HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

වසර 50ක් ලොව පුරා හමුදාමය, සමාජමය හා මානුෂික මෙහෙයුම්වල යෙදුනු ලොක්හීඞ් ගුවන් යානා පවුල!

ලොක්හීඞ් සී-130 හර්කියුලිස් යානය ලෝකය පුරා බොහෝ හමුදාවල යුද හා ප‍්‍රවාහන කටයුතුවලට යොදා ගනු ලැබේ. ඇමෙරිකානු නිෂ්පාදනයක් වන මෙය විවිධ මාදිලි 40කින් පමණ නිපදවෙන අතර රටවල් 50ක පමණ සේවයට යොදවා ගෙන ඇත. මුල් ඇනවුම්කරු නොකඩවා වසර 50ක් සේවය සැලසූ සිව්වැනි යානය ලෙස මෙම ලොක්හීඞ් සී-130 හර්කියුලිස් යානය වාර්තාවක් තබා ඇත. මෙහි දී ඇනවුම්කරුවා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවය. මේ වාර්තාව මුලින් ම පිහිටෙව්වේ 2001 දී බි‍්‍රතාන්‍යයේ ඉංග්ලිෂ් ඉලෙක්ටි‍්‍රක් කැන්බෙරා යානය විසිනි. 2005 දී බී-52 ස්ට‍්‍රැටෝෆෝට්‍ස් මේ තත්වය හිමි කර ගත් දෙවැනි යානය වන අතර 2006 දී ටියූ-95 ටුපොලොෆ් යානය තුන්වැනි වරට මෙම තත්වය හිමි කර ගත්තේය. මේ වාර්තාව හිමි කර ගත් ලොක්හීඞ් සමාගම නිපදවූ අලූත් ම යානය හැඳින්වෙන්නේ සී-130ජේ සුපර් හර්කියුලිස් කියාය.


කෙටි ධාවන පථයකින් ඉහළට නැඟීමටත් හොඳින් සූදානම් නොකළ ධාවන පථයකට බැස්සවීමටත් මෙම යානයට හැකිය. මෙම සී-130 යානය මුලින් සැලසුම් කළේ හමුදා භට කණ්ඩායම් ගෙන යාමට, තුවාල වූවන් රෝහල් කරා ගෙන යාමට, ඖෂධ හා රෝහල් උපකරණ පමණක් නොව විවිධ ප‍්‍රවාහන කටයුතුවලට සුදුසු වන පරිදිය. මෙම යානයේ සැකිල්ල යොදා ගෙන විවිධ ආකාරයේ ගුවන් යානා ද තනා ඇත. ඒ අතර ගුවනින් ගොස් පහර දීමට හැකි යුද ප‍්‍රහාරක යානා, විද්‍යා පර්යේෂණ යානා, කාලගුණ නිරීක්ෂණ යානා, ගුවනින් ගොස් ඉන්ධන පිරවීමේ කටයුතු පමණක් නොව ගිනි නිවීමේ කටයුතුවලට සුදුසු යානා ද නිපදවා ඇත. මෙම හර්කියුලිස් පවුලට අයත් යානා තැනීම අතිනුත් අඛණ්ඩව එක දිගට වැඩි ම කාලයක් නිෂ්පාදිත ගුවන් යානය ලෙස මෙය වාර්තා පොත්වලට එක් වී ඇත. පසුගිය වසර 50 තිස්සේ මෙම යානා පවුල ලොව පුරා හමුදාමය, සමාජමය හා මානුෂික මෙහෙයුම්වල යෙදී ඇති අතර තවමත් යෙදී සිටිනු දැකිය හැකිය.


1950 දී කොරියන් යුද්ධය ඇරඹුණු පසු දෙවැනි ලෝක සංග‍්‍රාමය සඳහා නිමැවුණු එවකට පැවති යානා ඇමෙරිකානු යුද මෙහෙයුම්වලට ප‍්‍රමාණවත් නොවීය. ඒ නිසා ඇමෙරිකානු යුද හමුදාව නව යානාවක අවශ්‍යතාව එවකට පැවති ප‍්‍රධාන සමාගම් 10කට දැන්වා නව සැලසුම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය. මෙම නව ගුවන් යානයට මගීන් 92 දෙදෙනකු හෝ යුද භටයන් 72 දෙදෙනකු හෝ පරචූට්කරුවන් 64 දෙනකු හෝ ගෙනයාමටත්, නොකඩවා කි.මී. 2000ක් යාමටත්, කෙටි හා හොඳින් සූදානම් නොකළ ධාවන පථයකින් එකවර ම ඉහළ නැගීමටත්, එක එංජිමක් කි‍්‍රයා විරහිත කර වුවත් පියාසර කිරීමටත් හැකියාව තිබිය යුතු බව මේ දැනුම් දීමෙන් කියැවිණ.


