ඈත අතීතයේ සිට මිනිසාට නවනළු රස ගෙනා රංගනය

ලොව පුරා මිනිසාගේ රසාස්වාදනය සඳහා වේදිකා නාට්‍යය යොදා ගැනීම වසර 2500කටත් වඩා ඈතට දිව යන්නක්. ඒත්, මේ ප‍්‍රාසාංගික කලාව, වර්මානයේ අප නාට්‍යය ලෙසින් හැඳින්වීමට බොහෝ කාලයකට ඉස්සරයි, මිනිසා රඟපෑමට පටන් ගත්තේ. ආදී මිනිසා ගල්ලෙන්වල ජීවත්වෙමින් සිට ආහාර සොයා දඩයමේ යද්දී ඒ කටයුත්ත අනතුරුදායක එකක් වූ නිසා බොහෝ විට වැඩිහිටි පිරිමි විතරයි, ඒ ගමනට එක් වුණේ. කාන්තාවන් හා ළමයින් ගල් ලෙන්වලට වී ආරක්ෂිතව සිටියා. දඩයමේ යන පිරිමින් එකට එක්ව විශාල සතකු දඩයම් කර ගෙන ඌ ඔසවා ගෙන ආපසු ඇවිත් තමන් කළ ඒ වීර කි‍්‍රයාව ගල්ලෙන්වල ඔවුන් එන තෙක් බලා සිටි ළමුන්ට හා කාන්තාවන්ට එය නැවත රඟ දක්වලා කීවා. එහෙම තමයි ආදී මිනිසා රඟපෑම පටන් ගත්තේ. ඒ කාලේ භාෂාවක් නොතිබුණු නිසා අතින්, පයින්, කයෙන් කරන රංග විලාසවලින් (අභිනයෙන්) තමයි, ආදි මිනිසාට තමන් ලත් අත්දැකීම කියන්න සිදුවුණේ. ආදී මිනිසා රඟපාලා විතරක් නතර වුණේ නෑ. ඒවා ලෙන් බිත්තිවල චිත‍්‍ර වශයෙන් ඇන්දා. ඒ නිසා රඟපෑම විතරක් නෙවෙයි, චිත‍්‍රශිල්පය හා සන්නිවේදනය පටන් ගත්තෙත් මේ කාලයෙදිමයි කියල කියන්න පුළුවන්.


අද නාට්‍යය ප‍්‍රාසාංගික කලාවක් ලෙස ලොව පුරා මිනිසා පිනවනවා. එදා හඳපානේ වෙල් එළියේ රඟ දැක්වූ ’සොකරි,’ ‘ජසයා හා ලෙන්චිනා’, ‘මනමේ’, ‘බැලසන්ත’ වැනි නාඩගම්වල පටන් ටවර් හෝල් යුගයේ බිහි වූ නීතීඥ ජෝන් ද සිල්වාගේ ‘සිරිසඟබෝ,’ ‘රාමායනය’ වැනි නූර්ති හරහා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමෙ,’ ‘සිංහබාහු,’ දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑණා,’ හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’ වැනි ශෛලිගත නාට්‍ය දක්වාත් යුග ගණනාවක් තිස්සේ නාට්‍ය කලාව ලක්වැසි අපට නොමඳ රසාස්වාදයක් ලබා දුන් බව නොරහසක්. ඒ විතරක් නෙවෙයි අදත් වේදිකාව හරහා ඒ රසය නොඅඩුව ලබා දෙනවා පමණක් නොවෙයි, ගුවන් විදුලිය, සිනමාව හා රූපවාහිනිය හරහාත් අපට නාට්‍ය රසය විවිධ අයුරින් විඳින්න පුළුවන්. කොහොම වුනත් නවීන තාක්ෂණය ඔස්සේ විඳින නාට්‍ය රසයට වඩා වේදිකා නාට්‍යය තුළින් ලැබෙන රසය අදත් සුවිශේෂයි. පණ ඇති මිනිසුන්ගේ නියම රංගන හැකියාවන් කෙළින් ම අපට දැක ගත හැක්කේ වේදිකා නාට්‍ය තුළින් ම පමණයි.


