HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අතුරුදන් වූ ඇමෙලියා ඉයර්හාට් සොයා වසර 75කට පසු මහ මෙහෙයුමක්! පැසිපික් සාගරය ගුවනින් තරණය කරද්දී ඇමෙලියාට මොකද වුණේ?

විද්‍යාඥ කණ්ඩායමක් විසින් මේ මෙහෙයුම ආරම්භ කළේ පසුගිය ජූලි 3 වැනිදායි. එදාට ඇමෙලියා පැසිපික් සාගරයට ඉහළින් අතුරුදන් වී හරියට ම 75 වසරක් සපිරෙනවා.

මේ පර්යේෂකයන් කණ්ඩායම ඇය අතුරුදන් වූයේ යැයි සැලකෙන හුදෙකලා දූපතක් වූ නිකුමාරෝරෝ වෙත මෙවර යන්නේ අධි තාක්ෂණික මෙවලම් ද සමගයි. එදා, 1937 ජූලි 2 වැනිදා, මේ ලෝක ප‍්‍රකට නියමුවරියට වූයේ කුමක් ද යන්න සැක හැර දැන ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

 
ඇමරිකානුවන්ගේ හද බැඳ ගත් ඉයර්හාට් තරුණ ගුවන් නියමුවරිය

වසර 23ක් තිස්සේ මෙවැනි සෙවිල්ලක් කෙරෙන්නේ දස වැනි වරටයි. ඓතිහාසික ගුවන් යානය සොයා යන අන්තර්ජාතික කණ්ඩායම (International Group for Historic Aircraft Recovery) යන අරුත් දෙන ‘ටිගාර්’ (TIGHAR) වදනින් හැඳින්වෙන නව සෙවුම් පිරිස මෙවර සොයන්නේ කැඞී බිඳී මුහුදට වැටුණු යානයේ සුන්බුන්වත් අඩු වශයෙන් ලැබේය යන අරමුණෙන්.

 
නොවිසඳුණු ප‍්‍රහේලිකාව - ඇමරිකන් ගුවන් නියමු ඇමෙලියා ඉයර්හාට් 1930 දී කැලිෆෝනියාවේ ලෝන් බීච්හිදී ඇගේ යානයත් සමග කැමරාවට මුහුණ දුන් හැටි!

1937 දී පැසිපික් සාගරයට ඉහළින් යද්දී ඇය අතුරුදන් වුණා. ඒ වන විට 39 හැවිරිදි වියේ පසු වූ ඉයර්හාට් ඒ අවස්ථාවේ දී නිරක්ෂයට ඉහළින් පියාසර කරමින් සිටියා. ඇය පදවමින් සිටියේ ලොක්හීඞ් ඉලෙක්ට‍්‍රා එන්ජින් දෙකේ යානයක්. ඇය සමග නාවික ඉංජිනේරු ෆ්‍රෙඞ් නූනන් ඇයට මග පෙන්නුවා. ඔවුන් දෙදෙනා ලෝකය වටා මේ කුඩා යානයෙන් යමින් වාර්තාවක් පිහිටුවන්නයි, බලාපොරොත්තුව සිටියේ. ඒ ගමනේ අවසාන අදියර පසු කරද්දී තමයි, ඔවුන් දෙදෙනාත් සමග යානය එදා අතුරුදන් වූයේ.

ඇය ඒ වන විට ගුවන් ගමන්වලින් වාර්තා ගණනාවක් ම තබා තිබුණා. ගුවනින් අත්ලාන්තික් සාගරය තරණය කළ මුල්ම කාන්තාව ඇයයි. මෙවර අන්තිම ගමනේ දී නිව්ගිනියාවේ සිට පිටත් වූ ඇගේ ගුවන් යානය හවුලන්ඞ් දූපතෙන් නැවත ඉන්ධන පුරවාගෙන කැලිෆෝනියාව තෙක් වැඩිම දුරක් වූ අවසාන පිම්ම පනින්නයි, ඇය සැලසුම් කර තිබුණේ. අත්ලාන්තික් සාගරයට ඉහළින් පියාසර කරද්දී තමයි, ඇගේ අවසාන කටහඬ ගුවන් ගමන් පාලක මැදිරියට අසන්නට ලැබුණේ.

ඇගේ අවසාන ගුවන් විදුලි පණිවිඩය වූයේ කුමක් ද? ඇය කීවේ ඇයට හවුලන්ඞ් දූපත සොයා ගැනීමට නොහැකි බවයි. එසේ ම ඇය පැද වූ යානයේ ඉන්ධන ඉක්මනින් අවසන් වෙමින් තිබෙන බවයි. එයින් පසු ඈ ගැන හෝ යානය ගැන හෝ කිසිවක් දැන ගන්නට ලැබුණේ නෑ.

 
නිකුමාරෝරෝ දූපත - යානයේ සුන්බුන් හෝ අතුරුදන් වීමට අදාළ වෙනත් ඉඟි මේ දූපතෙහි ඇද්දැයි සෙවීමට සෙවුම් පිරිස බලාපොරොත්තු වෙනවා.

