HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විශ්වයේ අබිරහස සොයා ගන්නට පොටක් පෑදෙයි. ‘සර්න්’(CERN) විද්‍යාඥයෝ ලොවට හෙළි කරති!

පසුගිය සතියේ භෞතික විද්‍යාඥයන් පිරිසක් නව සොයා ගැනීමක් ගැන ලෝකයට හඬගා කී අතර ඒ පුවත ඇසූ ලොව පුරා භෞතික විද්‍යාඥයෝ සතුටින් ඉපිල ගියහ. ඔවුහූ එය මේ සියවසේ විදුලිබලය, ඉලෙක්ට්‍රෝනය ආදිය සොයා ගැනීමෙන් පසු මිනිසා ලත් ලොකුම භෞතික විද්‍යාත්මක ජයග‍්‍රහණය ලෙස හැඳින්වූහ. මේ අපූරු සොයා ගැනීම කුමක්ද ? ඒ පරමාණුවක් තුළ ස්ථිර වශයෙන් ම බොසොන් අංශු (විශේෂයෙන් හිග්ස් බොසොන් අංශු) ඇති බව තහවුරු කර ගැනීමය.

මේ විශේෂ බෝසෝන් අංශුව විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘දේව අංශුව’ (God particle) කියාය. මෙය සොයා ගැනීම නවයුගයකට දොර හරින්නකි. විශ්වයේ උපත පිළිබඳ අබිරහස ඇතුළු මෙතෙක් මිනිසාට ගැටලූවක් ව පැවති බොහෝ දෑ විසඳා ගැනීමට මෙය උපකාර කර ගත හැකිය. විකිරණශීලී නොවන ද්‍රව්‍ය හෙවත් අඳුරු පදාර්ථ (dark matter) ගැන තේරුම් ගන්නට යොදා ගත හැකිය.

 
මහාචාර්ය පීටර් හිග්ස් ඔහුගේ කල්පිතය ඔස්සේ කළ නව සොයා ගැනීම ගැන ප‍්‍රකාශ කරද්දී සිය නෙතට නැඟුණු සතුටු කඳුළු පිසදාගත් හැඟුම්බර මොහොත.

මේ නව සොයා ගැනීම ගැන ලොවට හෙළි කළේ ‘සර්න්’ (CERN) යනුවෙන් හැඳින්වෙන යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණායතනයේ භෞතික විද්‍යාඥයන් පිරිසකි. මේ සඳහා විශේෂ උත්සවයක් ජූලි 4 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්විණ. මේ සඳහා ලොව පුරා වෙසෙන කීර්තිමත් භෞතික විද්‍යාඥයන් පිරිසකට ඇරයුම් කෙරිණ. ඒ අතර මීට වසර 40කට පෙර පරමාණුව තුළ ස්කන්ධය ඇති කරන, එය හසුරුවන, එහි බන්ධනයට උපකාර වන, විශේෂ අංශුවක් තිබිය හැකියැයි සිය පරිකල්පනය ලොවට හෙළි කළ බි‍්‍රතාන්‍ය භෞතික විද්‍යාඥ මහාචාර්ය පීටර් හිග්ස්ට ද ඇරයුම් කර තිබුණි.

මෙම නව සොයා ගැනීමත් සමග ආලෝකයේ වේගයෙන් යාමේ සිහිනය ද සැබෑ වනු ඇත. පරමාණුව තුළ ඇති හිග්ස් බොසොන්වල බන්ධනය ඉවත් කිරීමට හැකියාවක් ඇති කර ගත් පසු ඕනෑම බර වස්තුවක් අභ්‍යවකාශයට යැවිය හැකිය.

සර්න්හී විද්‍යාඥයකු වූ ඇල්බට් ඩි රූක් පවසන්නේ විදුලිය සොයා ගත් වේලේ ඉන් අනාගතයේ දී ලැබිය ප‍්‍රයෝජන කෙබඳුදැයි කීමට මිනිසා අපොහොසත් වූවාක් මෙන් මේ අවස්ථාවේදීත් මේ නව සොයා ගැනීමෙන් ඉදිරියෙහි දී ලෝකයට අත් කර ගත හැකි ප‍්‍රතිලාභ කීම අසීරු බවය.

”මේ හිග්ස් බොසොන්වල සත්‍ය වශයෙන් ම ඇති වැදගත්කම වන්නේ විශ්වයේ ආරම්භයේ දී ඇති වූ ‘බිග්බෑන්’ (මහා පිපිරුම) සිදු වී පළමු වන තත්පරයකින් මිලියන පංගුවේ දී පැවති තත්වය අපට එයින් පැහැදිලි කර ගත හැකි වීමයි.” ඞී රූක් පැවසීය. ”අපට මෙය කිසියම් දෙයකට භාවිත කළ හැකිද? යන්නට මට දිය හැකි පිළිතුර මගේ කල්පනා ශක්තිය ඊට ප‍්‍රමාණවත් මදි බවයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

භෞතික විද්‍යාඥ රේ වෝල්කාස් පැවසූවේ, ‘හැම දෙනෙක් ම’ වාගේ භෞතික විද්‍යාවේ ඇති ඊනියා සම්මත මොඩලය වෙනුවට විශ්වයේ ඇති අංශූන් බැඳ තබන්නේ කෙසේ ද යන්න පැහැදිලි කළ හැකි න්‍යායක් බලාපොරොත්තු වී සිටි බවයි, හිග්ස් බොසොන්වලින් ඒ අතින් යම් වෙනසක් ඇති බව තහවුරු වෙනවා.” යනුවෙනි.

