මිනිස් සංහතිය වෙනුවෙන් හඳට ගිය පළමු වැන්නා නීල් ආම්ස්ට්‍රෝං ඒ ඓතිහාසික පියවර තැබීමට පෙර. ඉන් වසර 42කට පසු ඔහු 82 හැවිරිදි වියේ දී හෘදයාබාධයකින් මිය ගියා.
හෘදයාබාධයක් හේතුවෙන් සැත්කමට භාජන කිරීමට අජටාකාශගාමී ආම්ස්ට්‍රෝං රෝහල් ගත කරන ලද්දේ මීට සති දෙකකට පමණ ඉහතදීය. ආම්ස්ට්‍රෝංගේ අභාවය ගැන කනගාටුව පළ කළ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ නීල් ආම්ස්ට්‍රෝං ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨ වීරවරයකු බවය. 1969 වසරේ දී ගගනගාමී ආම්ස්ට්‍රෝං, එඞ්වින් ඕල්ඞී‍්‍රන් සහ මයිකල් කොලින්ස් සඳට යෑම සුවිශේෂ ඓතිහාසික සිදු වීමක් බවත් ඔවුන්ගේ එම වීර වික‍්‍රමය මුළු මහත් ඇමෙරිකාවටම අභිමානයක් බවත් ජනපති ඔබාමාගේ ශෝක පණිවුඩයේ සඳහන් වේ. ආම්ස්ට්‍රෝං පළමුවරට සඳ මත පය තැබීම, මිනිසා ලැබූ අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් යැයි ද ඔබාමාගේ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
ඇමෙරිකාව සහ සෝවියට් දේශය අභ්‍යවකාශතරණයට අවතීර්ණ වුණේ නිරවි යුද සමයේදීය. මුලින්ම අභ්‍යවකාශතරණයට යොමු වූයේ සෝවියට් දේශයයි. ප‍්‍රථම වරට මිනිසකු උඩුගුවනට යැවීමෙන් සෝවියට් දේශය ලත් ජයග‍්‍රහණයෙන් පසුව ලෝක බලවතුන් දෙදෙනාගේ තරගය අභ්‍යවකාශයට යොමු විය. අවසානයේදී සඳ මතට මිනිසකු මුලින්ම යැවීමෙන් සිය අභිමානය රැක ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය සමත් විය. ඉන්පසු සඳ වෙත ඇපලෝ මෙහෙයුම් මාලාවක් දියත් කළ අතර අවසන් වරට ඇමෙරිකානුවන් සඳ මත පය තැබුවේ 1972 වසරේදීය. ඒ ‘ඇපලෝ 17’ අභ්‍යවකාශ මෙහෙයුම යටතේය. 1969 ජූලි 20 වැනිදා ඊගල් චන්ද්‍ර යානාවෙන් සඳ මතට ගොඩබැස මුලින්ම සඳ මත පා තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. ඔහුට සහාය වෙමින් සඳ මත පය තැබූ දෙවැන්නා වූයේ එඞ්වින් ඕල්ඞී‍්‍රන්ය. ඔවුන් සඳ මතට ගොස් පස් රැගෙන එන තෙක් මයිකල් කොලින්ස් ඔවුන් සඳේ කක්ෂය වෙත රැගෙන ගිය කොලොම්බියා යානාවට වී චන්ද්‍ර කක්ෂයේ රැඳී සිටියේ ආපසු පෘථිවිය බලා එන ගමනට සහය වන්නටය. ඕල්ඞී‍්‍රන් සහ කොලින්ස් තවමත් ජීවතුන් අතර සිටින අතර මේ වන විට ඔවුන්ගේ වයස පිළිවෙළින් අවුරුදු 82 ක් සහ 81 කි.
නීල් ආම්ස්ට්‍රෝං හඳ මතුපිට ප‍්‍රථම පියවර තැබූ ඒ ඓතිහාසික මොහොත. 1969 ජූලි 20 වැනිදා සඳේ නිසල නිම්නයේදී.
හඳට ගිය පළමු මිනිසා වෙමින් නීල් තැබූ ඒ ඓතිහාසික පියවර. ‘මිනිසාගේ මේ පුංචි පියවර මිනිස් වර්ගයා වෙනුවෙන් තැබූ මහා පිම්මක්’ නීල් ඒ මොහොතේ එහි සිට අපට කීවා.
