HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

එල්ලය නොවරදින ස්නයිපර් ගිනි අවිය!

මෙම ලිපිය මල් කැකුළු වැඩිහිටි පාථකයන්ගේ ඉල්ලීම් මත සකසන ලදී. යුද අවි ගැන කතා කරන ලිපියකි.

රයිපල් තුවක්කු ගැන කතා කරන විට වැඩි ම දුරක් හා නිවැරදි ඉලක්කයක් හසු කර ගත හැකි ගිනි අවිය ලෙස නිතර ම දක්වන්නේ ස්නයිපර් රයිපලයයි. නියම ස්නයිපර් රයිපලය තනා ඇත්තේ නිවැරදි එල්ලය ගැනීමට හැකි වන ආකාරයට දුරදක්නයක් ද සහිතවය. (මේ ‘ස්නයිපර්’ යන වදන බිඳී ආවේ ඒ නමින් හැඳින්වෙන කුරුල්ලා නිසාය. ස්නයිපර් හැඳින්වෙන්නේ පහසුවෙන් දඩයම් කළ නොහැකි, ඉලක්කයකට ලක් කර ගත නොහැකි, කුරුල්ලකු ලෙසයි.) මේ වදන 18 වන සියවස අග හරියේ හමුදාවේ භාවිත වූවක් වුවද නියම ස්නයිපර් රයිපලය ඊට හුඟක් මෑත දී නිර්මාණය වූවකි.


තාක්ෂණය දියුණු වීමත් සමග, විශේෂයෙන් ම, පියවි ඇසින් දැකිය නොහැකි දුරක පිහිටි එල්ලයක් දුරදක්නයකින් බලා, නිවරදි ව එල්ලය ගෙන වෙඩි තැබිය හැකි රයිපල නිපදවනු ලැබීය. සාමාන්‍ය හමුදා භාවිතයේ ඇති ගිනි අවියකට වඩා මේවා භාවිතයට ගැනුනේ විශේෂ හමුදා කටයුතු හා සම්බන්ධවය. සාමාන්‍ය සම්මත රයිපලයක් වුවද දුරදක්නයක් සවි කළ විට ස්නයිපරයක් බවට පත් වෙයි.

දැනට ස්නයිපර් රයිපල් වර්ග තුනක් භාවිතයේ තිබේ. එයින් ප‍්‍රධාන වන්නේ ජර්මනියේ හෙක්ලර් හා කෝච් සමාගම විසින් නිපදවන PSG-1 නම් වූ අර්ධ-ස්වයංකී‍්‍රය ස්නයිපර් රයිපලයයි. මෙය නිපදවන ලද්දේ 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ සිදු වූ ඝාතනයෙන් පසුවය. ඉතා ඉක්මනින්, වේගයෙන් හා හරි එල්ලයකින් ත‍්‍රස්තවාදීන්ට මුහුණ දෙන්නට ජර්මානු පොලිස් හා අපරාධ මර්දන හමුදාවලට අවශ්‍ය වීම නිසාය. ත‍්‍රස්තවාදීන්ට නොපෙනී සුපරීක්ෂාකාරීව හිඳිමින්, විශාල සෙනගක් මැද අපරාධයක් කරන්න තැත් කරන ත‍්‍රස්තවාදියකු වුවද, වෙනත් කිසිවකුටත් තුවාල සිදු නොකොට, බිම හෙළන්නට මේ මගින් හැකියාව ලැබිණ. එසේ ම මේ ගිනි අවියෙන් නිවැරදි එල්ලයක් ගැනීම මෙන් ම වැඩි උණ්ඩ ප‍්‍රමාණයක් ද නිකුත් කළ හැකිය.


මෙම ස්නයිපර් රයිපලයක මිල රුපියල් ලක්ෂ 12-15ත් අතර ගණනක් වෙයි. මේ මිල අධික බවත් රජය විසින් පනවා ඇති සීමාවනුත් නිසා, 2005 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ වුවද මේ වර්ගයේ රයිපල තිබූයේ 400කටත් අඩු සංඛ්‍යාවකි. ඒවා ද මිල දී ගෙන තිබුණේ විනෝදාංශයක් ලෙස ගිනි අවි එකතු කළ ඇමෙරිකාවේ ධනවතුන් පිරිසක් විසිනි. මේවා ඇමෙරිකානු අපරාධ මර්දන හමුදා විසින් ලබා ගෙන ඇත්තේ ද සුළු වශයෙනි. මේවා ජර්මානු ත‍්‍රස්ත මර්දන ඒකකය වූ ඨීඨ-9 භාවිත කරන්නේ ද නැත. කෙසේ වෙතත්, ජර්මානු SWAT හමුදාවල වැඩි දෙනෙක් මේවා භාවිත කරන බව නොරහසකි.

