HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිනිස් ඉතිහාසයේ සුවිශේෂ සිදු වීමක්! මිනිසා තැනූ යානයක් සෞරග‍්‍රහ මණ්ඩල අවකාශය පනියි!

මිනිසා තැනූ යානයක් සෞරග‍්‍රහ මණ්ඩලය ඉක්මවා යයි! වොයේජර් 1 යානය අන්තරීක්ෂ අවකාශයෙහි අද්දරට ගිය බවට සංඥා එවයි. මේ වන විට ඒ යානය ඇත්තේ සැතැපුම් බිලියන 11ක් ඈතිනි.

මෙතෙක් මිනිස් වර්ගයා ලද ලොකුම ජයග‍්‍රහණය මෙයයි කීවොත් එය අතිශයෝක්තියක් නොවෙයි.

මිනිස් සිතෙහි මැවුණු වස්තුවක්, අපේ ම මෙවලම් යොදා ගෙන තනා, අපේ ග‍්‍රහ ලෝකයේ සිට නිකුත් කොට, සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ඈතට යාත‍්‍රා කිරීමට සලස්වා, එය අන්තරීක්ෂ අවකාශයට සාර්ථකව මුදා හැරීම මේ පළමු වන වතාවටයි, මානවයාගේ ඉතිහාසයේ සිදු වන්නේ.

ඇමරිකාවේ නාසා ආයතනයෙන් නිපදවූ මෙම වොයේජර් 1 යානය මුලින් ම දියත් කළේ 1977දියි. වසර 35ක් තිස්සේ පෘථිවියේ සිට ඈතට ගමන් ඇරඹූ එය දැන් යාත‍්‍රා කරන්නේ කිලෝමීටර් 17,970,000,000ක් (සැතැපුම් 11,100,000,000ක්) දුරින්. ඒ තත්පරයට කිලෝමීටර් 10ක වේගයකින්.

දැන් වොයේජර් 1 සෞරග‍්‍රහ මණ්ඩලයට අයත් අවකාශය ඉක්මවා ඈත සක්වළට යන්නට සූදානම් බවයි, දැන් අලූත්ම ආරංචිවලින් කියැවෙන්නේ.

 
වොයේජර් යානයට දැන් කොස්මික් කිරණවල ඇති ඉලෙක්ට්‍රෝනවල තීව‍්‍රතාව දැනෙන්න පටන් අරන්. ඒ අනුව සංඥාවලින් තමයි, විද්‍යාඥයන් තේරුම් අරන් තියෙන්නේ එය සෞරග‍්‍රහ මණ්ඩලයේ සීමාව අද්දරට ළංවී ඇති බව.

 
වෝයේජර් යානය 1977 සිට සෞරග‍්‍රහ මණ්ඩල අවකාශය හරහා යමින් සිටිනවා. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව එහි 2020 වන තෙක් කි‍්‍රයාත්මක වීමට අවශ්‍ය බැටරි තියෙනවා.

අත්ලාන්තික් සඟරාව කියන විදියට වොයේජර් 1 යානයට තවමත් හැකි වී තිබෙනවා, පෘථිවිය සමග සන්නිවේදනය නොබිඳී පවත්වා ගෙන යන්නට. එහි සිට එන ගුවන්විදුලි තරංග අපට ලැබෙන්නේ පැය 16ක් ප‍්‍රමාද වෙලයි. දැන් ලැබෙන සංඥා අනුව යානයට තරමක තාප තත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා.

වොයේජර් යානය ඒ අවට දැන් බලශක්ති අංශු වැඩි ප‍්‍රමාණයක් ඇතැයි හඳුනා ගෙන තියෙනවා. එයින් තමයි, දැන ගන්නේ එය සෞරග‍්‍රහ මණ්ඩල අවකාශය වටා බුබුලක් සේ විහිදී ඇති හේලියෝ කොපුවේ (heliosheath) අද්දරට ගොස් ඇති බව. ඈත අවකාශයෙන් එන කොස්මික් සුළංවලින් අප ආරක්ෂා කරන්නේ මේ හේලියෝ කොපුවයි.

වොයේජර් සෞරග‍්‍රහ මණ්ඩල අවකාශ ගෝලයට හෙවත් හේලියෝ ගෝලයට ඇතුළු වූයේ 2004 දියි.

අත්ලාන්තික් සඟරාව කියන විදියට සෞරග‍්‍රහ මණ්ඩල අවකාශයෙන් ඔබ්බේ ඇති කොස්මික් කිරණවලට හේලියෝ ගෝලයට ඇතුළු වීමට අමාරුයි. පසුගිය මාසයේ යානයට මුහුණ පෑමට සිදු වූ කොස්මික් කිරණ ප‍්‍රමාණය සියයට 10කින් විතර වැඩි වී තියෙනවා. මෙයින් අදහස් කෙරෙන්නේ යානය සෞරග‍්‍රහ මණ්ඩල අවකාශයෙන් පිටතට ගියා කියන එක නොවෙයි. එහෙත් පිටවීමට ආසන්න සීමාවකට ගොස් ඇති බවයි.