‘ඇපලෝ 11’ ගගනගාමීන් සඳ තරණය කර වසර 40 ක් පිරීම නිමිත්තෙන් 2009 දී ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ අනුග‍්‍රහයෙන් ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයේ ප‍්‍රධාන අමුත්තන් තිදෙනා වූයේ නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වඞ් ඕල්ඞ්රීන් සහ මයිකල් කොලින්ස්ය. එම සුවිශේෂී අවස්ථාවේදී මිනිස් ඉතිහාසයේ මහා පෙරැළියක් සනිටුහන් කළ ඒ වීරයන් තිදෙනාට ප‍්‍රණාමය පුද කරමින් ඇමෙරිකානු ජනාධිපති ඔබාමා කියා සිටියේ ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහන තව තවත් ශක්තිමත් කිරීමට තමා පියවර ගන්නා බවයි. ධවල මන්දිරයට පැමිණි ගගනගාමීන් තිදෙනා ඉතා උණුසුම් ලෙස ගෞරවයෙන් පිළිගත් ජනාධිපති ඔබාමා ඔවුන් සමඟ ඡායාරූපවලටද පෙනී සිටියේය. ”සිත යොමු කළොත් ඕනෑම අභියෝගයක් ජයගන්න ඇමෙරිකානුවන්ට පුළුවන්” ඔබාමා එම අවස්ථාවේදී ද ඉතා ආඩම්බරයෙන් ප‍්‍රකාශ කළේය.
නීල් ආම්ස්ට්‍රෝංගේ සමුගැනීම වීරයකුගේ නික්ම යෑමක් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ”අභ්‍යවකාශ යුගයේ මීළඟ අදියර සඳහා දැන් අප සූදානම් විය යුතුයි. මතු පරපුර සඳහා නාසා ආයතනයේ අභ්‍යවකාශ වැඩසටහන් තව තවත් ශක්තිමත් කිරීමට ඇමෙරිකානුවන් වශයෙන් අපි සැවොම එක් වී කටයුතු කළ යුතු වෙනවා. අපේ මීළඟ ඉලක්කය වන්නේ අඟහරු ග‍්‍රහලොවට යෑමයි. මේ වන විටත් ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරෙනවා.” යැයි නාසා ආයතනය පවසයි.
”නීල් ආම්ස්ට්‍රෝං අද අපේ මියගිය ජාතික වීරයන් අතරට එක් වුණා. සඳට ඇගේ ප‍්‍රථම පෘථිවි පුත‍්‍රයා අහිමි වුණා” ඇමෙරිකානු ප‍්‍රතිවාදී රිපබ්ලිකන් ජනපති අපේක්ෂයා වීමට සූදානමින් සිටින මිට් රොම්නි ද පවසා ඇත.
නාසා ආයතනය මෙම ඇපලෝ මෙහෙයුම් මාලාව දියත් කළේ සඳ තරණය හා ගවේෂණය සඳහාමය. ඇපලෝ මෙහෙයුම් නවයක් අතුරින් මෙහෙයුම් හයකදීම මිනිසුන් සඳ මත පතිත කරවීය. සඳට ගියේ නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වඞ් බස් ඕල්ඞ්රීන් පමණක් නොවේ. නීල් ආම්ස්ට්‍රෝංට පසු තවත් ගගනගාමීන් 19 දෙනෙක් එම වික‍්‍රමයට සහභාගී වූහ. ඔවුන්ගෙන් පස් දෙනකු ම මේ වන විට මිය ගොසිනි.
නීල් ආම්ස්ට්‍රෝං උපන්නේ 1930 වසරේ අගෝස්තු 5 වැනිදා, ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ වපකොනිටා නුවරදීය. ආම්ස්ට්‍රෝං 6 හැවිරිදි වියේ දී කළ සිය ප‍්‍රථම ගුවන් ගමනින්ම ගුවන් යානා පදවන්නට ආසාවක් ඇති කර ගත්තේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහු වයස අවුරුදු 16 දී, ගුවන් යානා පැදවීමේ බලපත‍්‍රයක් ලබා ගත්තේය. ඉන්පසු ඔහු 1949 දී ගුවන් හමුදාවට බැඳුණේය. 1955 වසරේදී පෘඞ් සරසවියෙන් ගගන ඉන්ජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් උපාධියක්ද 1970 වසරේ දකුණු කැලිෆෝනියා සරසවියෙන් අභ්‍යවකාශ ඉන්ජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත‍්‍රපති උපාධියක් ද හිමි කර ගත්තේය.