පුරාණ නාට්‍ය
බටහිර නාට්‍යය බිහි වූයේ පුරාණ ගී‍්‍රසියෙන්. ගී‍්‍රකයෝ ඒ නාට්‍ය වේදිකා ගත කළේ දෙවියන්ට උපහාර වශයෙන්. නාට්‍ය ලෝකයේ හොඳින් මුල් බැස ගත් නාට්‍ය ශෛලීන් දෙකක් ගී‍්‍රකයන් ලොවට දායාද කළා. ඒවා නම් අවසානය ශෝකයෙන් කෙළවර වන හෙවත් ශෝකාන්ත හා අවසානය සතුටින් කෙළවර වන හෙවත් සුඛාන්ත (ප‍්‍රහසන) නාට්‍යයයි. පසුව මේ නාට්‍ය සාම්ප‍්‍රදායන් රෝමන්වරුන් විසින් ද අනුකරණය කරන්න යෙදුණා. පෙරදිග නාට්‍යය බිහිවුණේ භරත මුනි නම් ඍෂිවරයා අතින්. ඉන්දියානු නාට්‍යයත් දෙවියන් සතුටු කිරීම පිණිස පටන් ගත් ඒවා ලෙසයි සඳහන් වෙන්නේ.

පැරණි ගී‍්‍රක නාට්‍ය
කි‍්‍රස්තු පූර්ව 500 වැනි සියවසේ පැරණි ගී‍්‍රකයන් නිතිපතා නාට්‍ය උත්සව පැවැත්තුවා. හොඳම නාට්‍ය සඳහා තෑගිත් දුන්නා. ඔවුන්ගේ ශෝකාන්ත නාට්‍යවලට පාදක වුණේ ගී‍්‍රක දේවකතායි. ඔවුන්ගේ ප‍්‍රහසන තාත්වික නාට්‍යවලට වඩා හාස්‍ය රසයෙන් පිරුණු ඒවා වුණා. ඊස්කිලස්, සොෆොක්ලීස් හා යුරිපීඩිස් යන ගී‍්‍රක නාට්‍යකරුවන්ගේ ශෝකාන්ත නාට්‍ය නිර්මාණ අදත් ලොව පුරා විවිධ බසින් වේදිකා ගත වෙනවා.


මධ්‍යතන යුගයේ නාට්‍ය
රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග බටහිර නාට්‍යය පසුබෑමකට ලක් වුණා. ඒත් 10 වැනි සියවසේ දී කි‍්‍රස්තියානි ආගමික නාට්‍ය සාම්ප‍්‍රදාය බිහිවීමත් සමග යළි පණ ගැන්වුණා. ආධුනික නාට්‍යකරුවන් බයිබලයේ එන කතා ඇසුරෙන් නාට්‍ය තනා වෙළෙඳ පොළේ හෝ ප‍්‍රසිද්ධ ස්ථානවල එළිමහනේ රඟ දැක්වුවා. නරඹන්නන් සිය නිවෙස්වලින් පිටතට ඇවිත් ඒවා නැරඹුවා. ඒවා අද අපේ වීදි නාට්‍යවලට සමානයි.

පුනරුදයේ නාට්‍ය
පුරාණ ගී‍්‍රක නාට්‍ය සාම්ප‍්‍රදායයන්ට 15 වැනි සියවසේ ඉතාලියේ සිදු වූ පුනරුදයේ දී නව මුහුණුවරක් ලැබුණා. ඒ පුනරුදයේ නාට්‍ය සාම්ප‍්‍රදාය තමයි, යුරෝපය පුරා පැතිර ගියේ. බොහෝ නාට්‍ය ලියැවුණේ කවියෙන්. ඒ වගේ 16 හා 17 වැනි සියවස්වල දී යුරෝපයේ නාට්‍ය කලාවේ විශාල ප‍්‍රබෝධයක් ඇති වුණා. ඊට පුරෝගාමී වුණේ ඉංගී‍්‍රසි ජාතික මහා නාට්‍යකරුවා වූ විලියම් ෂේක්ස්පියර් (1564-1616) ඇතුළු නාට්‍යකරුවන් කීපදෙනෙක්.


