HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

තුන්ගස්කා මහා පිපිරුමේ අබිරහස!

මීට වසර 104 කට ඉස්සර රුසියාවේ බටහිර සයිබීරියාවේ ටයිගා වගුරු වනාන්තරයට ඉහළ අහසේ දැවැන්ත පිපිරීමක් සිදු වුණා. මෙම පිපිරීම අදත් විශාල අබිරහසක්. මේ පිපිරීමෙන් නිකුත් වූ දිප්තිමත් ආලෝකය ඈත අහසට විහිදුණා. එයින් ඇති වූ කම්පන තරංගය පරමාණු බෝම්බ දහසක් පිපිරුවාට සමානයි. ඒ පිපිරුම නිසා වර්ග කිලෝමීටර 2000 කට වැඩි ප‍්‍රදේශයක පිහිටි රූස්ස ගස් 80,00,000 කට වැඩි ප‍්‍රමාණයක් පොළොවට සමතලා වුණා. උතුරු සයිබීරියාවේ ඉවෙන්කි ගෝති‍්‍රක ජනයා මේ පිපිරීමේ දී තම නිවෙස් හා සතුන් අහසට ඇදී ගිය හැටි විස්තර කර තියෙනවා. එතැන සිට කි.මි. 1,500 ක් ඈතින් පිහිටි ඉර්කුට්ස්හී ඇති කම්පන මානවල එය දක්වා ඇත්තේ දැවැන්ත භූමිකම්පාවක් ලෙසයි. මෙයින් ගිනි බෝලයක් මෙන් ඉහළ අහසට නැගි ආලෝකයෙන් එදා රෑ ලන්ඩන් වැසියන් පුවත්පත් පවා කියවූ බව සඳහන්.


මේ අපූරු අද්භූත සංසිද්ධිය හැඳින්වෙන්නේ ‘තුන්ගුස්කා සිදුවීම’ කියලයි. ඒ නම ඊට ලැබුණේ ඒ අසලින් ගලන තුන්ගුස්කා ගංගාව නිසයි.

හරියට ම මීට සියවසකට ඉස්සර සිදු වුණු මේ පිපිරීමට හේතුව තවමත් හරියට ම නිශ්චිතව කියන්න අමාරුයි. ඒත් විද්‍යාඥයන් නම් මත කීපයක් ම පළ කරලා තියෙනවා. ප‍්‍රධාන මතය තමා වසර මිලියන ගානක් තිස්සේ සක්වළ පුරා සැරිසැරූ යෝධ උල්කාවක් හදිසියේ ම 1908 ජූනි 30 වැනිදා උදේ 7:17 ට පොළොවට කඩා වැටුණු බව. මෙවැනි උල්කා කඩා වැටීම ගැන විමසිල්ලෙන් සිටින විද්‍යාඥයන් මේ ගැන තොරතුරු තවමත් සොයනවා. ඔවුන් කියන්නේ මෙවැනි උල්කා කඩා වැටීමක් වසර 200කට වරක් හා වසර 1000 කට වරක් අතර කාල පරාසයක් තුළ පෘථිවියට කඩා වැදීමේ ඉඩකඩක් තියෙන බවයි.


‘‘සිතා බලන්න, අහසේ පාවෙමින් ඇති ග‍්‍රහකයක්, විශාල පාෂාණ කුට්ටියක් තුන්ගුස්කා වැනි ජනශූන්‍ය ප‍්‍රදේශයකට නොව අද ලොව ජනාකීර්ණ ප‍්‍රදේශකට වැටුණොත් කෙතරම් විනාශයක් සිදු වෙයි ද?’’ මේ ගැන විස්තරයක් පළ කරමින් ලෝකප‍්‍රකට ‘නේචර්’ විද්‍යා සඟරාව පසුගිය සතියේ ප‍්‍රශ්න කර සිටියා.

ඒ මහා පිපිරුමට හේතුව ග‍්‍රහකයක් නම් එවැනි ග‍්‍රහක ලක්ෂ ගණනක් ඇති වළල්ලක් ම තියෙනවා, අඟහරු හා බෘහස්පතී ග‍්‍රහයන් අතර. ඒ  ඕනෑම එකක් යන ගමන් මගින් වෙනස් වී ඇවිත් පෘථිවියේ හැපෙන්න පුළුවන්. එහෙම නැතිව ඒ පිපිරීම ඇති වුණේ වල්ගාතරුවක් හෙවත් ධුමකේතුවක් පොළොවට කඩා වැටීම නිසා නම් තත්වය තවත් භයානකයි. ධුමකේතුවක් ග‍්‍රහකයකට වඩා ඉතා වැඩි වේගයකින් යන නිසා එවැන්නක් පොළොවේ හැපුණොත් වන විනාශය අති විශාලයි.


තුන්ගුස්කා සිද්ධියට හේතු වූයේ යැයි සැලකෙන උල්කාවේ කුඩා කැබැල්ලක්වත් මේ වසර 100 තිස්සේ ම කෙතරම් සෙව්වත් තවමත් හමුවී නැහැ.

‘‘කෑල්ලක් සොයා ගැනීම තමා වැදගත් ම දේ. එයින් අපට පෘථිවි ආසන්න වස්තූන්ගෙන් එල්ල විය හැකි අවදානම ගැන ඇති අපේ දැනුම වැඩි කර ගත හැකියි.’’ ඒ ගැන පර්යේෂණය කරන ඉතාලි පර්යේෂකයන් වන ලූකා ගැස්පෙරිනි, එන්රිකෝ බොනාටි හා ගුයිසෙප් ලොංගෝ කියනවා.

අලූත් ග‍්‍රහයකයක් හඳුනාගත් විට වසර ගණනාවක් තිස්සේ ආ මගත් එහි අනාගත ගමන් මගත් යෙදෙන කක්ෂය අඳින්න පුළුවන්. ඒත් ධූමකේතුවක ගමන්මග ඒ විදියට නිශ්චිතව අඳින්න බැහැ.



මිදී ඝන වූ න්‍යෂ්ටියක් හා දූවිලි වළාවක් සහිත වල්ගයක් ඇති මේ ධූම කේතු සංඛ්‍යාවෙන් ග‍්‍රහකවලට වඩා අඩුයි. විකේන්ද්‍රික එනම් කේන්ද්‍රයක් නැති කක්ෂයක ගමන් කරන නිසා කොයිවේලේ කොහෙන් මතු වේවි දැයි කිව නොහැකියි. සමහර ධුමකේතුවකට හිරු වටා යාමට වසර සිය ගණනක් ගත වෙනවා. ඒ නිසා තවමත් අප හඳුනා නොගත් ධුමකේතු තියෙනවා. ඒ නිසා නොදන්නා ධූමකේතුවකින් එවැනි අවදානමක් කොයි වේලේ එල්ල වේවි දැයි කියන්න බැහැ.

Post a Comment

3 Comments

  1. තවත් අභිරහසක් එකතු උනා. ස්තුතියි මල් කැකුලු!!

    ReplyDelete
  2. මේ සම්බන්ධ සවිස්තරාත්මක ලිපියක් මනහර 2008 නොවැම්බර් කලාපයේ පළ වී ඇත. බලන්න මේ කලාපයේ 67, 68 සහ 69 පිටු. ඔබේ වෙබ් අඩවිය ඉතාමත් අගනේ ය. මා කොමෙන්ටු නොදැමූවත් ඉතාමත් ආසාවෙන් ඔබේ මල් කැකුළු කියවමි. ස්තූතියි. කෞශල කපිල කුමාර

    ReplyDelete