HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

නොපෙනෙන ලොවට එබී බලන්න අවස්ථාවක්! ලන්ඩනයේ අන්වීක්ෂ ඡායාරූප උළෙලක්!

මේ ඡායාරූප සියල්ල ම ජෛව ලෝකයේ සැඟවුණු රහස් එළි කරන ඒවායි. පියවි ඇසට නෙපෙනෙන ජෛව ලෝකයේ අලංකාරයත්, සැඟවුණු කටුක බවත් මේවායින් ප‍්‍රදර්ශනය කෙරෙනවා. මේවා එක් රැස් කෙරෙන්නේ සම්මානයක් දෙන්නයි, ප‍්‍රදර්ශනයක් සඳහායි.

වෙල්කම් ඉමේජ් සම්මාන සඳහා පැවැත්වෙන මෙම ඡායාරූප උළෙලට ඇතුළත් වෙනවා, පිළිකා සෛල බෙදෙමින් වැඩෙන ආකාරය දැක්වෙන දුලබ ඡායාරූපයක්. ඒ වගේ ම කෝපිවල ඇති කටු සහිත කැෆේන් ස්ඵටිකවල ඡායාරූපයක්.

මේ සමහර පින්තූර අතිශයින් ම ලස්සනයි. හරිත ඇල්ගේවල සමීප රූපය එවැන්නක්. ඒ වගේ ම බැක්ටීරියාවක රූපයත්, පාචනය වළක්වන ඔසුවක් වන ලොපරමයිඞ් ස්ඵටිකවල රූපයත් අමතක නොවන ඒවායි.

 
පිළිකා සෛල චලනයේ යෙදෙන අයුරු විස්මිත සේයාරුවක්: අනතුරුදායක සෛල වෙනස් පැහැයකින් දක්වා තියෙනවා. මේ එක් චැනලයක් මයික්‍රෝන 12ක් පළලයි. දළ වශයෙන් කෙස් ගහකින් දහයෙන් පංගුවක් විතර ඇති.

මේ තරගයේ මුල් තැන්ගත් ඡායාරූපය මේ ගොනුවේ නැහැ. ඒක බලා ගන්න ඡායාරූප උළෙලට යන්න වෙනවා. ඒ ඡායාරූපය සජීවි මොළයක මතුපිට ඡායාරූපයක්. ඒ අතිශය චිත්තාකර්ෂණීය දර්ශනය ඡායාරූපයට නගා ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායුවේද ආයතනයේ රොබට් ලඞ්ලෝ විසින්. ඒ ඡායාරූපය ගත්තේ අපස්මාරය වැළඳුණු සැත්කමක් කරන අවස්ථාවේ දීයි.

මේ තරගයේ විනිසුරුවරියක වූ මහාචාර්ය ඇලිස් රොබට්ස් කියන්නේ ඒ මිනිස් මොළයේ ඡායාරූපය ඉතාමත් විස්මිත එකක් බවයි.

”මෙහි විශේෂත්වය ඇත්තේ මේ මොළය පණ පිටින් තිබිය දී ඡායාරූපයට නැඟීමයි. මොළයේ සැත්කමක් කරද්දී ගත් පින්තූරයක් මේ. දක්ෂ ඡායාරූප ශිල්පියකුගේ උපකාර ඇතිව අපට හැකිවී තියෙනවා, අපේ හිස්කබල තුළ සැඟවී ඇති මේ විස්මිත දසුන දැක ගන්න.” ඇය කියනවා.

 
දේදුනු වර්ණ යෙදූ මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ පරිලෝකන ඡායාරූපයෙන් දක්වෙන්නේ කෝපිවල ඇති කැෆේන් ස්ඵටිකයි.

වෙල්කම් කලෙක්ෂන්හි දී මේ ඡායාරූපය සඳහා පසුගිය සතියේ ලන්ඩනයේ දී ඒ සම්මාන උළෙලේ දී ඉහළම සම්මානය ප‍්‍රදානය කෙරුණා.

මෙම උළෙලේදී වෙල්කම් ඉමේජ් සම්මාන 16ක් පිරි නැමුණා. වෙල්කම් ඉමේජ් ආයතනයේ ප‍්‍රධානී හා විනිසුරු මඬුල්ලේ සාමාජික කැතරීන් ඩ්‍රේකොට් එහි සුවිශේෂත්වය ගැන මෙහෙම කියනවා: ”මේ සම්මාන වෙනත් ඡායාරූප සම්මානවලට වඩා ඉතා සුවිශේෂයි. අපි මෙහිදී ජයග‍්‍රාහකයන් තෝරා ගැනීමේදී විද්‍යාත්මක හා තාක්ෂණික පැත්තෙන් පමණක් නොවෙයි, කලාත්මක අතිනුත් ඔවුන්ගේ හැකියාවන් මනිනවා.” ඇය කියනවා.

 
මික්රැස්ටරියාස් - ඩෙස්මිඞ් නමින් හැඳින්වෙන හරිත ඇල්ගේ විශේෂයක්. මේවා සාමාන්‍යයෙන් වැඩෙන්නේ අම්ල සහිත ජලය ඇති වගුරු බිම්වලයි.