වඩාත් නිවැරදි එල්ලයක් ගත හැකි මේ අර්ධ-ස්වයංකී‍්‍රය PSG-1 අවියකින් වරක දී මිමී 7.62 ප‍්‍රමාණයේ උණ්ඩ 50ක් මිමි 80ක කවයක් තුළ පිහිටි ප‍්‍රදේශයකට මීටර් 300ක් දුරින් සිට යැවිය හැකිය. ඒ නිවැරදිවම එල්ලය ගත හැකි වන අතර සාමාන්‍යයෙන් මෙම රයිපලයෙන් වෙඩි තැබිය හැකි වැඩි ම දුර ලෙස සැලකෙන්නේ මීටර් 1000ය. මේ වර්ගයේ ගිනි අවියක් ඇටවූ විට දිග මිමී 1200 (අඟල් 47.6)කි. බර කි.ග‍්‍රෑ. 8.10(රා.17.81)කි.

ජර්මනිය, ආජෙන්ටිනාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලැට්වියාව, මලයාසියාව, නෙදර්ලන්තය, පාකිස්ථානය, රුමේනියාව, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, වෙනුසුවේලාව ඇතුළු රටවල් රැසක හමුදා හා පොලිස් සේවා සඳහා යොදා ගනු ලබයි.


දෙවැනි ස්නයිපර් රයිපල වර්ගය ලෙස හැඳින්වෙන්නේ MSG-90 යි. මෙය විශේෂයෙන් ම හමුදාවේ භාවිතයට තැනූ PSG-1 අවියේ ම වෙනත් මාදිලියකි. මෙය කලින් වර්ගයට වඩා සැහැල්ලූය.

තුන්වැනි ස්නයිපර් රයිපල වර්ගය වන්නේ රුසියාවේ නිෂ්පාදිත ‘ස්නයිපස්කයා වින්ටොව්කා ඞ්රැගනොව්’ හෙවත් SVD නම් අර්ධ-ස්වයංකී‍්‍රය ගිනි අවියයි. රුසියාව සෝවියට් දේශය වශයෙන් පැවති සමයේ පවත්වන ලද තරගයකින් ජයගත් මුල් ආකෘතියක් අනුව මෙය නිපදවනු ලැබීය. මෙය නිෂ්පාදනය පටන් ගත්තේ 1964 දීය. ආරම්භයේ දී නිපදවන ලද්දේ මේ වර්ගයේ අවි 200ක් පමණය. වියට්නාම් යුද්ධයේ දී හා සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ කළ යුද්ධවල දී මෙය භාවිත කර ඇත.

මෙම ගිනි අවිය මාදිලි ගණනාවකින් හා විවිධ ප‍්‍රමාණ ගණනාවකින් නිපදවනු ලැබේ. මෙහි දිග මිමී. 815 (අඟල් 32.1) සිට 1225 (අඟල් 48.2) ක් දක්වා වෙනස් වෙයි. අවියෙහි බර ද කි.ග‍්‍රෑ. 4.30 (රා.9.48) සිට කි.ග‍්‍රෑ. 5.02(රා. 11.07) ක් දක්වා වෙනස් වෙයි. මෙම ගිනි අවියෙන් මිමී 7.62 ප‍්‍රමාණයේ උණ්ඩ 10ක් වරකට යැවිය හැකිය. මෙහි උණ්ඩ විදින්නේ ගෑස් බලයෙනි. සාමාන්‍යයෙන් මෙම රයිපලයෙන් ද මීටර් 100 සිට 1200 දක්වා දුරක එල්ලයක් ගත හැකිය.

අද ලෝකයේ රටවල් බොහොමයකම හමුදා විසින් භාවිත කරන ස්නයිපර් රයිපලය, රුසියාව, චීනය, බල්ගේරියාව, තුර්කිය, පින්ලන්තය, වෙනුසුවේලාව, පෝලන්තය ඇතුළු වෝර්සෝ ගිවිසුමට අයත් රටවල් මෙම ස්නයිපර් රයිපල විශේෂයෙන් ම භාවිත කරන බැව් සඳහන් වේ.

Post a Comment

1 Comments

  1. වැදගත් ලිපියක්..හැබැයි අවි ගත්තෝ අවියෙන්ම නසී කියලත් කියනවනේ

    ReplyDelete