ප‍්‍රංශයෙන්
ප‍්‍රංශ නාට්‍යකරුවකු වූ යාන් රේසින් (1639-99) ගී‍්‍රක ශෝකාන්තවල අභාසය ලබා නාට්‍ය ලිව්වේ ගී‍්‍රක මිථ්‍යා කථා ඇසුරු කර ගෙනයි. කාලයේ හැටියට ඒවායේ විශේෂයක් වූයේ කාන්තාවන් ප‍්‍රධාන චරිත කර ගෙන තිබීමයි. මේ යුගයේ විසූ අනෙක් ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා වූයේ මෝලියේ (1622-73) යි.

ස්පාඤ්ඤයෙන්
17 වන සියවස ස්පාඤ්ඤ නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගයයි. ස්පාඤ්ඤ මහා නාට්‍යකරු වූ ලෝප් ඩි වේගා (1562-1635) නාට්‍ය 1500ක් පමණ ලියා තියෙනවා. ‘ෆුවන්ටියෝවර්ජුනා’ කියන නාට්‍යය ඒ අතරින් එකක්. සාමාන්‍ය වැඩකරන මිනිසුන්, ඒ කියන්නේ කම්කරුවන්, ගැන ලියැවුණු ලෝකයේ මුල් ම නාට්‍යයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. මේ යුගයේ විසූ අනෙක් මහා නාට්‍යකරුවා වූයේ පෙඞ්රෝ කල්දේරන් ඩි ලා බාකා (1600-81) යි. ඔහු වඩාත් කැපී පෙනුනේ ශෝකාන්ත නාට්‍ය හා ඓතිහාසික නාට්‍ය නිර්මාණ කිරීමෙනුයි.

නාට්‍ය වර්ග
නාට්‍ය වර්ග රාශියක් තියෙනවා. එයින් ලොව මුලින් ම බිහි වූයේ ශෝකාන්ත නාට්‍ය හා සුඛාන්ත හෙවත් ප‍්‍රහසනයි. ශෝකාන්තවලට තේමා වූයේ කීර්තිය දිනූ වීරයකුගේ අභාග්‍ය සම්පන්න අවසානයයි. ඔහුගේ ප‍්‍රහසන සතුටින් අවසන් වූ හාස්‍ය රසයෙන් පිරී තිබුණා. අනෙක් නාට්‍ය වර්ග අතර ඓතිහාසික නාට්‍ය, ත‍්‍රාසජනක නාට්‍ය හා සංගීතමය නාට්‍ය කැපී පෙනෙනවා. ඒ හැරෙන්නට ‘අභූතරූපී’ (absurd) මේ අතර වෙනවා. ජීවිතයේ නිස්සාරත්වය ගැන කියන නිශ්චිත අවසානයක් හෝ ගලාගෙන යන කතාවක් නැති නවීන නාට්‍ය ශෛලියක් වූ අභූතරූපී නාට්‍ය අතර කැපී පෙනෙන එකක් ලෙස සැමුවෙල් බෙකට් (1906-89) ගේ ‘වේටිං ෆෝ ගොඩෝ’ (1955) දක්වන්න පුළුවන්. මේ නාට්‍යයට පාදක වූයේ කවුරුන් හෝ එතැයි අපේක්ෂාවන් බලා සිටින ජීවිතයේ අවසානයට එළඹ සිටින මහලූ යුවළකගේ කතා බහක්. එයින් සාකච්ඡා කෙරුණේ ද ජීවිතයේ ඇති නිරර්ථක බවයි. ‘ගොඩෝ එනකං’ හා ‘කවුරුවත් එන්නෙ නෑ’ යන නම්වලින් මේ නාට්‍යය සිංහල වේදිකාවට ද ආවා.


