HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තරුවක් ගිලින තරුවක්! තාරකා විද්‍යාඥයන්ගේ අලූත්ම අධ්‍යයනයකින් හෙළිවෙයි!

විශ්වය විවිධත්වයෙන් ගහණ තැනක්. එහි බොහෝ තරු අපේ තරුව වූ හිරු වගේ නෙවෙයි. ඒ තරු නපුරුයි; දරුණුයි. මාරකයි.

දැන් අන්තර්ජාතික කණ්ඩායමක් චිලි රටේ පිහිටුවා ඇති යෝධ දුරේක්ෂය යොදා ගෙන තරු ගැන අධ්‍යයනයක් කරල තියෙනවා. ඔවුන්ගේ අධ්‍යයනයට ඉලක්ක වී ඇත්තේ ‘ඕ’ වර්ගයේ තරුයි. ඒවා උෂ්ණත්වයෙන්, ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩියි.

මේ ‘ ඕ’ වර්ගයේ (O-type stars) තරුවලට ඇත්තේ අඩු ආයු කාලයක්. ඒ වගේ ම ඒවා ප‍්‍රචණ්ඩකාරීයි. මන්දාකිණි හෙවත් ගැලැක්සි පරිණාමය වීමේ දී මේ තරු විශේෂ කාර්යය භාරයක් ඉටු කරනවා. ඒ වගේම ඒවා අතිශයින් බිහිසුණු සංසිද්ධියකටත් සම්බන්ධයි. ඒවා ‘වැම්පයර් තරු’ විය හැකියි. මේ වැම්පයර් තරු, තමන් ආසන්නයේ ඇති අනෙක් ලොකු තරුවලින් ශක්තිය උරා ගන්නවා. තව විදියකින් කීවොත් ඒවා ගිල ගන්නවා.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය හියුගස් සානා (Hugues Sana) කියන්නේ ”මේ තරු ඇත්තෙන් ම යක්ෂයින් වගේ” කියායි. ඔහු තමයි, නායකත්වය දීලා තියෙන්නෙ, මේ ගැන කළ අලූත්ම අධ්‍යයනයකට.

 
වැම්පයර් තරුවක් වෙනත් විශාල තරුවකින් සාරය උරා ගන්නා හැටි සිත්තරකුගේ ඇසින්.

”ඒවාට අපේ සූර්යයාට වගේ 15 ගුණයක් වැඩි ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම ඇප් හිරු මෙන් මිලියන වාරයක් දීප්තියෙන් වැඩියි. මේ තරු කොයි තරම් උෂ්ණත්වයෙන් වැඩි ද කීවොත් ඒවා බැබලෙන්නේ දීප්තිමත් නිල් හා සුදු පැහැයෙන්. ඒවායේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 30,000ක් විතර වෙනවා.” ඔහු වැඩි දුරටත් කියනවා.
තාරකා විද්‍යාඥයන් අධ්‍යයනය කළා, ‘ඕ‘ වර්ගයේ තනි තරු 71කක හා යුගල තරු (binary)හයක නියැදියක්. ඒවා ක්ෂීර පථයේ අපට ආසන්න තරුණ තරු පොකුරුවලින් තෝරා ගත් ඒවායි. ඔවුන්ගේ අධ්‍යයනයේ බොහොමයක් නිරීක්ෂණ ලබා ගත්තේ චිලි රටේ පිහිටුවා ඇති යෝධ දුරේක්ෂය ඇතුළු යුරෝපයේ රටවල් එක්ව පිහිටුවා ගත් දක්ෂිණ නිරීක්ෂාගාර (ESO) දුරේක්ෂවලින්.

මේ තෝරා ගත් තරුවලින් නිකුත් වන ආලෝකය මෙතෙක් නොකළ ආකාරයෙන් ඉතා සවිස්තර විශ්ලේෂණයට භාජනය කෙරුණා. එහිදී, සියලූ ම ඕ වර්ගයේ තරුවලින් සියයට 75ක් ම මේ යුගල තරු පද්ධති අතර තුළ ඇති බව එම කණ්ඩායමට සොයා ගැනීමට හැකි වුණා. මෙය කලින් සිතා සිටියාට වඩා ඉතා වැඩි අනුපාතයක්. මේ සම්බන්ධව කළ ප‍්‍රථම ගණනය කිරීම මෙයයි.