මේ බව දැන ගත් මොහොතේ ම එවකට ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ්?න්ක්ලින් ඞී. රූස්වෙල්ට් එම ස්ථානයට සෙවුම් හා ගැලවුම් මෙහෙයුම් කණ්ඩායම් කීපයක් ම යැව්වා, ඒ ප‍්‍රදේශ පීරා ඔවුන් සොයන්නට. ඒත් ඉයර්හාට් ගැන හෝ නූනන් ගැන හෝ කිසිදු ලකුණක්වත් සොයා ගත හැකි වුණේ නෑ. අන්තිමේ දී ඔවුන් මුදේ දී මිය ගියා සේ සලකනු ලැබුවා.

අද ඉයර්හාට් අතුරුදන් වී හරියටම අවුරුදු 75කට පස්සෙ තවත් සෙවිල්ලක් පටන් ගත්තා. මේ වතාවෙදි ඔවුන් මුහුද යට කිමිදෙන විශේෂ උපකරණ හා මෙවලම් රැගෙන යනවා. ඒ නිසා මේ අබිරහස විසඳා ගැනීමට කුමක් හෝ හෝඩුවාවක් ඔවුන් මේ ගමනේ දී බලාපොරොත්තු වෙනවා.

ඔවුන් ඒ කටයුත්තට ගෙන යන එක මෙවලමක් තමයි, ඔවුන්ගේ පරීක්ෂණ නෞකාවේ සවි කර ඇති ශබ්ද තරංග යැවිය හැකි ස්කෑනරය. ඒ මගින් බහුවිධ ශබ්ද තරංග යවමින් මුහුදු පත්ල ස්කෑන් කළ හැකියි. ඉයර්හාට් ගිය යානයේ සුන්බුන් ඇත්නම් අනිවාර්යයෙන්ම ඒකට හසු වේවි කියලයි ඔවුන් විශ්වාස කරන්නේ.

 
ගවේෂණ නැවේ බඳෙහි සවි කර ඇති අධිතාක්ෂණ සෝනාර් උපකරණ මගින් මුහුදු පත්ළ පිරික්සන අයුරු.

ඉයර්හාට්ගේ අවසාන මොහොත ගැන නොයෙක් කටකතා වසර ගණනක් තිස්සේ පැතුරුණා. එක් කටකතාවකට අනුව කියැවුණේ ඇය ජපානය ගැන ගුවනින් ඔත්තු බලන්න ගිහින් ජපානයේ අධිරාජ්‍ය හමුදාවට අසු වී සිර ගත කොට ඇති බවයි. තවත් කතාවකට අනුව ඇය ඒ පියසැරිය සම්පූර්ණ කොට, අවසානයේ දී වෙනත් නමකින් පෙනී සිටිමින් නිව්ජර්සි ප‍්‍රාන්තයේ රහසිගතව ජීවත් වෙන බවයි. ඒ වගේ ම ඇත්තටම ඉන්ධන අවසන් වීමෙන් පසු යානය අනතුරට ලක්ව ඔවුන් ඒ අවස්ථාවේ මිය ගිය බව එක් කතාවකින් කියැවෙනවා.

‘ටිගාර්’ පරීක්ෂණ කණ්ඩායම සොයන්නේ යානය අනතුරට ලක් වුණාට එහි ගිය දෙන්නා දිවි ගලවා ගන්නට ඇතැයි උපකල්පනය මතයි. ඔවුන් දිවි රැක ගෙන, අද නිකුමාරෝරෝ නමින් හැඳින්වෙන එදා බි‍්‍රතාන්‍යයට අයත් දූපතක් වූ ගානර් දූපතට ගොඩ බැස, කිසියම් කාලයක් එහි ජීවත්වන්නට ඇත කියායි, ඔවුන් විශ්වාස කරන්නේ.

අදට වසර 75ක් පිරුණු ගුවන් අනතුර ගැනත් ඔවුන් කරන්න යන ගවේෂණය ගැනත් කරුණු පැහැදිලි කරන්නට ඔවුන් මාධ්‍ය හමුවක් පවා පැවත්වුවා.

ඉයර්හාට්ගේ කාලේ ගානර් කියා හැඳින් වුණු මේ නිකුමාරෝරෝ දූපතේ ජනයා වාසය කළේ නැහැ. ඒ දූපත පිහිටා තිබුණේ සවුත්වෙස්ට් දූපතට වයඹ දිගින් සැතැපුම් 300ක් තරම් දුරින්. එය සැතැපුම් 3.7ක් දිග, සැතැපුම් 1.2ක් පළල කුඩා දූපතක්.

මේ නව ගවේෂණයට සහභාගි වීමට විද්‍යාඥයන් 20 දෙනකු හවායි දූපතේ සිට නිකුමාරෝරෝ දූපතට ගොස් තියෙනවා. ඔවුන් දින 10ක් තිස්සේ දූපතත්, දූපත අවට මුහුදත්, මුහුදු පත්ලේ කොරල් පර බෑවුමත් පරීක්ෂාවට ලක් කරනු ඇති.

