HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නාසා ආයතනයේ ‘කුතුහලය’ අඟහරුට ගොඩ බසියි. අඟහරු හා සම්බන්ධව මෙතෙක් තබා ඇති ලෝක වාර්තා මෙන්න!

ඇමරිකාව ‘කුතුහලය’ යන අරුත් ඇති කියුරියෝසිටි රෝවරය පසුගිය දා (අගෝස්තු 6 වැනිදා) අඟහරුගේ සමකයට ආසන්න ‘ගේල්’ ආවාටය මතට සාර්ථකව ගොඩ බස්සවමින් ලොකු හපන්කමක් කළේය. ටොන් එකකට ආසන්න බරක් ඇති මෙම යානය අඟහරු මතට ගිය ලොකුම රෝවරය විය. දැනටමත් එය වර්ණ ඡායාරූප පොළොවට එවන්න පටන් අරන්.

මේ ‘කුතුහලය’ නම් රෝවරය මෙතෙක් ග‍්‍රහ ලෝකයක සැරිසරණ විශාලතම යානයයි.

කියුරියෝසිටි රෝවරය දිගින් මිටර 3ක්. බර කිලෝ ග්රෑම් 900කට වැඩියි. එහි කිලෝ ග්රෑම් 80ක් බර විද්‍යා උපකරණ රැසක් තියෙනවා. එය පැයකට මීටර 90ක වේගයකින් අඟහරු මත යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් ඒ පිළිබඳ දත්ත පොළොවට එවනවා ඇති. අපේ කාලය අනුව වසර දෙකක් තිස්සේ, එනම් අඟහරු මත එක වසරක කාලයක් සකි‍්‍රයව හිඳිමින් අපට තොරතුරු හා ඡුයාරූප එවනවා ඇති.

අඟහරු මත කවදා හෝ ජීවීන් සිටියා නම් ඒ බවත් අපට දන්වනවා ඇති.

 
දැන් අඟහරු මත යමින් අපට තොරතුරු හා ඡායාරූප එවන ‘කුතුහලය’ රෝවරය ඒ රතු ග‍්‍රහයා ගැන අපේ ඇති කුතුහලය තවත් වැඩි කරාවි.

අඟහරු ජය ගැනීම සමරන්නට අද අප ඔබට ඉදිරිපත් කරන්නේ අඟහරුට අදාළ ව මෙතෙක් වාර්තා වී ඇති විශිෂ්ඨතම සොයා ගැනීම් දහයයි.

1. අඟහරු මතට ගිය ප‍්‍රථම අභ්‍යවකාශ යානය
අඟහරු මතට ගිය ප‍්‍රථම අභ්‍යවකාශ යානා ලෙස සැලකෙන්නේ 1971 දී රුසියාව (එවකට සෝවියට් දේශය) විසින් යවන ලද ‘මාස් - 1’ (Mars -1) හා ‘මාස් - 2’ (Mars -2) යන ඒවා ය. නමුත් කිසිම රටක් තවමත් අඟහරු වෙත යානයක් යවා සාර්ථකව ආපසු ගෙන්වා ගෙන නැහැ. ඉදිරි දශක කීපය ඇතුළත අඟහරු මත මිනිසකු පා තබනවා නිසැකයි.

2. ප‍්‍රථම වරට අඟහරුගේ ධ්රුව කලාපයට පතිත කළ යානය
එය ඇමරිකාවේ නාසා ආයතනයේ ෆීනික්ස් අභ්‍යවකාශ යානයයි. එය 2008 මැයි 25 වැනිදා අඟහරු ග‍්‍රහයාගේ උත්තර ධ්රුව කලාපයේ පිහිටි ‘වැස්ටිටාස් බොරියේලිස්’ (Vastitas Borealis) නම් පහත් බිම් නිම්නයට එය පතිත කරවනු ලැබීය. එය වසර නවයක් තිස්සේ පැ.කි.මී. 21,000ක වේගයෙන් ගොස් අඟහරුට ළඟා විය. ඉන්පසු තාපාරක්ෂක ආවරණයක් යොදා ගෙන එහි වායුගෝලයට ඇතුළු කර පැරෂූටයක් හා වේගය පාලනය කරන රෙට්රො රොකට් භාවිත කරමින් එහි වේගය පැ.කි.මී 8ක් දක්වා අඩු කර සාර්ථකව එය අඟහරු මතට ගොඩ බස්සන්නට නාසා ආයතනය සමත් විය. අඟහරු මත අගල් කපා පස් සාම්පල රැගෙන එහි වූ විශ්ලේෂක බඳුන වෙත දමන්නට විශේෂ අතක් එහි විය. එය තොරතුරු, ඡායාරූප, විශ්ලේෂණ දත්ත රැසක් පොළොවට එවූ අතර 2008 නොවැම්බර් 2 වැනිදා ඒ යානයත් පෘථිවියත් අතර සම්බන්ධතා බිඳ වැටුණේය.