තාත්විකත්වය හා 20 වන සියවසේ නාට්‍ය
18 වන සියවසේ මැද භාගයේ දී විතර නාට්‍යය තාත්වික අතට වැඩියෙන් බර වුණා. මැද පන්තියේ මිනිසුන්ගේ පවුලේ කතා තමයි, බොහෝ විට ලියැවුණේ. වේදිකා සැරසිලි සඳහා ස්වාභාවික පසුතල යොදා ගනු ලැබුවා. මේ කාලයේ මෝස්තරය වුණේ ඍජු සදාචාරාත්මක දෙබස් ඇතුළත් වීමයි. 20 වන සියවසේ දී නාට්‍යකරුවන් කතා ව්‍යුහයන් හා දෙබස් ගැන අත්හදා බැලීම් කළා. ඔවුන් තාත්වික නාට්‍යයේ අභියෝගය බාර ගනිමින් නාට්‍ය සඳහා නව ආකෘති සකස් කරන්න පටන් ගත්තා.

තාත්වික නාට්‍ය
නොර්වේජියානු නාට්‍යකරුවකු වූ හෙන්රික් ඉබ්සන්(1828-1906) හා ස්වීඩන් ජාතික ඔගස්ට් ස්ටි‍්‍රන්බර්ග්(1849-1912) එකල සමාජයේ පැවති පටු ආකල්පවලට හා අඩුලූහුඬුකම්වලට පහර ගසා තාත්වික නාට්‍ය නිර්මාණය කළා. මෙයින් ඉබ්සන් තාත්වික ගද්‍ය නාට්‍යයේ පියා ලෙස සැලකෙනවා. කාන්තා විමුක්තිය ගැන කියන්නට 1879 දී ඉබ්සන් නිර්මාණය කළ ‘ඩෝල් හවුස්’ පසු කලෙක ‘සෙල්ලම් ගෙය’ නමින් අපේ වේදිකාවටත් ආවා. ඉබ්සන්ගේ හා ස්ටි‍්‍රන්බර්ග්ගේ මේ තාත්වික නාට්‍යවලින් අවංකව හා නිර්දය ලෙස සමාජය විවේචනය කළ ආකාරය දැකපු නරඹන්නන් ගල් ගැහුණා.

බර්ටෝල් බ්‍රෙක්ට්
ජර්මන් ජාතික නාට්‍යකරුවකු වූ බර්ටෝල් බ්‍රෙක්ට්(1898-1956) ඔහුගේ නාට්‍ය තුළින් සමාජයට යහ පණිවිඩ ලබා දීමට උනන්දු වුණා. තමන් නරඹන්නේ වේදිකා නාට්‍යයක් බව ඔහු නිතරම මතක් කර දුන්නා. ඒ ඔවුන්ගේ සිත් වැඩියෙන් නාට්‍යයේ රංගනයට ඇදී යාම වළක්වා ඔහුගේ ඒ පණිවිඩ හා නව අදහස් ගැන සිතන්නට, ඒවාට වැඩි අවධානයක් යොමු කරන්නට නරඹන්නන් පොලඹවන්නයි. වේදිකාවෙන් පිටතට ගොස් සමාජය දෙස විචාරත්මකව බලන්නට නරඹන්නන් යොමු කළා. හෙන්රි ජයසේනයන් සිංහලට නඟා අපේ වේදිකාවට ගෙනා ‘හුණුවටයේ කතාව’ ඔහුගේ ‘කෝකේසියන් චෝක් සර්කල්’ ඇසුරෙන් නිර්මාණය වූවක්. ඒ නාට්‍යයෙන් කියැවුණේ මිනිසාගේ ඉඩම් අයිතිය ගැනයි. ඒ වගේ ම වසර 30ක යුද්ධයක කුරිරු බව කියාපාන 1941 දී ඔහු නිර්මාණය කළ ‘මදර් කරේජ්’ අපේ වේදිකාවට ආවේ ‘දිරිය මව’ යන නමිනුයි.

