අයිස්වලින් තොර ආක්ටික් ප‍්‍රදේශයක් ළඟදීම උදා වෙයි! නාසා ආයතනයෙන් අනාවැකියක්!

අයිස්වලින් තොර ආක්ටික් ප‍්‍රදේශයක් ළඟදීම උදා වෙන බව නාසා ආයතනය පෙන්වා දෙනවා. පසුගිය දා (ජූනි 20 වැනිදා) ඔවුන් මෙසේ අනාවැකියක් පළ කළේ චන්ද්‍රිකා ඡායාරූප පෙළක් නිකුත් කරමින්.

ඔවුන් නිකුත් කළ අලූත් ම ඡායාරූපයට අනුව ආක්ටික් ප‍්‍රදේශයේ ඇති පාවෙන යෝධ අයිස් තට්ටුව හැකිළී යමින් තියෙනවා. ඒ කියන්නෙ ඉතා පැරණි හා ඉතා ඝනකම ඇති උත්තර සාගරයේ අයිස් තට්ටුව ඉතාමත් වේගයෙන් අතුරුදන් වෙමින් පවතිනවා.

මේ සමග ඇති ඔවුන් නිකුත් කළ ඡායාරූපවලින් දසක තුනක් තිස්සේ එම පාවෙමින් තිබූ උත්තර ධ්රුව අයිස් තට්ටුව දිය වී ගිය අන්දම ඔබටත් දැක ගත හැකියි. කලක් තිස්සේ ගෝලීය උණුසුම් වීම පිළිබඳ ව නැඟූ උද්ඝෝෂණවල යම් ඇත්තක් ඇති බව මේ පින්තූරවලින් සනාථ වෙනවා.

 
උත්තර ධ්රුවයට කිලෝමීටර් 824ක් ඉහළ අහසේ සිට බලන විට පෘථිවිය පෙනෙන හැටි! එංගලන්තය ඇතුළු උත්තර ධ්රුව ප‍්‍රදේශය මෙහිදී දැකිය හැකියි.


වසර ගණනාවක් පැරණි මෙහි ඝන අයිස් තට්ටුව වාර්ෂිකව එළඹෙන ගිම්හාන කාලයේ දී සිදු වන දියවීමට ඔරොත්තු දෙනවා. ශීත කාලයේ දී සෑදෙන අලූත් අයිස් තට්ටු ශීත ඍතුව අවසන් වෙද්දී ඉක්මනින් දිය වී ගියත් ඒ පැරණි අයිස් තට්ටු එසේ දිය වී යන්නේ නැහැ.

එහෙත් අලූතින් උදා වී ඇති තත්වය යටතේ ඒ පැරණි අයිස් තට්ටුත් දිය වී යාමට පටන් අරන්. මේ නිසා උත්තර සාගරයේ හෙවත් ආක්ටික් මුහුදේ අයිස් තට්ටුවටත් දිය වී යාමේ අවදානමක් ඇති වෙලා! මෙසේ අනතුරු අඟවන්නේ නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ ගගන මධ්‍යස්ථානයේ ප‍්‍රධාන විද්‍යාඥ ජෝයි කොමිසෝ යි.

මේ පිළිබඳව කළ අලූත් ම පර්යේෂණයක දී මේ පැරණි අයිස් තට්ටු වෙත සමීප අවධානයක් යොමු වුණා. එහි දී හෙළි වී ඇත්තේ පසුගිය තිස් අවුරුද්ද තුළ මේ පැරණි අයිස් තට්ටු කෙමෙන් දිය වී ගිය බවයි.