1962 වසරේදී ගගන කටයුතු සඳහා ආම්ස්ට්‍රෝං තේරුණේ සහායක ගගනගාමී කණ්ඩායමක් යටතේයි. මුලින් ඔහු ‘ජෙමිණි 5’ යානාවේ ආධාරක නියමුවා ලෙස කටයුතු කළේය. ඉන්පසු ‘ජෙමිණි 8’ යානාවේ ප‍්‍රධාන අණ දෙන නියමුවා ලෙසත් ‘ජෙමිණි 11’ යානාවේ ආධාරක නියමුවා ලෙසත් කටයුතු කළේය. ඇපලෝ වැඩසටහන් මාලාවට සම්බන්ධ වීමෙන් පසු ඔහු ‘ඇපලෝ 8’ මෙහෙයුමේදී ආධාරක නියමුවා ලෙස කටයුතු කළේය. සඳ බලා ගිය ‘ඇපලෝ 11’ මෙහෙයුමට නායකත්වය දුන්නේ ආම්ස්ට්‍රෝංය. ඒ නිසා සඳමත පය තැබූ පළමු මිනිසා වුණේ ඔහුය. 1970 වසරේ නාසා ආයතනයේ ගගනයානා විද්‍යා පරිපාලන අංශයේ නියෝජ්‍ය පරිපාලකවරයා ලෙස රාජකාරි ඇරැඹුවේය. 1971 වසරේදී ඔහු විශ‍්‍රාම ගියේය.
1957 වසරේ ඔක්තෝබර් 4 වැනිදා, නිරවි යුද සමයේ උච්චම කාලවකවානුව විය. ඇමෙරිකාව සහ සෝවියට් දේශය න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වී එකිනෙකාට තර්ජනය කරගනිමින්, එකිනෙකාට අවි අමෝරාගෙන සිටියේ මේ නිරවි යුද සමයේදීය. එහෙත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට කිසිවකුවත් ඉදිරිපත් නොවිණි. මේ අතර හිටිහැටියේම රාතී‍්‍ර අහස කිසියම් ආලෝකයකින් දීප්තිමත් විය. රුසියාවේ සයිබීරියාවට ඉහළින්, ඇමෙරිකාවේ නෙබ්රැුස්කා බඩ ඉරිඟු වතු යායවලට ඉහළින්, ඇල්පයින් වනාන්තරයට ඉහළින් මෙන්ම අපි‍්‍රකා කාන්තාර ප‍්‍රදේශවලට ඉහළ අහසේ මේ අලූත් අමුතු දීප්තිමත් ආලෝකයක් ඉතා වේගයෙන් ඉහළ අහසට ඇදී යනවා දකින්න ලැබුණි.
එම ආලෝකය විහිදුණේ අහසේ ගමන් කළ කිසියම් වස්තුවකිනි. ඒත් එය ගුවන් යානයක් නොවිය. පසුව වාර්තා වූයේ එය සෝවියට් දේශය විසින් උඩුගුවනට යවන ලද උපග‍්‍රහයකු බවය. චන්ද්‍රිකා යන නමින් එය හැඳින්වූ තවත් කලකට පසුවය. එය පොළොවේ සිට කිලෝ මීටර් 800 ක් ඉහළ අහසේ රැඳෙමින් එය පෘථිවි කක්ෂයේ ගමන් කළේ පැයට කිලෝ මීටර් 29,000 ක් වේගයකිනි. ඉන්පසු ගතවුණු මාස තුන පුරා එය පෘථිවි කක්ෂයේ රැඳෙමින් අනාරාධිතව සහ අනවසරයෙන් එය ලෝකයේ සෑම රටකටම ඉහළින් ගමන් කරන්නට විය. එපමණක් නොව එය පණිවුඩ එවීමට ද පටන් ගත්තේය. මෙය අභ්‍යවකාශ තරණයේ නවයුගයක් ආරම්භ කිරීමක් විය. මුළු ලොවම වෙනස් කළ ඓතිහාසික සංසිද්ධියක් ද විය. ඒ, ‘ස්පුට්නික්’ නමැති චන්ද්‍රිකාවේ මංගල ගමනයි. නිරවි යුද සමයේ ලෝක බලවතුන් දෙදෙනා අතර ඇති වූ අභ්‍යවකාශය ජය ගැනීමේ සටන ආරම්භ වූයේ මෙසේය. එය අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං පළමු සඳ මත පය තබා, සඳ ජය ගැනීමත් සමඟය.
