HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගුවන්ගමන් යාමට අධි වේගී සුපර්සොනික් යානයක්! ලෝකයේ ප‍්‍රධාන සමාගම් අතර තරගයක්!

ගුවන්ගමන් ඉක්මනින් යාමට තිබූ කොන්කෝඞ් යානය නවතා දැමුණු පසු ඒ වෙනුවට නව යානයක අවශ්‍යතාව දැන් වඩාත් තදින් දැනෙමින් තියෙනවා. ගුවන්ගමන් ගැන හා ගුවන් යානා ගැන උනන්දුවක් දක්වන අය ලන්ඩනයේ සිට සිඞ්නි තෙක් දුර පැය හතරකින් යා හැකි සුපර්සොනික් ජෙට් යානයක් කවදා හෝ එතැයි මග බලාගෙනයි ඉන්නෙ.

ඒ බලාපොරොත්තු මල්පල ගැන්වෙන දවස වැඩි ඈතක නෙවෙයි. ලබන මාසයේ එංගලන්තයේ ෆාන්බරෝහි ද්විවාර්ෂිකව පැවැත්වෙන අන්තර්ජාතික ගුවන්යානා ප‍්‍රදර්ශනයට කොන්කෝඞ් යානයට අදේශක මූලාකෘති කීපයක් ම ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර එය පැවැත්වෙන්නේ ජූලි 9-15 අතර දිනවලයි.

 
සිත්තරකුගේ ඇසින් - අධිවේගී ගමන, නව සුපර්සොනික් ජෙට් යානයේ වේගය පැ.සැ. 2,500යි.

ඇමරිකාවේ නාසා ආයතනයේ සහය ඇති ව ඇමරිකානු ගුවන්යානා නිෂ්පාදක ආයතන තුනක් මේ සඳහා මූලාකෘති ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බෝයිං, ලොක්හීඞ් මාටින් හා ගල්ෆ්ස්ටී‍්‍රම් යන සමාගම් තුන තමයි, මෙහිදී පෙරමුණ ගෙන සිටින්නෙ.

මුල දී ඔවුන් බලාපොරොත්තු වන්නේ ලෝකයේ නගර අතර ඉක්මනින් එහා මෙහා යාමට අවශ්‍ය ව්‍යාපාරික ප‍්‍රජාවගේ මන සපුරාලන්නයි. ඒ නිසා මෙහි ගමන මිල අධික විය හැකියි.

කොන්කෝඞ් යානයේ වේගය පැ.සැ. 1,350යි. ලන්ඩනයේ සිට සිඞ්නි තෙක් යාමට සුපර්සොනික් ජෙට් යානයට පැය 4යි. සාමාන්‍ය මගී ජෙට් යානයකට පැය 20යි මිනිත්තු 10යි. (මේ නව සුපර්සොනික් ජෙට් යානය තැනීමට යොදා ගන්නේ වඩා සැහැල්ලූ ද්‍රව්‍ය වන අතර ඊට වැඩි දියුණු කළ එන්ජින් යොදා ගන්නවා. අධිවේගී ධාවනයට පහසු වෙන්න යානයේ බඳ සකසා ඇත්තේ කුඩාවටයි.)

මේ සමාගම් තුන ම විශ්වාස කරනවා කොන්කෝඞ් යානයට තිබූ බාධාව වූ, ශබ්දයේ වේගය ඉක්මවන විට නැෙඟන ‘පිපුරුම් හඬ’ ජය ගන්නට ඔවුන්ට හැකියි කියලා. ඒ අතරින් ගල්ෆ්ස්ටී‍්‍රම්හී ගුවන් යානා ඉංජිනේරුවකු කීවේ, ‘ගණන් නොගත යුතු තරම් හඬක් දක්වා මෙය අව ම කළ හැකියි’ කියායි.

ඔහු කියන්නේ දැන් ලැබෙන ආරංචිවල හැටියට ලොකු සමාගම් සියල්ලම පාහේ ‘නිහඬව’ ශබ්දයේ වේගය ඉක්මවිය හැකි නව පරපුරේ සුපර්සොනික් ගුවන් යානා නිපදවන්න ආසන්න බවයි.

බරින් අඩු සංයුක්ත ද්‍රව්‍ය යොදා ගනිමින්, වඩා දියුණු එන්ජින් සවි කරමින්, යානා බඳ සිහින් කරමින් මේ යානා නිපදවීමට දැන් සූදැනම්. ඒවාට පැ.සැ. 1358ක උපරිමයකින් පියාසර කළ කොන්කෝඞ් යානය මෙන් දෙගුණයක් වේගයෙන් යා හැකියි. පසුගිය ඉරිදා ලන්ඩන් ටයිම්ස් පත‍්‍රයේ පළ වූ වාර්තාවක මේ බව සඳහන් වුණා.

ඒ අනුව අනාගතයේ මගීන්ට සුව පහසුව ඇතිව, ලන්ඩනයේ සිට සිඞ්නි තෙක් ඇති සැතැපුම් 12,000ක දුර පැ.සැ. 2,485ක වේගයෙන් යා හැකියි.