උත්තර සාගරයේ සැම තැන විසිරී ඇති මේ පැරණි අයිස් තට්ටු අඩුම තරමින් සාගරයේ මතුපිට සියයට 15ක්වත් වසා ගෙන සිටිනවා. මේ පිළිබඳ ව කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ දසකයකට සියයට -15.1 වේගයකින් මේ පැරණි අයිස් තට්ටුව ක්ෂය වී යන බවයි. මෙය සෑදී ඇති ආකාරය අනුව විශ්ලේෂණය කරන්නට පහසු වී තියෙනවා. පැරණි අයිස් පිහිටි ප‍්‍රදේශ, විවෘත ප‍්‍රදේශවල පාවෙන අයිස් ප්ලාවිතවලින් වෙන් කර හඳුනාගත හැකි නිසා උත්තර සාගරයේ වසර ගණනක් පැරණි අයිස් පිහිටි ප‍්‍රදේශ කෙරෙහි අවධානය යොමු කිරීමට පහසු වෙනවා.

මුහුදු අයිස් ප‍්‍රදේශය හැම විට ම මුහුදු අයිස් ව්‍යාප්තියට වඩා කුඩායි. ඒ අනුව විද්‍යාඥයන්ට උත්තර සාගරයේ ඇති සමස්ත අයිස් ප‍්‍රමාණය ගණනය කිරීමට අපහසුවක් නැහැ.

 
1980 දී අපේ පෘථිවියේ උත්තර ධ්රුව අයිස් තට්ටුව දිස් වූයේ මෙහෙමයි. එදා විශාල වපසරියක විහිදී තිබුණු මේ අති දැවැන්ත අයිස් තට්ටුව විශාල ජල ප‍්‍රමාණයක් රඳවා ගෙන සිටියා.

කොමිසෝ සොයා ගෙන ඇත්තේ පැරණි අයිස් තට්ටුවේ හැකිළී යාම දසකයකට සියයට -17.2කක වේගයෙන් සිදු වන බවයි. ”ආක්ටික් ප‍්‍රදේශයේ ඝනකම ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතිනවා. ඒ එක්කම ආක්ටික් ප‍්‍රදේශයේ මතුපිට උෂ්ණත්වය ඉහළ යමින් තියෙනවා. මේ නිසා දීර්ඝ කාලීනව අයිස් මිදී පැවතීමක් සිදු වන්නේ නැහැ.”

”වසර ගණනක් තිස්සේ මේ පැරණි අයිස් තට්ටු නිර්මාණය වෙන්න නිත්‍ය ශීතල කාලයක් නොකඩවා තියෙන්න ඕනෑ. අනෙක් අයිස් තට්ටු ශීත ඍතුවේ දී ප‍්‍රමාණවත් ඝනකමකට වැඩෙන්න ඕනෑ, ඒවා දිය වී යන ගිම්හාන ඍතුව පසුකර ඉදිරියට පවත්වා ගෙන යන්නට ප‍්‍රමාණවත් වන තරමට. එහෙම වුණොත් තමයි, අයිස් තට්ටු දිය වී යාම නැවතිලා පැරණි තත්වයට පත් වෙන්නෙ.” ඔහු වැඩිදුරටත් කියනවා.

 
එය 2012 දී පෙනෙන හැටි! වසා ඇති අයිස් තට්ටුව විශාල ලෙස අඩු වී තියෙනවා. මේ අඩු වීමේ වේගය ප‍්‍රතිශතයක් වශයෙන් නම් දසකයකට 15-20 අතර යැයි පර්යේෂණවලින් පෙනී ගොස් තියෙනවා.

විද්‍යාඥයන් විසින් ශීත කාලයේ දී පමණක් ඇති වී නැති වී යන අලූත් අයිස් හා ‘නිත්‍ය’ අයිස් යන දෙකෙන් ම පැරණි අයිස් වෙන් කොට දක්වනවා. ‘නිත්‍ය අයිස්’ කියා ඔවුන් කියන්නේ අවම වශයෙන් එක් ගිම්හාන ඍතුවක් පසු කොට ඊළඟ ශීත ඍතුව තෙක් යාමට හැකි වූ අයිස්වලටයි. සෑම ‘නිත්‍ය’ අයිස් වර්ගයක් ම පැරණි අයිස් වෙන්නේ නෑ. ඒවා ඊළඟ ගිම්හානයේ දී දිය වී යා හැකි නිසා.

