HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පියවි සෛල (stem cells) භාවිත කරමින් අලූතින් අස්ථි වවයි


 
අලූත් අස්ථි වැවීමේ ක‍්‍රමවේදය යම් දවසක රෝගී වීම නිසා අස්ථි විනාශ වීමට හෝ බිඳුණු අස්ථි වෙනුවට සවි කිරීමට හෝ හැකි වනු ඇති.

පියවි සෛල (stem cells) භාවිත කරමින් අලූතින් අස්ථි වවන්නට දැන් විද්‍යාඥයන් සමත්ව සිටිනවා. මේ නව තාක්ෂණික හපන්කම නිසා අනාගතයේ දී කැඞී බිඳී ගිය අස්ථි අලූත් අස්ථි සවි කරන්නට අපට හැකි වේවි.

ඔස්ටියෝපොරෝසිස් හා ආතරයිටිස් (අස්ථිපර්ව ප‍්‍රදාහය) වැනි රෝගවලින් දුක්විඳින රෝගීනට ප‍්‍රතිකාර කරන්නට හැකි වේවි. ඒ පමණක් නොව විදලිත තල්ල (cleft palate) ඇති අයට ඒ වෙනුවට වැවූ අස්ථි යොදා ගෙන පිළියම් කළ හැකි වේවි.

මේදක පටකවලින් ලබාගත් පියවි සෛලවලින් සෙන්ටිමීටර් කීපයක් දිග අංගසම්පූර්ණව වැඩුණු අස්ථියක් නිර්මාණය කරන්නට පර්යේෂකයන්ට මාසයක පමණ කාලයක් ගත වුණා.

දැනට පවත්නා අස්ථි බද්ධවලදී සාමාන්‍යයෙන් සිදු වන්නේ සිරුරේ වෙනත් තැනකින් අස්ථියක කොටසක් කපා ගෙන අවශ්‍ය තැනට බද්ධ කිරීමයි. මේ සඳහා සැත්කම් දෙකක් අවශ්‍ය වෙනවා. මෙහි දී රෝගියා ආසාදනයකට ගොදුරු වීමක් වෙනත් සංකූලතා තත්වයක් ඇති වීමේ අවදානමකට ලක්වීමක් හෝ සිදු විය හැකියි. අස්ථිය පරිත්‍යාගශීලියකුගෙන් ලබා ගත්තක් නම් එය රෝගියාගේ සිරුර විසින් ප‍්‍රතික්ෂේප කිරීමටද ඉඩ තිබෙනවා.

මේ නව ක‍්‍රමය අනුව ඉදිරියේ දී රෝගියාගේ ම පියවි සෛල ලබා ගෙන සිරුරෙන් පිටතදී ඒවායින් ඔහුට අවශ්‍ය අස්ථිය ඒ අයුරින් ම අලූතින් තැනිය හැකියි. එවිට කලින් මෙන් බරපතල සැත්කමකින් පසු රෝගියාගේ සිරුර විසින් ප‍්‍රතික්ෂේප කිරීමක් සිදු නොවනු ඇති.

දැනට මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ සතුන්ට පමණක් වන අතර මේ වසර අවසානයේ දී රෝගීන් සඳහා අත්හදා බැලීම් කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මේ තාක්ෂණය දැනට සංවර්ධනය කර ඇත්තේ ඊශ‍්‍රායලයේ බෝනස් බයෝගෲප් (Bonus BioGroup) නම් ජෛවතාක්ෂණ ආයතනයත්, ටෙක්නියන් පර්යේෂණායතනයේ විද්‍යාඥයන් පිරිසක් විසිනුයි. ඔවුන්ගේ රසායනාගාර තුළ රෝගියකුගේ අස්ථියක හානි වූ කොටසට හරියට ම හරියන විදියට ඒ කොටස පමණක් අලූතින් නිපදවීමට ඔවුන් සමත් වෙලා තියෙනවා.

පර්යේෂකයන් මුලින්ම කරන්නේ හානි වූ අස්ථියේ ති‍්‍රමාන රූපයක් ගැනීමයි. ඉන්පසු ජෙලි වැනි සැකිල්ලකින් එහි හැඩය නිර්මාණය කරනවා. මේ අස්ථිය වර්ධනය කරන්නේ මේද චූෂක ක‍්‍රමයට උදරයෙන් පිටතට ඇද ගන්නා මෙසෙන්කයිමල් (mesenchymal) පියවි සෛලවලින්. ඒ සඳහා මේ විද්‍යාඥයන් විශේෂ ජෛව ප‍්‍රතිකි‍්‍රයාකාරක යන්ත‍්‍රයක් තනා තියෙනවා.