”මේ වතාවේ අපි ඒ ගුවන් යානයේ කැඞී බිඳී ගිය සුන්බුන් සොයනවා.” ගිය සතියේ මෙසේ කීවේ ‘ටිගාර්’ ගවේෂක කණ්ඩායමේ ආරම්භකයා හා විධායක අධ්‍යක්ෂක රිචඞ් ගිලෙස්පියි. ඔහුත් ගුවන් නියමුවෙක්. හිටපු ගුවන් අනතුරු පරීක්ෂකයෙක්.

 
අත්ලාන්තික් සාගරය මැද අහසේ දී හදිසියේ අතුරුදන් වූ ඉයර්යාට් හා ෆ්‍රෙඞ් නූනන් එදා ගමන පිටත් වීමට පෙර.

මේ ගවේෂණ යානයේ නවීන උපකරණ සවිකරල තියෙනවා සාගර පත්ල සිතියම් ගත කළ හැකි. ඒ වගේ ම දුරස්ථ පාලක උපකරණයක් තියෙනව, 2009 දී රියෝ සිට පැරිස් බලා යමින් තිබියදී දකුණු අත්ලාන්තික් සාගරයේ දී කඩා වැටුණු එයා ෆ්රාන්ස් යානයේ කළු පෙට්ටි සොයා ගත්තේ එවැනි උපකරණයකින්.

”අපට සුන්බුන් කිසිවක් හමුවුණොත් ඒවා ඡායාරූප ගත කරනවා. ඒ වගේ ම පසුව ගවේෂණය කරනු පිණිස ඒ ස්ථානය පැහැදිලිව සටහන් කර ගන්නවා.” ගිලෙස්පි කියනවා.

මේ සෙවිල්ල අරඹන්නට ඔවුන් දිරි ගන්වන සාක්කි කීපයක් ම තියෙනවා. 1930 ගණන්වල මේ පාළු දූපතේ තිබී හමු වුණා, මුහුණු ආලේපන කී‍්‍රම් බඳුනක්, කුඩා පිහි තලයක්, කාන්තා සපත්තුවක අඩියක්, ‘ප්ලෙක්සිග්ලාස්’ කැබැල්ලක් ආදිය. ඒ සියල්ල ඉයර්හාට්ට හා ඇගේ යානයට අයත් ඒවා කියලයි විශ්වාස කරන්නේ.

 
ඉයර්හාට් එදා අත්ලාන්තික් සාගරය ගුවනින් තරණය කළ ප‍්‍රථම කාන්තාව වෙමින්...

එසේ ම මේ දූපතේ තිබී හමුවෙලා තියෙනවා, ඔවුන් පුළුස්සා ගෙන කෑ කුරුල්ලන්ගේ ඇට කැබලි කීපයක්. ඒ හැරෙන්නට 1937න් පසු නිකමාරෝරෝ දූපතට පදිංචියට ගිය අය කියලා තියෙනවා, යානයක සුන්බුන් වැනි යමක් ඔවුන් දුටු බව.

ඇටකැබලි ඞීඑන්ඒ පරීක්ෂාවට යැව්වත් සාර්ථක පිළිතුරක් ලැබිලා නැහැ. ඒත් ගිලෙස්පි බලාපොරොත්තු තබා තියෙනවා, ඉලෙක්ට‍්‍රා යානයේ යැයි සැලකෙන කැබලි හමු වේවි කියලා.

‘ටිගාර්’ කණ්ඩායමේ මේ උත්සාහයට ඇමරිකන් රජය නිල වශයෙන් උදවු කරනවා. ප‍්‍රතිපාදන සපයා දෙනවා. තාක්ෂණික සහයත් ලබා දෙනවා.

මේ කටයුත්තට ඩොලර් මිලියන 2ක් පමණ වැය වෙතැයි ගණන් බලා තියෙනවා. ඔවුන් ඒ සඳහා අරමුදල් සොයා ගත්තේ ඔවුන්ගේ ටිගාර් (TIGHAR) වෙබ් අඩවියෙන්.

ඉයර්හාට්ගේ අතුරුදන් වීම පිළිබඳ කතාව වසර දසක කීපයක් තිස්සේ ම ඇමරිකාවේ උණුසුම් මාතෘකාවක් වෙලා තියෙනවා.
 
ඇය ජීවත් සිටිය දී අතිශය ජනපි‍්‍රය කාන්තාවක්. මේ එදා ඇය පිළිගැනීමට ආ ජනකායෙන් කොටසක්. මේ ජනපි‍්‍රයත්වය වසර 75කට පසුත් අදත් නොවෙනස් පවතිනවා.

Post a Comment

3 Comments

  1. සාර්ථක වෙන්න කියලා අපිත් සුභ පතමු

    ReplyDelete
  2. ඇය මගෙත් වීරවරියක්

    ReplyDelete