HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වෙන අය වගේ නොවෙයි මගේ බිරිඳ - ජීවිතයේ හැටි, වසර 60ක් පැරණි සඟරාවකින්


ජීවිතය දෙස, අපේ ගතිගුණ, හැසිරීම් ආදිය ගැන උපහාසයෙන් බලන්න පුරුදු වුණාම ජීවිතය ගෙන යාම සැහැල්ලූ කර ගත හැකියි. මේ සමග පළ වෙන්නේ සැමියන් බිරිඳන් දකින හැටියි! කවදත් උපහාසයට කැමති ඇස්. පී. පෙරේරා මහතා මින් වසර 60කට පෙර ඔහු විසින් සංස්කරණය කළ ‘පාඨකයා’ සඟරාවේ පළ කළ මේ ලිපිය අදටත් කාලෝචිත එකකැයි අපට සිතේ. මෙය එකල ‘රීඩර්ස් ඩයිජෙස්ට්’ සඟරාවේ ඉංගිරිසියෙන් පළ වූ ලිපියක අනුවාදයකි. බලන්න එදයි අදයි අතර වෙනසක් තිබෙනවාද කියා.


වෙන අය වගේ නොවෙයි මගේ බිරිඳ

එදා සවස දුම්රිය මැදිරියක දී කෙරුණු කතාබහ බිරින්දෑවන් දෙසට යොමු වුණේය. කෙනෙක් ඔහු ජීවිතයේ පංගුකාරිය ගැන කතා කරමින් ඇගේ එකම වරද කිසිම දෙයක් තිබෙන විදියට තිබෙන්ට නොහැරීම යැයි කීවේය.

”හැම එකම තිබුණු තැනම තබන්ට ඕනෑ. මා හවස හාන්සි පුටුව ළඟට පහන් කනුව ඇද ගෙන පත‍්‍රය කියවනවා. උදේට ඈ පහන මුල්ලට තල්ලූ කරනවා. ‘පහන් කනුව තිබෙන්ට ඕනෑ තැන එතැන’ යැයි ඇය කියනවා. ‘ඇයි එතැන?’ කියා මා ඇසුවොත් ඈ කියන්නේ ‘ඒක අයිති එතැන’ට කියායි.

”මගේ බිරිඳගේ වැඬේ බඩු එහා මෙහා කිරීම”යයි තවකෙක් කීය. ”හැමදාම ඈ ගෙදර වෙන විධියකට අස්කරන්නට හදනවා. රෑට මට නින්දක් නෑ, බඩු එහා මෙහා තල්ලූ කරන ශබ්දය නිසා. එදා රෑ සැටිය පියානාව තිබෙන තැනටත් පියානාව මේසය තිබෙන තැනටත් මේසය සැටිය තිබෙන තැනටත් මට තල්ලූ කරන්න සිදු වුණා. ඒක මා තල්ලූ කර ඉවර වෙනවාත් සමගම ‘සැටිය අල්ලපු කාමරයට ඇද තබා රේඩියෝව සැටිය තිබුණු තැන තිබුවොත් හොඳ යයි’ ඈ කීවා.

මේවා කරලා හොඳටම තෙහෙට්ටුවෙලා මා සොල්දරය උඩට ගොහින් නිදන කාමරයට වැදිලා ඇඳේ පෙරළුණා. නමුත් පුදුමයකි! කෝ ඇඳ? ඒක ඈ එදා දවල් වෙන කාමරයකට තල්ලූ කරලා!”

වෙන අයගේ බිරිඳුන් මෙන් නොවන මගේ බිරිඳ මට හේතුවන්ත කමට ලැබුණු කෙනෙකි. ඈ මා සමග හෝටලයකට කෑමට ගියාම ලේන්සුව මේසය යට දමන්නේ නෑ, මට ඇහිඳින්නට. මා පත‍්‍රය කියවන්නට ඉස්සර ඒකෙන් කූපොන් කපන්නේ නෑ. ඇගේ යට ඇඳුම් හා මේස් කකුල් නාන කාමරයේ වේලෙන්නට එල්ලා තබන්නේ නෑ. උදේ ලියමනක් ලැබුණාම එය කඩා බලන්නේ නැතිව පිට කවරයේ අත් අකුරු ඇඳින ගන්නට උත්සහ කරමින් මේ ලියමන කාගෙන් දැයි පේන අසන්නේ නෑ.