 
පසුගිය වසර පුරා ම වොයේජර් -1 යානය එහි පරීක්ෂණ උපකරණවලින් ඒ නව කලාපයේ ගවේෂණය කිරීම් කළා. එය සූර්යයාගෙන් පැයකට සැතැපුම් මිලියනයක වේගයෙන් හමා එන සූර්ය සුළං විහිදීම විශාල වශයෙන් අඩාල වන ප‍්‍රදේශයක් ලෙස හඳුනා ගැනුණා.

 
වොයේජර් යානය මුල්ම අන්තරීක්ෂ සුළං හඳුනා ගෙන ඇති අතර අවසානයේ දී එම යානා සෞරග‍්‍රහමණ්ඩලයේ අද්දරට ළඟා වී ඇති බව එයින් හෙළි වුණා.

වොයේජර් විද්‍යාඥ එඞ්වඞ් ස්ටෝන් අත්ලාන්තික් සඟරාවට කියා ඇත්තේ, ‘ඒ තරම් දුරකට අභ්‍යවකාශය යානයක් ගිය පළමු වන වතාව මෙය බව’යි.

”අපි හැමදාම ඉන් ලැබෙන තොරතුරු පිරික්සනවා. දිනපතාම පැය කීපයක් අභ්‍යවකාශ යානයට සවන් දෙනවා, සිදු වෙන්නේ කුමක් දැයි දැන ගන්න. විද්‍යාත්මක පැත්තෙන් අපට මීට කලින් කිසිදාක නුදුටු දෙයක්, විස්මිත දෙයක්, අත්දකින්නට ලැබිලා තියෙනවා.”

”මීට කලින් කිසිම යානයක් එහි ළඟා වී නැති නිසා එහි ස්වභාවය ගැන අපට හිතා ගන්නවත් බැහැ. එහි සැබෑ තත්වය තේරුම් ගැනීම ඉතා අසීරුයි. මෙහි ඇති අපූර්වත්වය එයයි.” ඔහු වැඩිදුරටත් කියනවා.

වොයේජර් එතැනින් ගියාට පස්සේ එහි අද්දර ගැන විස්තර විග‍්‍රහ කිරීමට හැකියාවක් නැහැ. අනිත් අතට එහි අවට පරමාණු තුනී වී යාමක් ඇති. එසේ නොමැතිව එහි ලකුණු කළ සීමාවක්, තාප්පයක් වැනි දෙයක් නැහැ.

ඉන් ඔබ්බට ගිය විට වොයේජර්ට හමුවන්නේ කුමක්ද? සමහර විට එහි සම්පූර්ණ රික්තයක් තිබිය හැකියි. තාමත් සූර්යයා වටා ඉතා දුරින් යමින් තිබෙන වල්ගා තරු වැනි දේ හමු විය හැකියි.

වොයේජර් 1 යානය මේ හිතලූ සීමාව පසු කළ පසු අවට නිරීක්ෂණය කර තවත් තොරතුරු එවාවි. සමහර විට එහි චුම්බක ක්ෂේත‍්‍රයේ දිසාවෙහි වෙනස් වීමක් දකින්න ලැබේවි. එසේ ම අන්තරීක්ෂ අවකාශයෙහි ඇති සුළං ගැන තොරතුරු පෘථිවියට එවාවි. ඒ අන්තරීක්ෂ අවකාශයෙහි ඇති සුළං සූර්ය සුළංවලට වඩා මන්දගාමියි, වඩාත් සීතලයි, ඝනත්වයෙන් වැඩියි. ඒ බව තහවුරු කරන තොරතුරු වොයේජර් යානයෙන් එවාවි.

 
1977 දී වොයේජර් 1-2 යන අභ්‍යවකාශ යානා අපට ඈතින්ම පිහිටි ග‍්‍රහයන් වන බ‍්‍රහස්පතී, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග‍්‍රහ ලෝක නිරීක්ෂණයට යවනු ලැබුවා.


Post a Comment

4 Comments

  1. ඇත්තටම හිතාගන්න අමාරුයි... යානාව තොරතුරු එවන්නෙ කැමරාවලින් ගත්තුවා නෙමෙයිද?

    ReplyDelete
  2. ආතර් සී ක්ලාක් මහත්තයගෙ 2001 කතාවෙ කියවෙන්නෙ සෙනසුරු වෙත යාමක් ගැන. නමුත් වොයෙජර් යානාවෙන් ලැබෙන තොරතුරු අනුව ඔහු 2010 කෘතිය ලියන්නෙ වඩාත් නිරවද්‍ය තොරතුරු එක්ක කලින් කතාව වෙනස් කරල බ්‍රහස්පති දෙසට යන විධියට. යුරෝපා චන්ද්‍රයාගෙ අයිස් අතරෙ ජීවය ගැන ක්ලාක් මහත්තය අවදි වෙලා තියෙන්නෙ වොයෙජර් ව්‍යාපෘතිය නිසා කියල 2010 කතුවැකියෙ තියෙනව :-)

    ReplyDelete