර තියෙනවා, ඔවුන් වැඩිම අවදානම ඇති සත්ව විශේෂය හැටියට.

ඔවුන් නොදුටු ඒවා විනාශ කරන්න තරුණ ගෝරිල්ලන් ඉදිරිපත් වීම ඔවුන් දිරි ගන්වන්නක් ලෙසයි, වෙරෝනිකා දකින්නෙ. ”ඔවුන් කරන දෙය ගැන හොඳ විශ්වාසයෙන් යුතුව කරන බවයි, පෙනෙන්නේ. ඔවුන් කළයුතු දෙය හඳුනා ගෙන එය හරියට ම කරනවා. හරිම පුදුමයි නේද?” ඇය අවසාන වශයෙන් අහනවා.

 
මේ ගෝරිල්ලා පැටියා ඉන්නේ කැමරූන් රාජ්‍යයේ යාඔන්ඬේ අසල ඇති මෙෆූ ප‍්‍රයිමේට් උද්‍යානයේ පිහිටුවා ඇති ‘ඒප් ඇක්ෂන් ඇෆ්රිකා’ මධ්‍යස්ථානයෙයි. මලපුඩුවලට අසුවී හෝ හදිසි අනතුරුවලට ලක්ව මිය යන මාපියන් නිසා අතර මං වන පි‍්‍රමාටාවන්ට පිහිට වන ආයතනයකි. මේ ගෝරිල්ලා බබාගේ නම ලූසී. ඇයව උකුලේ තියා ගෙන ඉන්නේ ඇය වෙනුවෙන් පූර්ණකාලීනව කැපවී සිටින මිනිස් මවක්. ඇගේ නම ජෙනී, කැමරූන් ජාතික කාන්තාවක්.


Post a Comment

3 Comments

  1. ඒ ගෑනු කෙනාගේ ළමයෙක් වගේමයි...

    ReplyDelete
  2. ඉතා වටිනා ලිපියකි.මගේ අඩවියටත් ඇවිත් යන්න එන්න http://samakayawate.blogspot.com/

    ReplyDelete
  3. පුදුමයි ඒත් ඇත්තයි

    ReplyDelete