3. අඟහරු මත තබා ඇති වැඩිම වේග වාර්තා
අඟහරු මත වැඩිම වේගයෙන් ගොස් වාර්තා තබා ඇත්තේ ‘ස්පිරිට්’ හා ‘ඔපර්චුනිට්’ යන අඟහරු ගවේෂණ යානායි. ඒ යානා දෙකට ම තත්පරයකට සෙ.මී. 5ක වේගයෙන් අඟහරු මත යා හැකි විය. මෙම යානා දෙකම යවා ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනය විසිනි. 2004 ජනවාරි 4 වැනිදා හා 25 වැනිදා මෙම යානා ඒ මත පිටට පතිත කරවනු ලැබීය.

4. එක් දිනක් තුළ අඟහරු මත ගිය වැඩිම දුර
නාසා ආයතනය යැවූ ‘ඔපර්චුනිටි’ අඟහරු ගවේෂණ යානය 2004 පෙබරවාරියේ (අඟහරුගේ සූර්ය දින 362-363 අතර කාලය තුළ) දී මෙරිඩියානි ප්ලැනම් (Meridiani Planum) ප‍්‍රදේශයේ මීටර 156.55ක් (අඩි 513 යි අඟල් 7ක්) දුර ගොස් ඇත. අඟහරුගේ එක් දිනයක් පැය 24කුත් මිනිත්තු 39යි තත්පර 35ක් දිග ය.

5. මතුපිට අයිස්වලින් වැසුණු විශාලතම ප‍්‍රදේශය
අඟහරු මතුපිට අයිස්වලින් වැසී ඇත්තේ ධ්රුව ප‍්‍රදේශ පමණ ය. මේ ධ්රුව දෙකම ජලය මිදුණු අයිස්වලින් වැසී ඇති අතර ඒවාට අදළ ශීත ඍතුවල දී ඝන වූ කාබන්ඩයොක්සයිඞ් ‘වියළි අයිස්’ තට්ටුවකින් ඒවා වැසී යයි. එයින් දක්ෂිණ ධ්රුවයෙහි ඇති හිම ආවරණය ප‍්‍රමාණයෙන් විශාලය. එය දිගින් කි.මී. 420කි. මීටර 11ක් ඝනකම ඇති මේ අයිස් තට්ටුවෙහි ඇති ජලය මුළු ග‍්‍රහයා වසාලීමට ප‍්‍රමාණවත් ය.

6. පෘථිවියට වඩාත් සමාන පරිසරයක් ඇත
අඟහරු මතුපිට උෂ්ණත්වය -140°C ක්‍ සිට 20°C ක්‍ (-220°Fත්‍ සිට 68°Fත්‍) දක්වා වෙනස් වෙයි. දහවල පැය 24.6ක් දිග ය. පහසුවෙන් ජනාවාස ඇති කළ හැකි ග‍්‍රහයකු ලෙස අඟහරු සැලකිය හැකිය. එහෙත් එහි වායුගෝලයේ ඇත්තේ තුනී විෂ සහිත කාබන්ඩයොක්සයිඞ් නිසා අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක් නොපැලඳ මෙහි එහා මෙහා යා නොහැකිය. සමහර විද්‍යාඥයන් කියන්නේ මිනිසාට එහි මතුපිට අවම ආරක්ෂාවක් සහිතව ඇවිද ගෙන යා හැකි වන පරිදි පරිසරය හා වායුගෝලය වෙනස් කළ හැකි බවය.

