HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෘතුවියෙන් ගිය ‘කුතුහලය’ රතු ග‍්‍රහයාට බසින්න සූදානම්!

අගෝස්තු 6 වැනිදා (අද) අඟහරු හෙවත් රතු ග‍්‍රහයා මතට පතිත කරවන ‘කුතුහලය’ යන අරුත් ඇති කියුරියෝසිටි රෝවරය ඉදිරි දින කීපය තුළ ගමන් අරඹන්න නියමිතයි. මෙය පෘථිවියෙන් අඟහරු බලා ගියේ 2011 නොවැම්බර් 26 වැනිදායි.

ඇමරිකාවේ නාසා ආයතනය අඟහරු මත ධාවනයට යානයක් යැවූ පළමු වතාව මෙය නොවෙයි. 1997 සිට මේ දක්වා යානා තුනක් එහි යවා තියෙනවා. ‘ඔපර්චුනිටි’ නම් ඉන් එක් යානයක් අවුරුදු අටකට පසු තාමත් සාර්ථකව එහි ගමන් කරනවා.

 
රතු ග‍්‍රහයා සිසාරා යන නාසා ආයතනයේ රෝවර් යානය

කාරෙකක් බඳු මේ නව අඟහරු යානය, කියුරියෝසිටි (Curiosity) රෝවරය අඟහරු මතට පතිත වන මොහොතේ විස්තරය ඔබ වෙත ගෙන එන්නේ විලියම් ෂැට්නර් නම් කීර්තිමත් නළුවායි. අඟහරු යානය ගොඩ බස්සන මොහොතේ විනාඩි හතක කාලයක් තුළ ගෙනෙන මේ විස්තරය සඳහා දායක වන විලියම් ෂැට්නර් ‘ස්ටාර් ටෙ‍්‍රක්’ ටෙලි නාට්‍ය මාලාවේ කපිතන් ලෙස රඟපෑ නළුවායි. ඔහු සමග තවත් තරුණ නළුවෙක් විකල්ප හඬ ලෙස මෙයට එක් වෙනවා. ඒ ‘නෙක්ස්ට් ජෙනරේශන්’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑ විල් වීටන්.

 
විලියම් ෂැට්නර් ‘ස්ටාර් ටෙ‍්‍රක්’හී කපිතන් කර්ක් ලෙස(දකුණේ) ස්පොක් ලෙස රඟපෑ ලෙනාඞ් නිමෝයි සමග රඟපෑ අයුරු. නාසා අගහරු මෙහෙයුම වාර්තා චිත‍්‍රපටයෙන් යළි ඔහුගේ කටහඬ ඔබට අසන්නට ලැබේවි.

නාසා ආයතනයේ යානය වසර කීපයක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කර මේ සතියේ අඟහරු වෙත සමීප වෙනවා.

අඟහරු රෝවරය හැඳින්වෙන්නේ කුතුහලය යන අරුත් ඇති ‘කියුරියෝසිටි’ යන ඉංගිරිසි වදනින්. එය ප‍්‍රමාණයෙන් කාරයක් තරම් ඇති. බර කිලෝග්රෑම් 900ක්. මෙය වාහනයකට වඩා රසායනාගාරයකට කිට්ටුයි. රතු ග‍්‍රහයා මත පස් සාම්පල අරගෙන රසායනාගාර පරීක්ෂණ ආදිය සියල්ලක් සිදු කර තොරතුරු එවීමට මේ යානයට පුළුවන්. එහි පස යට ජලය ඇත්නම් ඒ ගවේෂණයට අවශ්‍ය උපකරණ එහි තියෙනවා.