වර්තමානයේ ගල්ෆ්ස්ටී‍්‍රම් ජී650 වැනි වේගවත් ම උපසොනික විධායක ජෙට් යානයකට පැ.සැ. 646ක වේගයෙන් සැතැපුම් 7,000ක දුරක් යා හැකියි. ඒ යානයේ උපරිම වේගය වන්නේ පැ.හැ. 704ක්.

 
1976 දී සුපර්සොනික වේගයෙන් මගීන් පියාසර කර වන්නට ආරම්භ කළ බි‍්‍රටිෂ් එයාවේස් කොන්කෝඞ් යානය.

‘ඒවියේෂන් වික් ඇන් ස්පේස් ටෙක්නොලජි’ සඟරාවේ දක්වා ඇති ආකාරයට කොන්කෝඞ් වෙනුවට එන විකල්ප යානය (දැනට නම් කර ඇත්තේ එක්ස්-54 කියලයි.) ඔප්පු කාරවි, යානයේ හැඩය වෙනස් කිරීමෙන් අධි ධ්වනි ශබ්දය අඩු කළ හැකි බව.

එම උළෙල සංවිධායකයන් කියන්නේ, මේ යානයේ ආකෘතියක් ෆාන්බරෝ උළෙලට අනෙකුත් සුපර්සොනික මූලාකෘති සමග ඉදිරිපත් කරාවි කියලයි.

පසුගිය ජනවාරියේ දී නාසා ආයතනය පළ කළා පරීක්ෂණ සඳහා සුදුසු යානයක රූප සටහන් කීපයක්. සුපිරිව සිහින් වූ පියාපත් හා සැඟවූ එන්ජින් යොදා ගනිමින් අධි ධ්වනි ශබ්දය සම්පූර්ණයෙන් ම පාහේ අඩු කළ හැකි බව ඒවායින් පැහැදිලි කෙරුණා.

නාසා ආයතනයේ සහය ලැබෙන බව හෙළි වීමත් සමග දැනටමත් ඇතැම් ව්‍යාපාරිකයන් මේ නව ජෙට් යානා මිල දී ගැනීමට බැංකුවල අත්තිකාරම් තැන්පත් කර තියෙනවා. එයින් එක් යානයක් තමා ඒරියන් සුපර්සොනික් ජෙට් යානය. ආසන දොළහකින් යුත් මෙහි එක් යානයක් සඳහා වැය වන නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 80ක්. ඔවුන් ඒ සඳහා මැදපෙරදිග හා යුරෝපයේ ග‍්‍රාහකයන් වෙනුවෙන් යොදා ඇති අලෙවිකරණ උද්යෝග පාඨය ‘ඇමරිකාවට උදේ ගිහින් හවස එන්න’ යන්නයි.

දැන් ගුවන්යානා නිෂ්පාදකයන් ඉදිරියේ ඇති අභියෝගය තාක්ෂණික එකක් නෙවෙයි. මේ ජෙට් යානා මහජනතාව එකහෙළා පිළිගනීවී යන්න දේශපාලනඥයන්ට ඒත්තු ගැන්වීමයි.

එදා කොන්කෝඞ් අහස ජයගත් හැටි
  • එංගලන්තය හා ප‍්‍රංශය හවුලේ නිපදවූ කොන්කෝඞ් යානය 1976 දී ගුවන්ගමන් සේවයට එක් වූ අතර 27 අවුරුද්දක් අහස ජය ගෙන තිබුණා.
  • ලන්ඩනයේ සිට නිව්යෝකයට යන සාමාන්‍ය පැය 8ක ගමන පැය තුනහමාරකින් නිම කළා.
  • තනන ලද්දේ යානා 20ක් වුවත් එය ලොව පුරා ජනප‍්‍රසාදය දිනා ගත්තා. එහි තුඩ තෙක් සිහින්ව පහතට නැමුණු නැහැය සහිත හැඩය කාගේත් සිත්වල ගුවන්යානා සංකේතයක් සේ තැන්පත් වුණා.
  • 2000 ජූලි 25 වැනිදා ප‍්‍රංශ ගුවන් සේවාවට අයත් පියසැරි අංක 4590 දරණ කොන්කෝඞ් යානය ප‍්‍රංශයේ ගොනෙසිහිදී දරුණු අනතුරකට ලක් වුණා. එහි ගිය 100ක් වූ මගීන් සියලූ දෙනාමත්, සේවක පිරිස 9 දෙනාත්, බිම සිට පුද්ගලයන් හතර දෙනකුත් එයින් මරුමුවට පත් වුණා.
  • 2003 නොවැම්බරයේ දී කොන්කෝඞ් යානය ගුවන්ගමන්වලින් ඉවත් කෙරුණා.


Post a Comment

4 Comments

  1. සුපර්සොනික් යානා භාවිතයෙන් ඉවත් කලේ, අවසාන කාලයේ "පාඩු පිට දුවන්න" සිදු වුනු නිසා නේද?

    වටිනා තොරතුරක්! ගුවන් යානා ප්‍රදර්ශණය ගැන තොරතුරුත් පලකරාවියැයි බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  2. ටොප් post එකක්..

    ReplyDelete
  3. ෆට්ට තොරතුරු ටික

    ReplyDelete