”ඒක එහෙම නම් විකිරණශීලී නොවන පදාර්ථ එනම් ‘අඳුරු පදාර්ථ’ සඳහා වෙන්වුණු නව භෞතික විද්‍යාවක් ඇති වෙනවා.” ඔහු එසේ කීවේ විශ්වය තැනී ඇතැයි උපකල්පනය කර ඇති මෙම අදෘශ්‍ය පදාර්ථ විශේෂය ගැන සඳහන් කරමිනි.

”මේ හිග්ස් අංශුව පරමාණු තනන සාමාන්‍ය පදාර්ථ හා අඳුරු පදාර්ථ අතර පාලමක් ලෙස කි‍්‍රයා කරනවා. අපි දන්නවා එය විශ්වය නිර්මාණය වීමට අවශ්‍ය වූ ඉතා වැදගත් සංඝටකයක් බව.”

”මෙය ඇත්තෙන්ම, සාමාන්‍ය පදාර්ථ පමණක් නොව විශ්වය තැනී ඇති සියලූ පදාර්ථ තේරුම් ගැනීමට හොඳ මඟක් වෙනවා නොඅනුමානයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

‘දේව අංශුව’ සෙවිල්ල අවසන්. අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ සිදු කළ සෙවිල්ල අවසන්. මේ බව පසුගිය දා විද්‍යාඥයන් උත්සවාකාරයෙන් හෙළිදරවු කළා. ‘දේව අංශුව’ හෙවත් හිග්ස් බොසොන්, එනම්, විශ්වය එකට බැඳ තබන, එයට ස්කන්ධයක් සපයන ද්‍රව්‍යය, සැබැවින් ම පවතින බව තහවුරු කළා. මේ බව අන්තර්ජාලය හරහා දැකගත් ලොව පුරා භෞතික විද්‍යාඥයෝ ඒ ගැන සතුට පළ කළහ.

 
බොසොන් පරීක්ෂණය සඳහා අධි-බලශක්තියැති ෆෝටෝන දෙකක් ඝට්ටනය කෙරිණ. ඒවායේ ශක්තිය (රතු රේඛාවලින්) මනිනු ලබන්නේ විද්යුත් චුම්බක කැලරිමානයකිනි. කහ රේඛාවලින් දැක්වෙන්නේ ඝට්ටනයේ දී අනෙක් අංශු නිකුත් වන ආකාරයයි. ඒවාද මනිනු ලබයි. නිල්පැහැයෙන් දක්වෙන්නේ අංශු යවන මාර්ගයයි.

 
උත්සවයට එක් වූ සීඑම්එස් පරීක්ෂණ කණ්ඩායමේ ප‍්‍රකාශක ජෝ ඉන්කැන්ඩෙලා මේ නව සොයා ගැනීම ගැන ප‍්‍රකාශ කරමින්...

 
භෞතික විද්‍යාඥයන් ‘දේව’ අංශුව ගැන සොයන්නට යොදා ගත්තේ මේ අංශු ත්වරකයයි.

 
මහාචාර්ය පීටර් හිග්ස් 1964 දී මේ සංකල්පය ඉදිරිපත් කරන විට ඔහුගේ වයස අවුරුදු 35ක්.

 
බි‍්‍රතාන්‍ය භෞතික විද්‍යාඥ පීටර් හිග්ස් (දකුණේ) 83 වියේ දී ඔහුගේ සිහිනය සැබෑ වූ දා සර්න් අධ්‍යක්ෂ ජනරාල් රොෆ් ඩයටර් හියුවර් සමග.

 
සිය සිහිනය සැබෑ වූ දවසේ භෞතික විද්‍යාඥ පීටර් හිග්ස් එම උත්සවයට පැමිණි මොහොත.

 
මේ පර්යේෂණය සඳහා යොදා ගත් උපකරණය මීටර් 175ක් පොළොව යට ඉදි කළ එකකි.

 
ස්විස්-ප‍්‍රංශ දේශ සීමා අතර පොළොව යට ඉදිකර ඇති මේ අංශු ත්වරකය පිහිටි ප‍්‍රදේශය අහසට පෙනෙන හැටි.

මෙම පර්යේෂණය පැවැත් වූයේ ස්විට්සර්ලන්තයේ පිහිටුවා ඇති ‘ලාජ් හැඞ්රන් කොලයිඩර්’ (Large Hadron Collider) නම් ලොව ලොකුම අංශු ත්වරකය ආධාර කර ගෙනය. මේ ත්වරකය පිහිටුවා ඇත්තේ මීටර 175(අඩි 574)ක් පොළොව යට කි.මී. 27(සැ.17)ක් දිග උමඟක් තුළ ය.