”ඔවුන් විද්‍යාවට හා අප සිදු කරන පර්යේෂණවලට වඩා ළං වී බලන්න අවස්ථාව සාමාන්‍ය ජනතාවට ලබා දෙනවා මේ ඡායාරූප මගින්. අප දෙස, අපේ ලෝකය දෙස, වෙනස් විදියකට බලන්න ජනතාවට ඉඩ සලසනවා.” ඇය වැඩි දුරටත් කියනවා.

වෛද්‍ය ඡායාරූප ශිල්පය සාමාන්‍ය ඡායාරූප ශිල්පයට වඩා වෙහෙසකර කටයුත්තක්. වෛද්‍යවරුන් සමග තමන්ට සුදුසු අවස්ථාව එන තෙක් ලොකු ඉවසීමකින් යුතුව බලා ඉන්න ඔවුන්ට සිදු වෙනවා. නිසි ආලෝකයක් නොමැතිව, සැලසුම් කිරීමට වෙලාවක් නැතිව, සිදු වීම ගැන කිසිම ආකාරයක පාලනයක් නැතිව, අවම පහසුකම් ඇතිව පින්තූර ගන්න ඔවුන්ට සිදු වෙනවා.

ඒත් ඔවුන් ගන්නා මේ වෛද්‍ය ඡායාරූප වෛද්‍යවරුන්ට කීප අතකින් උපකාර වෙනවා. ඇතැම් විට ලෙඩ හඳුනා ගන්න, ප‍්‍රතිකාර පිළිබඳ වාර්තා තබා ගන්න, වෙනත් වෛද්‍යවරුන් හා සාකච්ඡා කර ප‍්‍රතිකාර පිළිබඳ නිසි නිගමනයකට එන්න, සෙසු වෛද්‍යවරුන් දැනුවත් කරන්න ආදී වශයෙන් නොයෙක් අයුරින් උපකාර වෙනවා. ඒ සියල්ලට ම වඩා ඒවා අධ්‍යාපන කටයුතුවල මහත් සේ ප‍්‍රයෝජනවත් වෙනවා.

සම්මාන ලද ඡායාරූප ලන්ඩනයේ වෙල්කම් කලෙක්ෂන්හි දී 2012 දෙසැම්බර් තෙක් ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා.

 
ඩයටම් පෘස්ටියුලේ - ඒක සෛලික ජීවීන් විශේෂයක්. ප‍්‍රධාන ඇල්ගේ කාණ්ඩයක්. මේ ඩයටම පිට ආවරණය සෑදී ඇත්තේ සිලිකාවලින් සැදුණු තද සෛල බිත්තියකින්.

 
මයික්‍රොනීඞ්ල් එන්නතක්, අති සියුම් තුඩු සහිත එන්නතක සමීප රූපයක්. පර්යේෂකයන් කියන්නේ බාහිර චර්මයට මේ ද්‍රව්‍ය යොදා ගෙන එන්නත් දීම හා ප‍්‍රතිකාර කිරීම වේදනාවෙන් තොරව පහසුවෙන් කළ හැකි බවයි.

 
ලොපරමයිඞ් නම් පාචනයට ප‍්‍රතිකාර සඳහා දෙන ඔසුව ස්ඵටිකයක්. මෙය අන්ත‍්‍රය හරහා ගමන් කරන ආහාරවල වේගය අඩු කිරීමට යොදා ගන්නකි.

 
මේ දිස් වෙන්නේ නියම වර්ණයෙන් නොවේ. ස්කෑනරයකින් ගත් සලබ මැස්සකුගේ අක්වීක්ෂ ඡායාරූපයක්. මේ සතාගේ කීටයන් වැඩෙන්නේ ගෘහාශි‍්‍රත කසළ කානුවලයි.

 
මේ දිස් වෙන්නේ නියම වර්ණයෙන් නොවේ. ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ ස්කෑනරයකින් ගත් ලැවැන්ඩර ශාක පත‍්‍රයක්.

 
බැක්ටීරියා ගොනුවක හැටි! පෙට්රි දීසියක දමා තිබෙන අයුරු. මෙය සාමාන්‍ය පසෙහි වැඩෙන බැසිලස් සබ්ටයිට්ල්ස් (Bacillus subtilis) නම් බැක්ටීරියාවක්. මෙහි තනි බැක්ටීරියාවක් දණ්ඩක හැඩයෙන් යුක්තයි.

 
මේ දිස් වෙන්නේ නියම වර්ණයෙන් නොවේ. ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ ස්කෑනරයකින් ගත් ඡායාරූපයක්. පර්වප‍්‍රදාහ රෝග තත්වයෙන් පෙළෙන අයකුගේ දණහිසේ සැත්කමක් කරද්දී ඉවත් කළ සම්බන්ධක පටකයි මෙහි දැක්වෙන්නේ.

 
මේ දිස් වෙන්නේ නියම වර්ණයෙන් නොවේ. අපි‍්‍රකානු දළ ගෙබි විශේෂයක කීට අවස්ථාවක්.

Post a Comment

2 Comments