කොමිසෝ සොයා ගෙන තියෙනවා, මේ නිත්‍ය අයිස් වපසරියත් දසකයකට -12.2කක ප‍්‍රතිශතයකින් හැකිළී යන බව. ඒ අතර එය පිහිටි ප‍්‍රදේශය දසකයකට -13.5කක ප‍්‍රතිශතයකින් අඩු වී යනවා. මේ ඉලක්කම්වලින් පෙනී යන දෙයක් නම් වඩාත් ගණකම් වූ පැරණි අයිස් තට්ටු ඒ වටා ඇති අනෙකුත් නිත්‍ය අයිස් තට්ටුවලට වඩා වැඩි වේගයකින් ක්ෂය වී යන බවයි.

ගත වූ දසක තුන ඇතුළත නිත්‍ය අයිස්වල පැතිරීමේ වෙනසක් සිදු වුණා. ඒවා උත්තර සාගරයේ අලූත් ප‍්‍රදේශවලත් පැතිර ගියා. ඒවා මත ශීත ඍතුවේදී අලූත් අයිස් ඇති වුණා.

”මෙසේ ළාබාල අයිස් ඇති වීමෙන් එයින් විශාල කොටසක් ගිම්හානය පසු කොට දෙවන වසරේ අයිස් බවට පත් වීමට මග පෑදෙනවා. ඒ නිසා දෙවන වසරේ අයිස්වලින් සමන්විත වන නිත්‍ය අයිස් ආවරණය පැරණි අයිස් තට්ටුව තරම් වේගයෙන් ක්ෂය වී යන්නේ නෑ.” කොමිසෝ පැහැදිලි කරනවා.

පැරණි මුහුදු අයිස්වල අව ම වපසරියක් වාර්තා වුණේ 2008 ශීත ඍතුවේදියි. ඒ 1970 ගණන්වල පැවති ප‍්‍රමාණයට වඩා සියයට 55ක් අඩු වී ඇති බවයි. ඒ උත්තර ධ්රුවයේ මුදුනේ අයිස් තට්ටුව චන්ද්‍රිකා මගින් මනින්නට පටන් ගත් මුල් කාලයේදියි. ඉන්පසු ඊළඟ වසර තුන තුළ පැරණි අයිස් තට්ටුව සුළු වශයෙන් යථා තත්වයට පත් වුණා. 2008 දී තිබුණාට වඩා සියයට 34කින් වැඩි වුණා. එය 2012 ශීත ඍතුවේ දී යළිත් විශාල වශයෙන් පහළ වැටුණා.

මේ අධ්‍යයනය සඳහා කොමිසෝ පැරණි අයිස් සඳහා කාල වකවානු ගණනාවක් යොදා ගත්තා. ඒ සඳහා ඔහු නාසාහී නිම්බස්-7 චන්ද්‍රිකාවෙන් ලබා ගත් වසර 32කක සක‍්‍රිය ක්ෂුද්‍රතරංග දත්ත හා ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක කාලගුණ විද්‍යා චන්ද්‍රිකා වැඩසටහනෙන් 1978 සිට 2011 දක්වා ශීත ඍතුවල ලබා ගත් දත්ත භාවිත කළා. දැනට ඇති පැහැදිලි, එමෙන් ම දිගු කාලයක් තිස්සේ එක් රැස් කළ දත්ත සමූහය මෙයයි. කොමිසෝ කියනවා.

මෑතදී මිදුණු සාගර ජලයෙන් සමන්විත ළා බාල අයිස් පැරණි අයිස්වලට වඩා ලවණ ගතියෙන් වැඩියි. පැරණි අයිස්වල ලවණ ගතිය කාලයත් සමග සේදී ගිහින්. පළමු වසරේ හා දෙවැනි වසරේ අයිස්වල ලවණ ගතිය වැඩි නිසා පැරණි අයිස්වලට වඩා වෙනස් විද්‍යුත් ලක්ෂණ දක්වනවා. ශීත ඍතුවේ දී මුහුදු අයිස් ශීතල, වියළි ස්වභාවයක් පෙන්වනවා. එවිට පැරණි අයිස්වල ක්ෂුද්‍රතරංග විකිරණ නිකුත් වීමෙහි පළමු හා දෙවැනි වසරේ අයිස්වලට වඩා කැපී පෙනෙන වෙනසක් දක්වනවා.