ලෝක නාට්‍ය
ලෝකයේ හැම රටක ම නාට්‍යය වෙන වෙන ම වැඩුණා. බටහිර වගේ ම පෙරදිග රටවලත් ඒ ඒ රටවලට අනුව නාට්‍ය සාම්ප‍්‍රදායයන් ඇති වුණා. ආසියාවේ දියුණු නාට්‍ය සාම්ප‍්‍රදායයන් අතර චීනය, ජපානය, ඉන්දියාව ආදී රටවල් කැපී පෙනෙනවා.

චීන ඔපෙරාව
සාම්ප‍්‍රදායික චීන ඔපෙරාව හෙවත් බීජිං ඔපෙරා නාටකය ඒකලව ගැයුන දිග ගීත, සමූහ ගායනා, අභිනයන්, වෙනත් අංග චලනයන් සමග දේශීය සංගීත භාණ්ඩ යොදා සංගීතයෙන් ඔපවත් වුණා. මේ ඔපෙරා නාටකවලට පාදක වුණේ ඓතිහාසික කතා හා බෞද්ධ කතායි.


නෝ වේදිකා නාට්‍ය
සාම්ප‍්‍රදායික ජපන් නෝ නාට්‍යවල නළුවන් ඉතා සංකීර්ණ වර්ණවත් ඇඳුම් පැලඳුම් හැඳ, වෙස් මුහුණු පැලඳ සැරසිලිවලින් තොර වේදිකාවේ රංගනයේ යෙදෙනවා. රංගනයේ දී ඔවුන් ඉතා හෙමින් චලනය වෙමින් අර්ථවත් ලෙස හැඟීම් හා අදහස් පළ කරන ඉඟි පානවා. මේ නාට්‍යයක් ඉදිරිපත් කෙරෙන්නේ කාණ්ඩ වශයෙනුයි. මෙවැනි නාට්‍යයක් මුළු දවසක් පුරා ම රඟ දැක්වී සිරිතයි. නෝ වෙස්මුහුණු කාණ්ඩ පහකින් යුක්තයි. පිරිමින්, ගැහැනුන්, මහලූ අය, දෙවියන් හා යක්ෂයන් නිරූපණය කරන වෙස්මුහුණු ඊට ඇතුළත් වෙනවා.

ශාන්ති කර්ම නාට්‍ය
පූජා විධි හා ශාන්ති කර්ම සඳහා තමයි, මුලින් ම නැටුම් හා රංගනය යොදා ගත්තේ. ඉන්දියාවේ ජන නැටුම් හා අපේ බලි තොවිල් එවැනි නැටුම් ලෙස දැක්විය හැකියි. අපි‍්‍රකාවේ, ආසියාවේ හා මෙලනීසියාවේ බොහෝ ප‍්‍රදේශවල ආගමික පූජා විධි හා ශාන්ති කර්මවල දී නාට්‍යය මුල් තැනක් ගත්තා. ප‍්‍රධාන පූජකයා හෝ යක්දෙස්සා වෙස් මුහුණක් හා ඊට නියමිත විශේෂ ඇඳුම් කට්ටලයක් පැලඳ සංගීතයට හෝ බෙර හඬට අනුව කිසියම් භූත බලවේගයකට ආවේශව රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ භූතාත්මය සතුටු කිරීමෙන් පසු එය අදහන්නන්ට ශාන්තිය උදා වෙනවා.