මෙහි දී වඩා වැදගත් වන්නේ මේවායින් වැඩි ප‍්‍රමාණයක් යුගල තරු, අන්තර් කි‍්‍රයාවලියක් ඇති වීමට තරම් සමීපව පිහිටා ඇති බව සොයා ගැනීමයි. මෙය අන්තරීක්ෂව එක් වීමකට හෝ තරු ගිලින තරුවකට ස්කන්ධයන් උකහා ගැනීමට හෝ තරම් ළංව පිහිටීමකි. මෙය මෙතෙක් සිතා සිටියාට වඩා විශාල වැඩි බව පැහැදිලි වුණා පමණක් නොව ගැලක්සියක (මන්දාකිණියක) පරිණාමය පිළිබඳව අපේ අවබෝධය වැඩි කිරීමට ද මෙය බොහෝ සේ ඉවහල් වුණා.

විශ්වය හා සලකන විට මේ ඕ-වර්ගයේ තරු ඇත්තේ ඉතාමත් කුඩා ප‍්‍රතිශතයක් වුනත් මේ තරුවල ඇති ප‍්‍රචණ්ඩ ස්වභාවය නිසා ඒවා සාපේක්ෂව ඉතා වැඩි බලපෑමක් ඒවා අවට පරිසරයට ඇති කරනවා.

මේ තරුවලින් විහිදෙන සූර්ය සුළංවලට හා කම්පනයන්ට අලූත් තරු නිර්මාණය වීම ඇති කරන්නත් නවතා දමන්නත් පුළුවන්. ඒවායේ විකිරණ ශක්තීන්වලින් නීහරිකාවල දීප්තිය වැඩි කරලනවා. ඒවායේ සුපර්නෝවාවලින් හෙවත් අධිනවතාරාවන්වලින් මන්දාකිණිවල ජීවය බිහිවීමට ප‍්‍රධාන වන බර මූල ද්‍රව්‍යවලින් සරුසාර කරනවා. ඒවායේ ඇති වන පිපිරීම්වලින් ගැමා කිරණ නිකුත් වෙනවා. ඒවා විශ්වයේ ප‍්‍රබල ශක්තියක් ජනනය කරන සංසිද්ධියක් ලෙස සැලකෙනවා. එම නිසා ඕ-වර්ගයේ තරුවලින් මන්දාකිණිවල පරිණාමය ඇති වීමට බලපාන බොහෝ යාන්ත‍්‍රණවලට බලපෑම් ඇති කරනවා.

”තාරකාවක ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙනවා, ඒ තාරකාව ආසන්නයේ තවත් තරුවක් පැවතියහොත්” යැයි ආචාර්ය සෙල්මා ද මින්ක් කියනවා. (http://www.selmademink.com/tag/massive-stars) ඇය මේ අධ්‍යයනයේ එක් හවුල්කාරියක්. ඇමරිකාවේ අභ්‍යවකාශ දුරේක්ෂ ආයතනයේ භෞතික විද්‍යාඥවරියක්.

”තරු දෙකක කක්ෂ වඩාත් ළංව පිහිටි විට ඒවා කාලයාගේ ඇවෑමෙන් එකට එක් වීමට ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් එක් තරුවක් අනෙක් අසල්වැසි තරුවේ මතුපිට ඇති පදාර්ථ උකහා ගන්න ඉඩ තියෙනවා.”

මේ අධ්‍යයන කණ්ඩායම කියන විදියට ඕ-වර්ගයේ තරු අතරින් සියයට 20ත් 30ත් අතර ගණනක් මේ ආකාරයේ ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලට මුහුණ පානවා. සාපේක්ෂව එතරම් ප‍්‍රචණ්ඩකාරී නොවුනත් මේ වැම්පයර් තරු අතරින් තවත් සියයට 40ත් 50ත් අතර ගණනක් මේ තරු බිහිවීමට සැලකිය යුතු ආකාරයක බලපෑමක් කරනවා.
මේ වන තෙක්, තාරකා විද්‍යාඥයන් වැඩි දෙනකු ළං වූ කක්ෂවල ගමන් කරන යෝධ යුගල තාරකාවන් එතරම් වැදගත් කොට සැලකුවේ නැහැ. ඔවුන් ඒවා එක්ස් කිරණ නිකුත් කරන යුගල තරු හා කළුකුහර යුගල තරු ආදී වශයෙන් හැඳින්වීමට පමණක් යොදා ගත්තා.