චන්ද්‍රිකාවල ක්ෂුද්‍රතරංග රේඩියෝමීටරවලට මේ විකිරණ නිකුත් වීමෙහි වෙනස්කම් හඳුනා පුළුවන්. ඒවා නිරික්ෂණය කෙරෙන්නේ විවිධ වර්ගවල අයිස්වල ඇති කෙරෙන තාප දීප්තියේ වෙනස්කම් අනුවයි. මේ දීප්තිය පිළිබඳ දත්ත මගින් පැරණි අයිස් හා අනෙක් අයිස් වර්ග වෙන් කොට හඳුනා ගන්නවා. එහිදී භාවිත කෙරෙන්නේ ඇල්ගොරිතම ගණිත ක‍්‍රමයයි.

කොමිසෝ ඒ අනුව කාලයක් තිස්සේ පැරණි අයිස් පැවති ප‍්‍රදේශ හා ඒවා ව්‍යාප්ත වූ ආකාරය සසඳා බලනවා. ඉන් ඔහු තහවුරු කර ගත්තා ඒ පැරණි අයිස් ක්ෂය වීම පසුගිය දසකය තිස්සේ වැඩි වූ බව. එයින් 2008 දී හා 2012 දී සිදු වී ඇති ක්ෂය වීම ඉතා දරුණු බව ඔහුට පෙනී ගියා.

එසේ ම ඔහු නිරික්ෂණය කළා, වසර නවයකට වරක් මෙය චක‍්‍රයක් සේ සිදු වන බව. මුහුදු අයිස් ව්‍යාප්තිය වසර දෙක තුනක් වර්ධනය වී ඉන්පසු හැකිළී යළිත් වසර නවයකින් වර්ධනය වීමට පටන් ගන්නා බව.

මේ තත්වය මේ අයුරින් ම ප‍්‍රතිවිරුද්ධ ධ්රුවයේ ද සිදු වන බව පෙනී ගියා. මෙය දක්ෂිණධ්රුව ආශි‍්‍රතව හට ගන්නා තරංග ලෙසින් හැඳින්වෙනවා. මෙය එල් නීනෝ සංසිද්ධියට පවා බලපාන දක්ෂිණ වායුගෝලයේ දෝලනය වෙමින් සිදු වන වායුගෝලීය රටාවන්ට සම්බන්ධයි.

මේ නව වාර්ෂික උත්තර ධ්රුව චක‍්‍රය තහවුරු කර ගතහොත් ඒ මගින් 2008 දී වාර්තා වූ ඓතිහාසික ක්ෂය වීම සිදු වීමට බලපෑ හේතුවත් ඉන් පසුව වසර තුනක් තිස්සේ සිදු වූ මුහුදු අයිස්වල සුළු වර්ධනයට හේතුවත් තේරුම් ගත හැකි වෙතැයි කොමිසෝ විශ්වාසය පළ කරනවා.


Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

4 Comments

  1. වැදගත් ලියමනකි....

    ReplyDelete
  2. hoda post ekak..etha oyata comment labenne aduwen...mokada oyaa ara sangame pita kahanna yanne nahane..aa sangame un kawada wath wath wadagath deyak tibunath appriate karannawath comment ekak denne..eyala karanne pita kasa ganimama pamanai..digatama liyanna godak watina post ekak

    ReplyDelete
  3. thavath vatinaa lipiyak. sthuthiy malkakulu!

    ReplyDelete
  4. to Anonymous
    oba wani ayage comment labunama apata ethi .. api mewa karanne ape lipi kiyawana aya sathutu karanns misak kagewathi hitha sthutu karanna nemei.. apata one lokaya pura inna sinhala kiyawana ayata ikmanin denuma laba dennai..internet eke thiyana aluth de ekka ape kiyawannan idiriyata geni yannai. apata comment meeta wda enawa punchi lamaith kiyawan hinda ewa damanna vidiyak nehe.

    ReplyDelete