7. ප‍්‍රථමවරට දුටු පෘථිවියෙන් බැහැර ධූලි වලා යක්කු
මුලින් ම ධූලි ‘වලා යක්කු’ (dust devils) දැක ගත හැකිවූයේ අඟහරු මත ය. ඒවා මුලින් ම දුටුවේ 1970 ගණන්වල දී අඟහරු වටා කක්ෂයක ගමන් කළ වයිකිං යානා විසිනි. ඒ ධූලි වලා මතුපිට සිට කිලෝමීටර ගණනක් ඉහළ විහිදෙයි. හිරු රැස් විසින් එහි මතුපිට දැඩි ලෙස උණුසුම් කිරීම නිසා ඊට ඉහළින් ඇති වායුව රත්වී ඉහළට නගිමින් කැරකෙන්නට පටන් ගනියි. එහි ඒ රත් වා සුළිය අවට ඇති දූවිලි ද ඊට එක් කර ගනියි. 2005 දී මේ ධූලි ‘යකෙක්’ නාසා ආයතනය යැවූ ස්පිරිට් රෝවරය හරහා ගමන් කොට එහි සූර්ය කෝෂ පැනල මත එක් රැස් ව තිබූ දූවිලි ඉවත් කර දෙමින් එහි බල සැපයුම යළි ප‍්‍රකෘතිමත් කිරීමට උපකාර වූ බවද සඳහන්ය.

8. අඟහරු මත දියර ජලය තිබූ බවට අලූත් සාක්ෂි
අඟහරු වටා ගිය විමර්ශන යානයකින් ගත් දත්තවලින් නිර්මාණය කළ පිළිබිඹුවකින් එහි ප්‍රොමැති (Promethei) උස්බිම්වල වියළී ගිය දිය අගල් දැක ගත හැකි විය. ඒ අනුව වසර මිලියන 1.25කට පෙර ජලය ගලා ගිය බවත් හෙළි විය. ඒ අගල් පෙනී ගියේ ජලය වාෂ්ප වී තුනී අඟහරු වායුගෝලයට එකතු වෙන්නට පෙර මිදී ගිය සෙයකි.

9. සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති උසම කන්ද
ඔලිම්පස් මොන්ස් (Olympus Mons) සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති උසම කන්ද ලෙස සැලකේ. එහි උස කි.මී. 25කි. එනම් සැතැපුම් 15ක් පමණ ය. එය එවරස්ට් කන්ද මෙන් තුන් ගුණයක් උසින් වැඩිය. එහි හැඩය අනුව එය යමහලක් විය හැකිය. එහි උස පමණක් නොව පාදය ද ඉතා විශාලය. එය උස මෙන් විසිගුණයක් වෙතැයි සැලකේ.

10. සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇති උසම වලාකුළු
2006 අගෝස්තු මාසයේ දී යුරෝපීය විද්‍යාඥයන් විසින් වාර්තා කරනු ලැබූ පරිදි තුනී වලාකුළු අඟහරු ඉහළ අහසේ කි.මී 90-100 (සැ. 55-62ත්) අතර තිබෙනු නිරීක්ෂණය කර ඇත. ඔවුන් එසේ ප‍්‍රකාශ කර ඇත්තේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් යවන ලද ‘මාස් එක්ස්ප‍්‍රස්’ නම් අඟහරු ගවේෂණ යානයෙන් ලද නිරීක්ෂණ තොරතුරු මතය. ඒවා කාබන්ඩයොක්සයිඞ් අයිස් කැටවලින් සමන්විත බව ද එහි දී හෙළිදරවු විය.

Post a Comment

4 Comments

  1. ‍පාත් ෆයින්ඩර් වැනි යානා දැන් අක්‍රීය වෙලාද? මෙම යානයට ඒ ගොල්ලන් ව හමුවීමේ බලාපොරොත්තුවක් තියෙවනද කියලා දැනගන්න පුලුවන් ද, මල් කැකුලු?

    ReplyDelete
  2. බුද්ධි,
    පාත් ෆයින්ඩර් යානය අකි‍්‍රය වුණේ 1997 සැප්. 27 දායි. 1997 ජූලි 4 වැනිදා එය යැව්වෙ සතියක සිට මාසයක් දක්වා කාලයකටයි. ඒත් ඒක තුන් මාසයක් කි‍්‍රයාත්මක වුණා. සැලසුම් කළ පරීක්ෂණ සියල්ල ඉටු කළා. මේ අලූත් යානය යැව්වෙ පාත් ෆයින්ඩර් පතිත කළ තැනට වඩා ගොඩක් ඈත තැනකට. ඒ නිසා හමු වීමක් නෑ.

    ReplyDelete
  3. ස්තුතියි පර්සි මහත්මයා තොරතුරු වලට....

    ReplyDelete