අලූත්ම අත්හදා බැලීම ලෙස ඔවුන් රසායනාගාරයේ නිපද වූ සෙ.මී. 2.5ක ඇට කැබැල්ලක් මීයකුගේ පාදයකට බද්ධ කළා. එය ඉතා සාර්ථක වුණා.

 
මීයාගේ සැත්කමට තැනූ අස්ථිය

”අපි ති‍්‍රමාන රූප යොදා ගෙන බිඳුණු ඇටයේ හැඩය හරියටම තීරණය කරල ඊට පස්සෙ ඒ අනුව තමයි, රෝගියාගේ ම පියවි සෛලවලින් ඇටයක් වවන්නෙ. මිනිස් සිරුරට පිටතින් මේ ඇටය තනා ගෙන රෝගියාට බද්ධ කිරීමට අපට පුළුවන්.” යැයි බෝනස් බයෝගෲප්හී උපදේශක මණ්ඩල ප‍්‍රධානී ඇවිනොයෙම් කදෝරි කියනවා.

”රෝගියාගේ අවශ්‍යතාවට සරිලන ආකාරයට මේ අස්ථිය තනන නිසා කිසිම වෙනසක් නොව අයුරින් කලින් පැවති ආකාරයට ම මේ අස්ථිය බද්ධ කරන්න පුළුවන්. ඒ නිසා ම අස්ථිය අවට පටකවලටත් එය හොඳින් ම පෑහෙනවා. රෝගියාගේ ම සෛලවලින් තනන නිසා මේ අස්ථි ප‍්‍රතික්ෂේප කිරීමක් සිදුවන්නේ නැහැ.” ඔහු වැඩිදුරටත් කියනවා.

දැනට පවතින විකල්පවලට වඩා මේ නව ක‍්‍රමය ඉතා ලාබදායි කියලයි ඒ ආයතනයේ වෙබ් අඩවිය කියන්නෙ. ඒ වගේ ම මෙසේ තනන අස්ථි, දැනට ලොවපුරා මිලියන ගණනක් මිනිසුන් දුක්විඳින ආතරයිටිස්, ඔස්ටියෝපොරෝසිස්, උකුල් අස්ථිවල බිඳීයාම්, දණිස් අස්ථි තුවාල වීම් ආදියට පිළියම් කිරීමට යොදා ගත්තෑකි.

කෙසේ වෙතත් තවත් මේ ගැන විද්‍යාඥයන්ට පර්යේෂණය කරන්න තියෙනවා. අස්ථි අන්තවල මෘදු කාටිලේජ වැවීම ගැන තමයි, දැන් පර්යේෂණ කරන්නෙ.


අස්ථි වවන හැටි
1. රෝගියාගේ සිරුරෙන් මේදචූෂක (liposuction) ක‍්‍රමයට මේද සෛල ඉවත් කර ගැනීම.
2. විද්‍යාඥයන් විසින් ඒ මේද සෛල තුළින් මෙසෙන්කයිමල් (mesenchymal) පියවි සෛල වෙන්කර ගනු ලබනවා.
3. අධි තාක්ෂණික පරිලෝකන යන්ත‍්‍ර යොදා ගනිමින් රෝගියාගේ බිඳුණු අස්ථියෙහි සිතියමක් සකස් කෙරෙනවා.
4. විද්‍යාඥයන් විසින් ජෙලි වැනි සැකිල්ලක් නිර්මාණය කරනවා රෝගියාගේ බිඳුණු අස්ථි කොටසට සමාන.
5. මේ සැකිල්ල තුළයි සිරුරේ තත්වයන්ට ගැළපෙන විදියට සෛල වවන්නේ. ඒ සඳහා විශේෂ ජෛවප‍්‍රතිකි‍්‍රයාකාරකයක් තනා තිබෙනවා.



Post a Comment

2 Comments

  1. ජයවේවා...... තවත් අසරණයන්ට සුවය.............. :D :) :) :) <3

    ReplyDelete
  2. Dan bayawenna deyak ne ehenam....

    ReplyDelete