HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ ‘මොනා ලිසා’ගේ ඇටසැකිල්ලද? ලෝක ප‍්‍රකට චිත‍්‍රයේ සැඟවුණු රහස් සොයා මෙහෙයුමක්!

ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ කන්‍යාරාමයක කළ කැණීම්වලින් මතු වූ ඇටසැකිල්ල ඩා වින්චිට මොනා ලිසා අඳින්නට ආභාසය සැපයූ සේද වෙළෙන්දාගේ බිරියගේ ද? මේ හෙළිදරවුව මතු වුණේ එම බිමෙන්ම වසරකට පසු ලොඩ ගත් හිස් කබලක් නිසයි. මේ කටයුත්තේ නියැළි පුරාවිද්‍යා විශ්ලේෂක කණ්ඩායම විශ්වාස කරන්නේ එය ඩා වින්චිගේ රූපය අඳින්නට ආභාසය ලබා ගත් ලිසා ගෙරාර්ඩිනි (Lisa Gherardini) ගේ කියලයි.

ඒ පුරාවිද්‍යාඥයන් ප‍්‍රබලව විශ්වාස කරනවා, ඔවුන් මේ ගොඩගෙන ඇත්තේ ඒ ලෝක ප‍්‍රකට සිත්තම, මොනා ලිසාගේ, පසුබිම් රහස හෙළි කරන සාක්ෂියක් කියලා.

 
පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇතැයි කියන ඩා වින්චි මොනා ලිසාට ගුරු කර ගත් කාන්තාවගේ ඇටසැකිල්ල හමු වූ තැන.

මේ ඇටසැකිල්ල හමු වී ඇත්තේ ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ කන්‍යාරාමයක කැණීම්වලින්. ඔවුන් විශ්වාස කරන්නේ එය ලිසා ගෙරාර්ඩිනිගේ කියලයි. ඇය තමයි, ලියනාඩෝ ඩා වින්චිගේ ඒ ශ්‍රේෂ්ඨ සිත්තමට නිරූපිකාව ලෙස පෙනී හිටියාය කියන්නේ.

ලිසා ගෙරාර්ඩිනි කියන්නේ ෆ්රැන්සිස්කෝ ඩෙල් ජියොකොන්ඩෝ නම් සේද වෙළෙන්දාගේ භාර්යාවගේ නමයි. ඉතාලියේ දී මොනා ලිසා හැඳින්වෙන්නේ ලා ජියොකොන්ඩා කියලයි.

 
ඒ ඇටසැකිල්ල හමු වූ ෆලොරන්ස්හී සාන්ත උර්සුලා කන්‍යාරාමයේ කැණීම්වල යෙදී සිටින විද්‍යාඥවරියක්.

 
ෆ්ලොරන්සයේ ධනවත් සේද වෙළෙන්දකු වූ ෆ්රැන්සිස්කෝ ඩෙල් ජියකොන්ඩෝගේ බිරිය වූ ලිසා ගෙරාර්ඩිනි මිහිදන් කර ඇති කන්‍යාරාම භූමිය තුළ කැණීම් කෙරෙන අයුරු.

මොනා ලිසා සිත්තමෙන් නිරූපණය කර ඇත්තේ ලිසා ඩෙල් ජියොකොන්ඩෝ (Lisa del Giocondo) බවට නවීන ඉතිහාසඥයන් වැඩි දෙනකු එකඟ වී තියෙනවා. ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇය කන්‍යා සොහොයුරියක් වුණා. ඇය ස්වර්ගස්ථ වූයේ 63 හැවිරිදිව සිටියදීයි. ඒ 1542 ජූලි 15 වැනිදා, මීට අවුරුදු 470කට පෙරයි.

දැනට අත්හැර දමා ඇති සාන්ත උර්සුලා කන්‍යාරාමය පුරාවිදු බිමක් වී කැණීම් ආරම්භ කළේ පසුගිය වසරේදියි.
මුලින්ම ඔවුන්ට සිදුවුණේ ගනකම ඇති කොන්ක‍්‍රීට් තට්ටුවක් හාරන්නයි. එය කාලය ගත වන ඉතා වෙහෙසකර කටයුත්තක් වුණා. එසේ ම මේ කන්‍යාරාම භූමිය හමුදා බැරැක්කවලට හැරවීමට පෙර කැණීම් කර අවසන් කරන්න පුරාවිද්‍යාඥ පිරිසට සිදු වුණා.