අඟහරුගේ වායුගෝලය තුනී එකක් නිසා ‘කියුරියෝසිටි’ රෝවරය එහි පරිස්සමෙන් බැස්සවීමට සුපර්සොනික් පැරචූටයක් හා තෙරපුම් රොකට්ටු සවි කළ දොඹකරයක් පාවිච්චි කරනවා. මේ සියල්ල මෙහෙයවන්නේ අඟහරු කක්ෂයේ ගමන් කරමින් තිබෙන ඔඩිසි ඕබිටර් යානයෙනි. රෝවරය ගොඩ බැස්සවීමට බලාපොරොත්තු වන්නේ එහි ගේල් ආවාටය අසල ප‍්‍රදේශයටයි.

 
අඟහරු ග‍්‍රහයා මත රෝවරය යන අයුරු දක්වෙන සිත්තරකු මැවූ රූපයක්.

 
මේ ඕවලාකාර හැඩයෙන් ලකුණු කර ඇත්තේ නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ යානය රතු ග‍්‍රහයාට ගොඩ බස්වන්නට යන තැනයි.

 
විලියම් ෂැට්නර්ගේ අද පෙනුම මෙසේයි.

රෝවරය රතු ග‍්‍රහයා මතට පතිත කරන්නේ ආරක්ෂක කැප්සියුලයක් තුළ රඳවමිනුයි. එය පැයට කිලෝමීටර් 20,000ක වේගයකින් තමයි, අඟහරුගේ වායුගෝලයට ඇතුළු වන්නේ. මෙහි දී ඒ වේගය තත්පරයකට මීටරයක් දක්වා වේගයකට අඩු කර හෙමින් ගොඩ බස්සනවා.

ඔඩිසි යානය රතු ග‍්‍රහයා වටා කක්ෂයක යමින් සිදු වන සියල්ල පිළිබඳ විස්තර යූඑච්එෆ් සංඥා මගින් නොකඩවා පෘථිවියට එවනවා. එයට රෝවරය පතිත වන අවසාන මොහොත දක්වා රතු ග‍්‍රහයා මත ගොඩ බැසීම පිළිබඳ රෝවරයෙන් ලැබෙන සංඥා ද ඇතුළත් වෙනවා.

‘කියුරියොසිටි’ යානය අඟහරු මතුපිටට ගොඩ බැස්ස පසු එහි අඟල් හතරක් පමණ යටට එහි පස හෑරීමට නියමිතයි. එහි ජීවය ඇති ආකාරය ගැන තේරුම් ගන්නට එයින් හැකි වෙතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. මෙහි දී විශේෂයෙන් අවධානය යොමු කෙරෙන්නේ ග‍්‍රහක පතිත වීමෙන් මෑත දී ඇති වූ ආවාට කෙරෙහියි.



ඇමරිකාවේ පර්ඩියු (Purdue) විශ්ව විද්‍යාලයේ ජේ. මෙලෝෂ් වැනි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ජීවය අඟහරු මත ආරම්භ වී පසුව ග‍්‍රහක ඔස්සේ පෘථිවියට ආ බවයි. ඉන්ඩියානා ජනපදයේ පිහිටි මෙම විශ්ව විද්‍යාලය ‘අභ්‍යවකාශ ගාමීන්ගේ තොටිල්ල’ යන අපර නාමයෙන් ද හැඳින්වෙනවා. හඳ මත ඇවිද්ද නීල් ආම්ස්ට්‍රෝං, ඉයුජින් සර්නන් වැනි අය එම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් අයයි.

මෙතෙක් සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව අඟහරු මත සරල කාබනික අණු තිබිය හැකියි. එය තහවුරු කර ගැනීමට ‘කියුරියොසිටි’ යානයේ ගවේෂණ මගින් බලාපොරොත්තු වෙනවා. මෙසේ කියන්නේ මේරිලන්ත ජනපදයේ ගී‍්‍රන්බෙල්ට්හී පිහිටි නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ මේ පිළිබඳ අධ්‍යයන කටයුතු මෙහෙය වන ඇලෙක්සැන්ඩර් පව්ලොෆ් විද්‍යාඥයායි.

සජීවී දසුන් බලන්න...



Post a Comment

0 Comments