මේ ඉල්ලීමට ෆෙයාචයිල්ඞ්, නොර්ත් ඇමරිකන්, මාර්ටින් හා නෝර්ත්‍රොප් ආයතන මේ සඳහා සහභාගි වීමට අකමැති බව දැන්වූ අතර ඉතිරි සමාගම් පහ ඒ සඳහා සැලසුම් 10ක් ඉදිරිපත් කළහ. ඒ අනුව ලොක්හීඞ් සමාගම දෙකක් ද බෝයිං සමාගම එකක් ද චේස් සමාගම තුනක් ද ඩග්ලස් සමාගම තුනක් ද එයා ලිෆ්ට් ඉන්කෝපරේෂන් ආයතනය එකක් ද ඉදිරිපත් කළහ. මෙයින් ලොක්හීඞ් සමාගමේ සැලසුම පිළිගනු ලැබිණ. වයිසී-130 යානය තනනු ලැබුවේ ඒ අනුවය. 1954 අගෝස්තු 23 වැනිදා මුල්වරට මෙය යානය පරීක්ෂණ ගමන ගියේය.


දැන් මෙහි විවිධ මාදිලි රැසක් නිපදවා තිබේ. සී-130ඒ, සී-130බී, සී-130ඊ, සී-130එච්, සී-130කේ ආදී වශයෙන් ඒ මාදිලි නම් කර ඇත.



ගුවන් යානාහාරක නෞකාවකට ගොඩ බස්සවන ලද විශාලතම හා බරම යානය ද මේ හර්කියුලිස් යානයකි.

පොදු ලක්ෂණ: 4-6 සේවක පිරිසක් අවශ්‍යය. නියමුවන් 2 දෙනකුත් පියසැරි ඉංජිනේරුවකු, භාණ්ඩ පැටවුම් අධිකාරිවරයකු හා අතිරේක අධිකාරිවරයකු හා නාවික යාති‍්‍රකයකු ඇතුළු නාවික පිරිසක් මේ සඳහා ඇතුළත් වෙයි.

ධාරිතාව: මගීන් 92ක් හෝ යුද භටයන් 64ක් හෝ දෙදෙනකුගෙන් සමන්විත වෛද්‍ය සහයකයන් කණ්ඩායමක් සමග රෝගීන් 74 දෙනකු ගෙන යා හැකිය.

ගෙන යා හැකි බර: කිලෝ ග‍්‍රෑම් 20,000(රා.45,000) බරක් හා නවීන හමුදා ජීප් රථ 2-3 අතර ගණනක් හා එම් 113 සන්නද්ධ රථයක් ගෙන යා හැකිය.
දිග: මී. 29.8 (අඩි 97 අඟල් 9)
පියාපත්වල දිග: මී. 40.4 (අඩි 132 අඟල් 7)
උස: මී. 11.6 (අඩි 38 අඟල් 3)
තටු සරිය: වර්ග මී. 162.1 (වර්ග අඩි 1,745)
හිස් ව ඇති විට බර: කිලෝ ග‍්‍රෑ. 38,000 (රා. 83,000)
ගෙන යා හැකි බර: කිලෝ ග‍්‍රෑ. 33,000 (රා. 72,000)
ඉහළ නැංවිය හැකි උපරිම බර: කිලෝ ග‍්‍රෑ. 70,300 (රා. 155,000)
බල සැපයුම: එකක් අශ්වබල 4,300ක් නිපදවිය හැකි ඇලිසන් ටී56-ඒ-15 ටර්බෝප්‍රොප් එංජින් 4ක්.
වැඩි ම වේගය: නොට් 329 (පැ.කි.මී. 610)
සාමාන්‍ය පියසැරි වේගය: නොට් 292 (පැ.කි.මී. 540)
යා හැකි දුර: නාවික සැතැපුම් 2,050 (සැ. 2,360/කි.මී. 3,800)
සේවා සැපයුම් කළ හැකි උස: මී. 10,000 (අඩි 33,000)





Post a Comment

7 Comments

  1. වැදගත් තොරුතුරු ටිකකි....

    ReplyDelete
  2. සුනාමි කාලේ ආධාර අරගෙන හර්කියුලිස් යානාවක් කටුනායකටත් ආවා. ඒ වෙලාවේ ගුවන් තොටුපලේ තිබුනු අනිත් දැවැන්ත යානා මොහොතකින් කුඩාවට පේන්න ගත්තා.

    එතුවක් වෙලා දැවැන්ත පෙනුමක් එක්ක ගුවන්තොටේ වැජඹුනු මගී ප්‍රවාහණ යානා, හර්කියුලිස්ගෙ ආගමනයත් එක්ක කෝල කමින් පැත්තකට වෙලා එයාට නිදහසේ ඇවිදින්න ඉඩ දුන්නා වගේ හැගීමක් මට දැනුනේ......!

    හර්කියුලිස් අපිට ආධාරත් අරගෙන, උදාර බැල්මකින් ඇවිල්ලා තමන්ට සුදුසුයි කියලා හිතුනු තැනක බොහොම බරසාර විදිහට බොහොම ඉවසිල්ලෙන් නවතින හැටි අපි විස්මිත දැසින් බලාගෙන හිටියා.

    ReplyDelete
  3. අර ඇග කිලිපොලා යන "විශ්වයේ නොවිසඳුනු අභිරහසක්" කාලෙකින් කියෙව්වෙ නෑ අපි.

    ReplyDelete
  4. Thank you for the informative article

    ReplyDelete
  5. බුද්ධි : තවත් අභිරහසක් නොබෝ දිනකින් බලාපොරොත්තුවන්න :) හැමදාමත් වාගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුති.

    ReplyDelete
  6. වජිර මහත්මයා - ස්තුතියි. ‘අපි‘ බලාගෙන ඉන්නවා.

    ReplyDelete