නීල් ආම්ස්ට්‍රෝංගේ පවුලේ අය ඔහු මිය ගිය පුවත ලොවට ප‍්‍රකාශ කරමින් අපූරු සඳහනක් කර තිබුණේය.”මීළඟ වතාවේ හඳ දෙස බලන විට ඔහු වෙනුවෙන් සිහිපත් කරන්න අමතක කරන්න එපා!”
නීල් හා එඞ්වින් දෙදෙනා ඇමරිකානු ධජය සඳ මත පිහිටුවන අයුරු ඊගල් චන්ද්‍ර යානයේ ස්වයංකී‍්‍රය කැමරාවෙන් රූ ගත කෙරුණා.
ඒ ඓතිහාසික මොහොතේ සඳ මත පා තැබීමෙන් පසු නීල් සඳ මතුපිට උපකරණ සවි කළ අයුරු ටෙලිවිෂනයෙන් ලොව පුරා අඩ බිලියනයක් ජනතාව මෙසේ දැක බලා ගත්තා.
සඳ මත ගොඩ බැස්සවූ ඇපලෝ 11 අභ්‍යවකාශ යානයේ ප‍්‍රධාන නියමු නීල් ආම්ස්ට්‍රෝං ඒ ඓතිහාසික පියවර තබන්නට පෙර එහි සිටි ආකාරය
නීල් වසර කීපයක් තිස්සේ ම වීඩියෝ කැමරා හැසිරවීම පිළිබඳව පුහුණුවක් ලැබුවා
සඳ මත පා තැබූ දෙවැන්නා එඞ්වින් ඕල්ඞ්රින් ඇමරිකානු ධජයට ආචාර කළ අයුරු.
සඳ මත ලූනා මොඩියුලය අසල ඉන්නා නීල් ආම්ස්ට්‍රෝං පින්තුරය ගත්තේ ඕල්ඞ්රින්
සඳ බලා ඔවුන් ගෙන ගිය සැටර්න් - 5 රොකටය ගමන් ආරම්භ කළ අයුරු
සඳ බලා ගිය ඒ ඓතිහාසික ගමන ආරම්භ වූ මොහොත - ඉදිරියෙන් යන්නේ ආම්ස්ට්‍රෝංය.
සඳ බලා ගිය ඒ ඓතිහාසික ගමන සඳහා ෂටලයට නැගීමට යන අයුරු - ඉදිරියෙන් යන්නේ ආම්ස්ට්‍රෝංය.
සඳ බලා ගිය පිරිස - (1969) නීල් ආම්ස්ට්‍රෝං, මයිකල් කොලින්ස් හා එඞ්වින් ඕල්ඞ්රින්.
සඳ ගමනට පෙර 1969 ජූලි මාසේ ගත් ඇපලෝ 11 නියමු නීල් ආම්ස්ට්‍රෝංගේ නිල ඡායාරූපය.
මෑත කාලයේ දී ආම්ස්ට්‍රෝං ප‍්‍රථම ඇමෙරිකානු අජටකාශගාමියා ජෝන් ග්ලෙන් උපහාර උළෙලේ දී ප‍්‍රසිද්ධ කතාවක් කළ අයුරු.
සඳ බලා ගිය ඒ ඓතිහාසික ගමනේ 40 වැනි වස සැමරූ මොහොත ධවල මන්දිරයේ දී - ඕල්ඞ්රින්, කොලින්ස් හා නීල් ජනාධිපති ඔබාමා සමග.
නීල් ආම්ස්ට්‍රෝං ජනපති ඔබාමා සමග 40 වැනි සමරුවේදී.
නීල් ආම්ස්ට්‍රෝං වොෂිංටනයේ මැතිසබයේ දේශනයක් කරද්දී නැගූ ප‍්‍රශ්නයකට සිනාසුණු මොහොතක්.
සඳ ජය ගත් පසු ලොව වටා ගිය ආම්ස්ට්‍රෝං බි‍්‍රතාන්‍යයේ මහ රැජින හමු වූ අවස්ථාව. රැජින සමග ඉන්නේ ඇන්ඩෘ කුමරුයි.
2 Comments
අනර්ඝ ඡායාරූප පෙළක්...
ReplyDeleteඅනම් මනම් බොරු ටෝක්ස් නෑ. කෙලින්ම කිව්වා.. පට්ට පොස්ට් එකක්
ReplyDelete