HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මේ වගේ දෙයක් රාති‍්‍ර අහසෙදි දැක්කොත් කොහොමද? මේක චිත‍්‍රයක් වුණාට සක්වළ එක තැනක ඇත්තටම සිදු වන්නක්!

පුංචි ග‍්‍රහ ලෝකයක්, හඳට තියෙන දුරෙන් පහෙන් එකක් තරම් දුරක සිට, පොළොව වගේ හතර ගුණයක් විතර ලොකු යෝධ ග‍්‍රහ ලෝකයක් සමඟ භ‍්‍රමණය වෙන හැටි. මේ ඒ සිද්ධිය සිත්තරකුගේ ඇසින් පෙනෙන හැටියි.
සිතිජයෙන් පුන්සඳ පායා එනවාට වඩා චමත්කාරයක් අපේ සිත්වල ඇති කළ හැකි මේ වගේ රාති‍්‍ර දසුන් කීපයක් ම තියෙනව.

දැන් සිතන්න, හඳ වගේ නෙවෙයි, ඒ යෝධ වායු ග‍්‍රහයා අපේ ග‍්‍රහයාගේ සිට හඳට ඇති දුර මෙන් තුන් ගුණයක් ඈත අහසට ලෝදිය විදිනවාය කියා.

මේ සක්වළ අමුත්තා සිටින්නේ අලූතින් සොයා ගත් ‘කෙප්ලර් 36’ (Kepler 36) නම් සෞර ග‍්‍රහ මණ්ඩලයෙයි. එහි ඇත්තේ ග‍්‍රහ ලෝක දෙකක් විතරයි. එසේ ම සූර්යයා වෙනුවට ඇත්තේ අපේ හිරුට තරමක් විශාල තරුවක්. එය අපේ සූර්යයාට බොහෝ සේ සමානයි. වෙනසකට ඇත්තේ එය අපේ හිරුට වඩා වසර බිලියන ගණනකින් වයස් ගත වීම පමණයි.

 
ග‍්‍රහාරෝහණය: සිත්තරකුගේ ඇසින් - නෙප්චූන් තරම් ඇති දැඩි ලෙස රත් වූ කෙප්ලර් 36සී නම් යමහල් සහිත ග‍්‍රහයා සිය අසල්වැසි පාෂාණමය ග‍්‍රහයා වූ කෙප්ලර් 36බී අසලින් යන හැටි! මේ ග‍්‍රහයන් දෙදෙනා පැය 97කට පමණ වරක් එකිනෙකාට මුණ ගැහෙනවා.

අභ්‍යන්තර ග‍්‍රහ ලෝකය වූ කෙප්ලර් 36බී (Kepler 36b) පාෂාණමය එකක්. එය ප‍්‍රමාණයෙන් අපේ පොළොව මෙන් එක හමාරක් ලොකුයි. බරින් හතර හමාරක ගුණයක් වැඩියි. එය සැතැපුම් මිලියන 11කට අඩු දුර කක්ෂයකින් ඊට අයත් සූර්යයා වටා භ‍්‍රමණය වෙනවා. එක් වටයක් යාමට දින 14ක් ගත වෙනවා.

පිටතින් ඇති අනෙක් ග‍්‍රහලෝකය වූ කෙප්ලර් 36සී (Kepler 36c) වායුමය ග‍්‍රහලෝකයක්. එය ප‍්‍රමාණයෙන් අපේ පොළොව මෙන් 3.7ක ගුණයක් ලොකුයි. බරින් අට ගුණයකටත් වැඩියි. එය සැතැපුම් මිලියන 12කට අඩු දුර කක්ෂයකින් තමයි, භ‍්‍රමණය වෙන්නෙ. එයට එක් වටයක් යාමට දින 16ක් ගත වෙනවා.

මේ ග‍්‍රහයන් දෙදෙනා සෑම දින 97කට වරක් එකිනෙක හමු වෙනවා. ඒ අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා අතර දුර පොළොවත් හඳත් අතර දුර මෙන් පස් ගුණයකට අඩුයි.

කෙප්ලර්- 36සී හඳට වඩා බොහෝ විශාල එකක් නිසා අසල්වැසි ග‍්‍රහ ලෝකයේ අහසේ එය පායන විට විස්මිත දසුනක් මැවෙනවා. ඒ තරම් ළං වූ විට ඒවායේ ඇති ගුරුත්ව බලය නිසා ඒ ග‍්‍රහයන් දෙදෙනා තුළ ම විශාල විපර්යාස ඇති වෙන්න පුළුවන්.

”මේ ග‍්‍රහ ලෝක දෙකක් එකිනෙකාට මේ තරම් සමීපව හමුවීම මේ ආකාරයෙන් සිදු වන අවස්ථාවක් තවමත් අපට හමු වී නැහැ.” හබ්ල් දුරේක්ෂය හා සම්බන්ධව කටයුතු කරන තාරකාභෞතික විද්‍යාව පිළිබඳ හවාඞ්-ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ විද්‍යාඥයකු වූ ජොශ් කාටර් කියනවා.