 
මේ LH54-425 නම් යුගල තරු පද්ධතිය චිත‍්‍රශිල්පියකුට පෙනෙන හැටි. එහි දැවැන්ත තරු දෙකක් තියෙනවා. වඩා ලොකු තරුවෙන් නිකුත් වන ප‍්‍රබල සූර්ය සුළං නිසා අනෙක් තරුවේ සූර්ය සුළංවල බලපෑම් එල්ල වෙලා. මේ සුළංවල ගැටීමෙන් ඒ අවට දැඩි උෂ්ණත්වයකින් යුත් වායු කලාපයක් ඇති වෙනවා.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙනවා, විශ්වය නිසි ලෙස අර්ථ දැක්වීමේ දී ඒ යුගල තරුවල කාර්යභාරයත් විශේෂයෙන් සැලකිල්ලට ගැනීම අවශ්‍ය බව. මේ අධිබර යුගල තරු සාමාන්‍ය තරු මෙන් නොව ඒවායේ ස්වභාවයන් සාමාන්‍ය තරුවලට වඩා මූලික වශයෙන් වෙනස් බව.

නිදසුනක් වශයෙන් වැම්පයර් තරුවලදී, ප‍්‍රමාණයෙන් කුඩා වූ හා අඩු ස්කන්ධයක් ඇති තරුවක් එහි යුගල සගයාගෙන් අලූතින් හයිඩ‍්‍රජන් උකහා ගනිමින් නව පණක් ලබනවා. එවිට එහි ස්කන්ධය විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ නිසා ම එම ප‍්‍රමාණයේ ම ස්කන්ධයක් ඇති සාමාන්‍ය තනි තරුවකට වඩා ඉතා වැඩි කලක් එම තරුව පවතිනවා.

ඒ අතර වැම්පයර් තරුව විසින් පිට ස්තරය උකහා ගත්තාට පසුව එහි යුගල සගයාට දීප්තිමත් රතු යෝධයකුට වීමට ඇති අවස්ථාව අහිමි වෙනවා. ඒ වෙනුවට, එහි රත් වූ නිල් හරය පිටතට පෙනෙන්න පටන් ගන්නවා. එහි ප‍්‍රතිඵලය වන්නේ දුර ඇති ගැලැක්සියක තරු ගහණය එය පවතින තත්වයට වඩා අඩු වයසකින් යුක්ත ඒවා සේ පෙනෙන්නට ඉඩ තියෙනවා. අලූත් වූ වැම්පයර් තරුවත් ඊට ගොදුරු වූ තරුවත් යන දෙකම තාපයෙන් වැඩි නිල් පැහැයෙන් දිලෙන්න පටන් ගන්නවා, අලූත සෑදුණු තරු වගේ.

ඒ නිසා අන්තර්කි‍්‍රයා කළ හැකි යුගල තරුවල ගහණය නිවැරදිව දැන ගැනීම අවශ්‍ය වෙනවා, දුර ඇති මන්දාකිණිවල සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමට නම්.

දුර ඇති මනිදාකිණි ගැන තොරතුරු දැන ගැනීමට තාරකා විද්‍යාඥයන්ට ඇති එකම මඟ ඒවායේ ඇති තරුවලින් අපේ දුරේක්ෂවලට ලැබෙන ආලෝකයයි.

මෙසේ ලැබෙන ආලෝකවල වෙනස් කම් ඇති කරවන හේතු ගැන අනුමානයන් නොකොට අපට ඒ මන්දාකිණි ගැන තීන්දු තීරණවලට, ඒවා කෙතරම් විශාලද නැතිනම් ඒවා කෙතරම් තරුණද කියා නිගමනවලට එන්න පුළුවන් කමක් නැහැ.

”ඒ නිසා මේ තනි තරු බවට පත් වූ අලූත පණ පෙවුණු වැම්පයර් තරුවල ආලෝකය දෙස බලා ඒවා ගැන කරන නිගමන බොහෝ විට වැරදී යා හැකියි.” හියුගස් සානා අවසාන වශයෙන් කියනවා.

මෙවැනි වෙනස් කම් කෙතරම් විශාලද කෙතරම් ප‍්‍රමාණයකින් සිදු වෙනවාද ආදිය තේරුම් ගැනීම ඔස්සේ තමයි, අපට මන්දාකිණි ඇති වීම පිළිබඳව අපේ දැක්ම සකස් කර ගත හැක්කේ. මේ යුගල තාරකා ගැන විමසුම් කිරීම අති සංකීර්ණ දෙයක්. ඒ නිසා තවත් කලක් ගත වේවි මන්දාකිණි නිර්මාණයේ දී මේවා කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න ගැන නිශ්චිත නිගමනයකට එන්නට.


Post a Comment

1 Comments

  1. නියම ලිපිය කරුණු හරිම වටිනවා.

    ReplyDelete