මේ පර්යේෂණය සඳහා සීඑම්එස් හා ඇට්ලස් යනුවෙන් කණ්ඩායම් දෙකක් වෙන වෙනම පරීක්ෂණ පැවැත් වූහ. ඒ දෙපිරිසට ම සමාන ප‍්‍රතිඵල අත් කර ගත හැකි විය.

”මෙය විශ්වයේ අබිරහස් එළිදරවු කර ගැනීමට මඟ පාදන සොයා ගැනීමක්” යැයි සර්න්හි අධ්‍යක්ෂ ජනරාල් රොල්ෆ් ඩයෙටර් හියුවර් එම උත්සවයේ දී කීවේ, ‘සොබාදහම තේරුම් ගැනීමට මඟ පාදන තීරණාත්මක සන්ධිස්ථානයකට අප පැමිණ ඇති බව’ සඳහන් කරමිනි.

එංගලන්තයේ නිව්කාසල්හී උපන් මහාචාර්ය පීටර් හිග්ස්ගේ සිතට මේ සංකල්පය ආවේ 1964 දී ස්කොට්ලන්ත කඳුකරයේ ඇවිදිමින් සිටියදීයි. ”මං කවදාවත් හිතුවෙ නෑ මගේ ජීවිත කාලය තුළ මේ දෙය සිදු වෙයි කියලා.” මහාචාර්ය හිග්ස් මේ පිළිබඳව දැන ගත් මොහොතේ කීවේය.

බි‍්‍රතාන්‍යයේ ජීවත්වන තවත් ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් හෝකින්ස් හිග්ස් කීවේ, ”මේක ඉතා වැදගත් ප‍්‍රතිඵලයක්. පීටර් හිග්ස්ට මේ සඳහා නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතුයි” කියායි. හෝකින්ස් අද මෙහෙම කීවාට එදා හිග්ස් බොසොන් කිසිදාක සොයා නොගන්නා දෙයක් ලෙස හඳුන්වමින් ඩොලර් 100ක ඔට්ටුවක් පවා ඇල්ලූ අයෙක්.

හෝකින්ස් විතරක් නොවෙයි, හිග්ස්වත් ඔහුගේ සිහිනය ජීවිත කාලය තුළ සැබෑ වේවි කියා කවදාවත් සිතුවේ නැත. ඒත් දැන් ඒ සිහිනය සැබෑ වී අවසන්. මේ මොහොතේ ලොව වෙසෙන වාසනාවන්තම හා පී‍්‍රතිමත් ම මිනිසා ඔහුය.

ඉලෙක්ට්‍රෝනය අපේ ලෝකය වෙනස් කළා සේ ඔහුගේ සැබෑ වූ සිහිනය, බොසොනයත් අපේ අනාගත ලෝකය විස්මිත ලෙස වෙනස් කරාවි.

 
පොළොව යට උමෙඟහි සවි කර ඇති ලාජ් හැඞ්රන් කොලයිඩර් උපකරණයෙන් කොටසක්

 
භෞතික විද්‍යාඥ පීටර් හිග්ස් ඇට්ලස් පරීක්ෂණය කළ විද්‍යාඥ කණ්ඩායමේ ප‍්‍රකාශිකා ෆැබියෝලා ජියොනොට්ටි සමග

 
උත්සවයට එක් වූ විද්‍යාඥ පිරිසෙන් කොටසක්, මේ සොයා ගැනීම පිළිබඳ ඓතිහාසික ප‍්‍රකාශය කළ මොහොතේ සතුට පළ කළ අයුරු.

Post a Comment

6 Comments

  1. කවදා හෝ සොයගනිවී සියලු දේ නිමවී ඇත්තේ ශක්ති ප්‍රබව වලින් බව.අපේ ඒ දවස එනකන් බලන් ඉන්නවා....

    ReplyDelete
  2. හිතා ගන්න බැරි තරම් විද්යාත්ම පදනම බිද වැටුණු වගේම අලුත් පදානම් බිහිවුන පරීක්ෂණයක් මේක.හොද ලිපියක් හිතුවේ නැ මේ ගැන මේ තරමට‍ උවමනාවක් තියන කෙනෙක් හමු වෙයි කියලා...සුබ පැතුම්...!!!

    ReplyDelete
  3. මෙ මුලු විශ්වයම පලනය වන විශ්මිත ඥාන බල ශක්තියක් තියෙනවා. පෙනෙන නොපෙනෙන සැම සියලු දෙයකම මෙ ශාක්තිය ගැබ්ව තියෙනවා. මනුශයා සොයා ගත් පසු මෙ ජිවය බිහි වුයෙ ඇයි මෙ පැවෙත්මෙ සියලු රහස් සොයාගනි . මෙ සොයා ගැනිම් ගැන ඉදිරියටත් පලකරන්න.

    ReplyDelete
  4. නමුත් සහෝදරයා මේ වගේ සොයා ගැනීමක් ගැන ලංකාවේ එකම පුවතකව්ත් ගියේ නැ. ලෝකෙට සාපේක්ෂව අපේ කොච්චර පස්සෙන්ද ඉන්නේ කියල තේරෙනවා.

    ReplyDelete