”අපට මෙතෙක් හමු වී ඇති ග‍්‍රහලෝක පද්ධති අතරින් මේ තරම් සමීප හමුවීමක් ඇති ග‍්‍රහ ලෝක දෙකක් තවත් නැහැ” ඒ අදහස අනුමත කරමින් ඊට සම්බන්ධ වී සිටින අනෙක් විද්‍යාඥයා වූ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ එරික් ඇගොල් එහෙම කියනවා.

පර්යේෂකයන් මහත් ආයාසයෙන් කි‍්‍රයා කරන්නේ එකිනෙකට මුලූමනින් ම වෙනස් ලෝක දෙකක් ඒ තරම් සමීප කක්ෂවල යන විට එනෙකට ඇති වන බලපෑම් කෙබඳුදැයි තේරුම් ගන්නයි. අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ තුළදී නම් සිදු වන්නේ පාෂාණමය ග‍්‍රහයන් හිරුට සමීපව යද්දී වායුමය ග‍්‍රහයන් හිරුගෙන් දුරස්ථ කක්ෂවල ගමන් කිරීමයි.

මෙම කෙප්ලර්-36 තමයි, අපට මෙතෙක් හමුවී ඇති සමීපව ග‍්‍රහයන් මුණ ගැහෙන ප‍්‍රථම සෞර ග‍්‍රහ මණ්ඩලය වන්නේ. නිසැකව මෙවැනි ඒවා තවත් තිබිය හැකි බවයි, විද්‍යාඥයන් කියන්නේ. ”අපි දන්නේ නැහැ තව මේ ආකාරයේ ග‍්‍රහ මණ්ඩල කොච්චර තියෙනවාද කියා” ඇගොල් කියනවා.

”අපටත් මේක මුල් වතාවේදී ම හදිසියේ හමු වූවක්. අපි දැන් කෙප්ලර් දුරේක්ෂය එවූ දත්ත පීරමින් ඉන්නවා, තවත් ඒවා ඇද්දැයි සොයමින්.” කාටර් කියනවා.

මේ විචිත‍්‍ර සොයා ගැනීම කළ හැකි වූයේ තාරකාභූකම්පනවේදය (asteroseismology) නම් විද්‍යාවේ පිහිටෙන්. එය ග‍්‍රහ වස්තූන්ගේ ස්වාභාවික දෝලනය වීම් නිරීක්ෂණය කිරීමෙන් කරන අධ්‍යයනයක්.

සූර්යයා වැනි තරුවලින් සංගීත භාණ්ඩවලින් නිකුත් වෙනවා වාගේ ප‍්‍රතිනාදයක් නිකුත් වෙනවා. එසේ සිදු වන්නේ ඒවා අභ්‍යන්තරයේ සිර වී ඇති ශබ්ද තරංග නිසයි. සංගීත භාණ්ඩවලදී වගේම තරුව විශාල නම් ප‍්‍රතිනාදය ගැඹුරින් විහිදෙනවා. මෙසේ සිර වී ඇති ශබ්ද නිසා ඒ තරුවල හුස්ම ගැනීමේදී ඉහළ පහළ යන්නාක් මෙන් යම්තම් දෝලනය වීමක් සිදු වෙනවා.

මේ සොයා ගැනීම පිළිබඳ ශාස්තී‍්‍රය නිබන්ධයට හවුල් වූ තෙවැන්නා වූ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ බිල් චැප්ලින් ඒ ගැන කියන්නේ මෙහෙමයි: ”කෙප්ලර් 36යෙන් ඉතා අලංකාර ලෙස දෝලනය වීම් පෙන්නුම් කරනවා. ඒවා ගණනය කිරීමෙන් එහි ප‍්‍රමාණය, ස්කන්ධය හා වයස ඉතා සියුම් ලෙස නිර්ණය කිරීමට අපට හැකි වුණා.”

”තාරකාභූකම්පනවේදය නොතිබෙන්නට අපට ග‍්‍රහලෝක ගැන මෙතරම් සියුම් ලෙස නිරීක්ෂණයක් කරන්නට හැකියාවක් නැහැ. අද ඒ හැකියාව ලැබී තිබීම වාසනාවක්” ඔහු වැඩිදුරටත් කියනවා.

කාටර්ඳ ඇගොල් හා චැප්ලින් යන තිදෙනා මේ සම්බන්ධව ලියූ නිබන්ධන ලිපිය ‘සයන්ස් එක්ප‍්‍රස්’ (Science Express) නම් විදයා සඟරාවේ ජූනි 21 වැනිදා නිකුත් වූ කලාපයෙහි පළ වී තියෙනවා.

Post a Comment

1 Comments