ඊළඟ පියවරේදී ඔවුන් වාසනාවන්ත වුණා. ඔවුන්ට හමු වුණා පොළොව යට කුඩා කුටියක්. එය ලිසා මිහිදන් කළ තැන විය හැකියැයි ඔවුන් අනුමාන කළා. එහි තිබී කාන්තාවකගේ යැයි සිතිය හැකි හිස් කබලක්ද හමු වුණා.
මේ හිස් කබල හමුවුණේ කන්‍යාරාමයේ බිමින් අඩි පහක් පමණ පොළොව යටින්. ඒ සමග ඉළ ඇට හා කොඳු ඇට කැබලි කීපයක්ද හමු වුණා.

සැලසුම් කළ පරිදි කැණීම් දිගටම කරගෙන යන්න ඔවුන්ට බැරි වුණා. ඒ අරමුදල් නොමැතිකමින්. අරමුදල් ලැබුණ නිසා පසුගිය මාසයේ යළිත් කැණීම් ආරම්භ කළා.

ගිය සතියේ ඔවුන්ට හමු වුණා, මිනිස් ඇට සැකිල්ලක්.

 
පුරාවිද්‍යාඥයන් මතු කරගෙන තියෙනව, ලිසා ගෙරාර්ඩිනිගේ යැයි සිතිය හැකි හිස් කබලක් හා අස්ථි කැබලි කීපයක් මේ කැණීම්වලින්.

 
කන්‍යාරාමයේ බිමෙහි අඩි පහක් පමණ යටින් මිනිස් ඉළ ඇට හා කොඳු ඇට කබලි කීපයක්.

මේ ඇට කැබලි පරීක්ෂාවට ලක් කරාවි, පසුගිය වසරේ හමු වූ මිනිස් හිස් කබලට සම්බන්ධ දැයි බලන්න.
විද්‍යාඥයන් ඊළඟට ඒ ඇට කැබලිවල ඞීඑන්ඒ ඒ නිරූපිකාවගේ දරුවන්ගේ ඇට කැබලිවල ඞීඑන්ඒ සමග සසඳා බලාවි. ඒ දරුවන් මිහිදන් කර ඇත්තේ ද ඒ අසලමයි.

ඒ සැසඳීමෙන් මේ ඇටසැකිල්ල හා හිස් කබල ඒ නිරූපිකාවගේ කියා නිසැකව දැනගත් පසු වෝහාරක චිත‍්‍රශිල්පීන් විසින් ඒ හිස් කබල ඔස්සේ ඇගේ මුහුණ ප‍්‍රතිනිර්මාණය කරනු ඇති. එවිට ඇගේ රුව මින් වසර 500කට පෙර ඩා වින්චි ඇඳි රුව සමග සසඳා බලන්නට මග පෑදේවි. මොනා ලිසාගේ ඒ ගුප්ත සිනහවේ සැගවුණු රහස හෙළිවේවි.

මෙම කැණීම් බාරව සිටින පුරාවිද්‍යාඥ සිල්වානෝ වින්සෙටි මේ පිළිබඳව දක්වන්නේ මෙහෙම අදහසක්: ”අපි තාම හරියට දන්නෙ නෑ මේ ඇට කැබලි එකම ඇට සැකිල්ලක ද නැතිනම් කීපයකදි කියලවත්.

”නමුත් මේකෙන් තහවුරු වෙනවා, අපේ කල්පිතය, සාන්ත උර්සුලා කන්‍යාරාමයේ බිමෙහි තවත් පුරාණ මිනිස් ඇට කැබලි ඇති බව. ඒ වගේ ම ඒවා අතර ලිසා ගෙරාර්ඩිනිගේ ඇට කැබලි තිබිය හැකි බව.” ඔහු තවදුරටත් කියනවා.