ඈ සමග ගමන් යන්නට මා සතුටු ඈ නියම වේලාවට කලින් සූදානම්ව සිටින නිසයි. ඈ කාරයට නැඟුණාට පසුව බැරිවුණ අත්බෑගය ගෙනෙන්ට ආපසු යන්නේ නෑ. සාප්පුවකට ගියම ඈට වුවමනා දේ දන්නවා. එය ලබාගෙන එවේලේම මුදල් ගෙවනවා. ණයට බඩු ගැනීමක් ඈ පුරුදු කරගෙන නෑ. එදා මා ඈට ඇඳුමකට රෙදි ගැනීමට රු. 50ක් දුන්නා. රු. 45.50කට රෙදි ගෙන ඉතිරි රු. 4.50 මට ආපසු දුන්නා!

මගේ භාර්යාවගේ තවත් හොඳක් නම් යම් තැනකදී හමුවන්ට නියමකර ගත්විට නියම මොහොතේ දී ඈ එතැනට පැමිණීමයි. පුරුෂයකු නම් තම බිරිඳ හමුවෙන්ට කතා කරගත් තැනට පැමිණීම පමා කරන්නේ කලාතුරකින්ය. එහෙත් ඔහුගේ බිරිඳ කිසි චකිතයක් නැතිව පැයක් දෙකක් ප‍්‍රමාද වෙයි. ඊටත් වඩා දරන්නට බැරි කේන්තියක් එන්නේ ‘අනේ හුඟක් වෙලා බලා සිටියාදැයි” අසන විටය.

සමහර දිනක පින්තූරයක් එල්ලීමට බිත්තියේ ඇණයක් ගසනු පිණිස පුරුෂයා මේසයක් මත පුටුවක් තබා එය උඩට වී වෙවුල වෙවුලා සිට ගනී. භාර්යාව ඇතට වී ”තව ටිකක් දකුණට, තව ටිකක්, ටිකක් උස්සන්න, වැඩියි, වැඩියි, අර ඉස්සෙල්ලා තිබුණු තැනටම ගන්න” යනාදී ගුරුහරුකම් දෙයි.

වාසනාවකට මෙන් මගේ බිරිඳ එවැනි කෙනෙක් නොවේ. ඈ හැඳි මිට හූරන්ට මගේ දැළි පිහියා තලය ගන්නේ නැත. ඈ මගේ සාක්කුවේ තිබෙන ලියකියවිලිත් සමග කබාය කිළුටු කූඩයට දමන්නේ නැත. ඈ මහ රෑ මා අවදි කරවා ‘ශබ්දයක් ඇහෙනවා, කුස්සිය පැත්තෙන්, හොරෙක් ඇවිදිල්ලා වගෙයි’ කියා නිකරුණේ ගෙයි හැම තැන මා ඇවිද්ද්වන්නේ නැත.

කලින් නොදන්වා හදිසියෙන් ම මිතුරකු හෝ මිතුරන් හතර පස් දෙනෙකු ගෙදර කැඳවා ගෙන ආ විට කොඳුරන්නේ නැතිව පස්ගෝරසයෙන් කෑම පිළියෙල කරනවාය. ප‍්‍රමාද වී ගෙදර ආ විට ඈ මුහුණ බුකවාගෙන සිටින්නේ නැත. කොහොම නමුත් කෑම සීතල වන්නට දෙන්නේ නැත. ගෙදර අත් උදවුවට කෙනෙක් නැති නමුත් ඈ කිසිම වැඩක් මට කරන්ට නොදී සියලූ වැඩ කර ගන්නවාය. මිතුරන් සමග මා අල්ලාප සල්ලාප දොඩමින් සිටියදී ඈ පිඟන් කෝප්ප සියල්ල සෝදා අපට කෝපි කෝප්පයක් බැගින් ගෙනත් දෙනවාය.

මෙවැනි භාර්යාවක් ලෝකයේ නැතැයි ඔබ කියනවා ඇති. මමත් ඒ කියමන අනුමත කරමි. ඒ මා අවිවාහකයකු නිසාය.

Post a Comment

2 Comments

  1. හප්පේ මටනම් එපා භාර්යාවෝ :/

    ReplyDelete
  2. මට තේරුණේ නෑනේ ?...
    ඇයි ඔක්කෝම හොඳට කියලා,..... අන්තිමට අවිවාහකයෙක් කිව්වේ ?!...

    ReplyDelete