HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මරණයේ දොර අසලට ම ආ සත්තු - සත්ව ලෝකයෙන්

අප දන්නා පරිදි 20 වන සියවස තුළ දී කිසි ම ප‍්‍රිමාටේසයකු හෙවත් අග්රේශයකු මේ මිහිපිටින් තුරන් වී වඳ වී ගියේ නැත. ඒක ඇත්තට ම අපූරු වාර්තාවක්. හේතුව අද ලෝකයේ පවතින තත්වය අනුව දිනකට සත්ත්ව විශේෂ 100 ක් මෙලොවින් තුරන් වී යන බව සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන නිසයි. මේ සත්ත්ව ගෝත‍්‍ර අතරින් මිනිසා ඇතුළත් වන පි‍්‍රමාටේසයන්ට ද අනාගතයේ දී මෙවැනි අවාසනාවන්ත කාලයක් උදාවනු නොඅනුමානයි. දිනෙන් දින වැඩි වන මිනිස් ප‍්‍රජාවගේ වර්ධනය හමුවේ අපේ කිට්ටු ම ඥාතීන් ලෙස සැලකිය හැකි වඳුරන් මෙන් ම නැගෙනහිර අප‍්‍රිකාවේ මීදුමින් වැසුණු ඝන වනාන්තරවල ජීවත්වන ගෝරිල්ලන්ගේ සිට සුමාත‍්‍රාවේ බුද්ධිමතා වන ඔරන් ඌටන් ලා දක්වා වානරයන් ඔවුන්ගේ නිජබිම් අහිමි වීමේ හේතුවෙන් වඳ වී යාමේ ආසන්නයට ම, මරණයේ දොරටුව අසලට ම, පැමිණ සිටිනවා.


‘අන්තර්ජාතික සත්ත්ව සංරක්ෂණ සංගමය’ (Conservation International) නමින් වොෂින්ටනය මූලස්ථානය කර ගනිමින් බිහි වූ පෞද්ගලික කණ්ඩායම සහ සොබාදහම සුරැකීමේ අන්තර්ජාතික සංගමය - (International Union for Conservation of Nature - ICUN) ලෝක සංරක්ෂ සංගමය (The World Conservation Union) යන සංගම් දෙක එක්ව පළ කරන රතු දත්ත වාර්තාවට සම්බන්ධ ප‍්‍රිමාටේසයන් වෙනුවෙන් පත් කළ කොමිසම ඉදිරිපත් කළ ලැයිස්තුවට පි‍්‍රමාටේසයන් 25 දෙනකු ඇතුළත් වුණා. මීට අමතරව වඳ වී යාමේ තර්ජනයට අලූතින් ම එක් වූ සතුන් ලෙස සත්ත්ව විශේෂ 21 ක් නම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංගමය පසුගියදා පියවර ගත්තා. මෙම සතුන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන ලද්දේ ‘පර්යටන වන සත්ත්ව විශේෂ සංරක්ෂණය’(Convention on the Conservation of Migratory Species of Wild Animals) යන තේමාව යටතේ පැවැත්වූ අන්තර්ජාතික සමුළුවකදියි. මෙම සත්ත්ව විශේෂවලට චීටාවන්, ඩොල්පින් විශේෂ තුනක් සහ ඊජිප්තු ගිජුලිහිණියා ද අයත් වන අතර ඊට අමතර ව තවත් පක්ෂි විශේෂ තුනක් හා මුහුදු ඌරන් ද එම ලැයිස්තුවට ඇතුළත් කර තියෙනවා. මෙම සතුන් සියල්ල වර්ගීකරණය කර ඇත්තේ පළමු කාණ්ඩය යටතේයි.


දෙවැනි කාණ්ඩයට මෝරුන් විශේෂ කිහිපයක් අයත් වෙනවා. මෙම මෝරුන් අතරින් මධ්‍යධරණී මුහුද නිවහන කර ගනිමින් ජීවත් වන මාකෝ මෝරුන් කැපී පෙනෙනවා. සීමාව ඉක්මවා සිදු කෙරෙන ධීවර කටයුතු හේතුවෙන් මාකෝ මෝරුන්ගේ ගහණය සියයට 96 කින් පහළ වැටී තියෙනවා. සාගර යාත‍්‍රා, තෙල් අට්ටාල හා වෙනත් හේතු සාධක නිසා සාගරයේ සිදුවන්නා වූ ශබ්ද දුෂණය මත්ස්‍ය සම්පතේ විනාශයට හේතු වන බව ‘පර්යටන වන සත්ත්ව විශේෂ සංරක්ෂණය’ යන තේමාව යටතේ පැවැත්වූ මෙම සමුළුවේ දී පෙන්වා දෙනු ලැබුවා.


මුහුද ගවේෂණ කටයුතු මෙන් ම නව මාදිලියේ හමුදා සෝනාර් උපකරණවලින් ද සාගරය දුෂණය වන බව ඔවුන් විසින් පෙන්වා දෙනු ලැබුවා. ශබ්ද තරංග භාවිත කරන තල්මසුන් හා ඩොල්ෆින් වැනි මසුන් මේ ශබ්ද දුෂණය නිසා වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටිනවා. තල්මසුන් සහ ඩොල්ෆින් සුරැකීමේ සංගමය (Whale and Dolphin Society) මුහුදු ජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතෙක් වැඩිකර ඇති පියවර ගැන ප‍්‍රසංශා කරන අතර සංරක්ෂණය සඳහා මුදල් වෙන් කිරීම කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බව අවධාරණය කරනවා. ඒ සඳහා යූරෝ 170,000 ක් එනම් ඩොලර් 216,000 ක් දැනට වෙන් කර තිබෙනවා.


Post a Comment

0 Comments