මේ සොයා ගැනීමේදී ඔවුන් මුලින් ම කළේ පැරණි සිතියම් හා වාර්තා පිරික්සීමයි. ඊළඟට බිම විනිවිද දැකිය හැකි රේඩාර් භාවිතයට ගත්තා. කැණීම් ආරම්භ කළේ කන්‍යාරාම ශාලාවේ බිම දමා තිබුණු අඩියක් විතර මහත කොන්කී‍්‍රට් එක ඉවත් කිරීමෙන්. ඊළඟට සෙන්ටි මීටර් 90 ගනකමට එලා තිබුණු පැරණි ගඩොල් තට්ටුව ඉවත් කළා.

පළමු සොයා ගැනීම ගැන අදහස් දක්වන මහාචාර්ය වින්සෙටි කියන්නේ එය ඉතා විශිෂ්ට එකක් බවයි. එසේ ම සොයා ගන්නා හැම දෙයක් ම ඔවුන් ළඟ තිබුණු වාර්තා හා හොඳින් සැසඳුණ බවයි.

 
ලොව ම විස්මයට පත් කර ඇති ලොව වටිනාම චිත‍්‍රය, මොනා ලිසා

”අපට හමු වුණු බිම්ගත කුටිය ගැන 1495 සිට එන දේවස්ථාන වාර්තාවල සඳහන් වෙනවා. එහි ඇතුළු වීමට ගරාදි වැටක් හා පඩිපෙළක් තිබුණා.

”අපට මේ වාර්තාවලින් දැන ගන්න ලැබුණා, 1625 දී තවත් කුටියක් සෑදූ බව. අපට ඒකත් හමු වුණා.”
මේ කැණීම් කරනු බලන්නට නටාලියා ගුසියර්ඩිනි ස්ට්‍රෝසිත් පැමිණ සිටියා. ඇය ලිසා ගෙරාර්ඩිනිගේ ඥාතිවරියක්. ඒ වගේ ම ඇය චාල්ස් කුමරුගේ හා හිටපු බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් යන අයගේ සමීපම මිතුරියක්.

හිස් කබල ගොඩ ගත් පසු ඇය කීවේ, ”ඒක හරිම හැඟීම්බර මොහොතක්. මං හිතුවේ නෑ මං එච්චරම සංවේදි වෙයි කියලා. මට විශ්වාසයි, මේක ලිසා ගෙරාර්ඩිනිගේ සොහොන බවට.”

 
පුරාවිද්‍යාඥයන් කැණීම් කරන ෆ්ලොරන්සයේ සාන්ත උර්සුලා කන්‍යාරාමයේ මැද මිදුල.

මහාචාර්ය වින්සෙටි ඔහුගේ කටයුතුවලට මෙවැනි තාක්ෂණයක් පාවිච්චි කළ පළමු වතාව මෙය නෙවෙයි. ගිය අවුරුද්දේ මේ ක‍්‍රමයම භාවිත කළා, පුනරුදයේ චිත‍්‍රශිල්පියකු වන කැරවැජියෝගේ සොහොන කැණීමේදිත්.

පසුගිය වසරේ අති ප‍්‍රබල විශාලන කාචයකින් මොනා ලිසා සිතුවම පරීක්ෂා කළ මහාචාර්ය වින්සෙටී කීවා, ඇගේ ඇස්වලින් සැඟවුණු පණිවිඩයක් කියැවෙන බව.

මොනා ලිසා කියන්නේ තෙල් සායම් චිත‍්‍රයක්. එහි අයිතිය ඇත්තේ ප‍්‍රංශ රජයටයි. ඒත් මේ සිත්තම ලොව පුරා ප‍්‍රසිද්ධ එකක්. මේ තරම් ප‍්‍රසිද්ධ චිත‍්‍රයක් ලෝකයේ තවත් නැහැ.

ඩා වින්චි මේ චිත‍්‍රය අඳින්න පටන් ගත්තේ 1503 දී හෝ 1504 දී පමණ. එහි වැඩ නිම කළේ 1519 දී කියලයි කියන්නෙ. ඒ ඔහු මිය යන්න කෙටි කලකට පෙර. ඊට පස්සේ ඔහු ප‍්‍රංශයේ පදිංචියට ගියා.




Post a Comment

2 Comments