රූකඩ නාට්‍ය
පපට් හෙවත් රූකඩවලින් කරන නාට්‍ය නිර්මාණ ද ලොව පුරා දක්නට ලැබෙනව. එය කි‍්‍රස්තු පූර්ව 500 තරම් ඈත අතීතයට විහිද ගිය කලාවක්. ඉන්දුනීසියාව, ඉන්දියාව, ශී‍්‍ර ලංකාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් මේ රූකඩ කලාවට ප‍්‍රසිද්ධයි. රූකඩ කලාවට අයත් සෙවණැලි රූකඩ බොහෝ දුරාතීයේ සිට පැවත එන්නක්. එහි දී රූකඩ මෙහෙයවන්නා විසින් නටවන රූකඩවලට විශේෂ ආලෝක ධාරාවක් එල්ල කොට තිරයක් මතට වැටෙන සෙවණැලි තුළින් තමයි, නරඹන්නන් නාටකය රසවිඳින්නේ. රූකඩ නටවන්නා විශේෂයෙන් ඉහළ තැනූ මැස්සක හිඳ නූල්වලින් පහළ ඇති රූකඩ නැටවීමයි, සාමාන්‍යයෙන් රූකඩ නාට්‍ය කලාවේ දී කෙරෙන්නේ. සමාජයේ විවිධ චරිත, ඓතිහාසික සිදුවීම්, ජනකතා, ආගමික කතා රූකඩ නාට්‍යවලට පාදක කර ගනු ලැබුවා. ඉන්දුනීසියාවේ ජාවා දුපතේ සෙවණැලි රූකඩ සඳහා යොදා ගන්නේ සමින් කළ පැතලි රූපයි. අපේ රූකඩ ති‍්‍රමාන රුප ලෙස ලීවලින් කපා ගන්නා ඒවායි. මේ හැරෙන්නට මපට් හෙවත් අත්රූකඩ ද නාට්‍ය කලාවේ ඇති තවත් අංගයක්.

රංගධරයෝ
නාට්‍යයක සාර්ථකත්වයට නළු නිළියන් හෙවත් රංගධරයන්ගෙන් වන සේවය ඉමහත්. නාට්‍යයට උචිත වන පරිදි කටහඬෙහි නියම තානය පවත්වා ගනිමින්, මුහුණෙන් හැඟීම් පළ කරමින්, අංග චලනයෙන් අදහස් ප‍්‍රකාශ කරමින් රංගධරයන් කරන රංගනයන් තුළින් වේදිකාව මත දී නාට්‍යයක් උපදිනවා. වේදිකා නාට්‍යයක දී රංගධරයන්ගේ රංගන ප‍්‍රතිභාව සජීවීව සැබැවින් ම අපට දැක ගන්නට පුළුවන්. සිනමා තිරයේ දී හෝ රූපවාහිනී තිරයේ දී අපට දකින්නට ලැබෙන්නේ ඒ රංගධරයන්ගේ රංගනවල ප‍්‍රති නිර්මාණයක්. ඒවායේ කෘති‍්‍රම බවක් පෙනෙන්නට තියෙනවා. නළුනිළියන්ගේ රංග කුසලතා සැබැවින් ම දැක ගත හැක්කේ වේදිකාවෙන් යැයි කියන්නේ ඒ නිසයි.

ලෝකයේ බොහෝ රටවල රංගධරයන් මේ රංගනය ඉගෙන ගන්නේ ඒ සඳහා විශේෂිත වූ රඟපෑම උගන්වන පාසල්වලින්.


නාට්‍ය උළෙල
නාට්‍යකරුවන් දිරිමත් කිරීමටත්, ගුණාත්මක නාට්‍ය අගයන්නටත්, ඒවා එක් රැස්කර නරඹන්නන්ට දැක ගැනීමට සැලැස්වීමටත් ලොව පුරා නාට්‍ය උළෙලවල් පැවැත් වෙනවා. දේශීය වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පැවැත්වෙන ඒ නාට්‍ය උළෙලවල් නිසා නාට්‍ය නරඹන්නන්ට නාට්‍යකරණයෙහි ඉන්නා දක්ෂයන් හඳුනාගන්නත් ඔවුන්ගේ නිර්මාණ රස විඳින්නත් අවස්ථාව ලැබෙනවා. මේ නාට්‍ය උළෙලවලට විවිධ තේමා ඔස්සේ නිපදවන ලද නාට්‍ය එක් කර ගන්නවා. සාම්ප‍්‍රදායික නාට්‍යවල පටන් නව නිර්මාණකරුවන්ගේ අත්හදා බැලීම් දක්වා සෑම වර්ගයකම නාට්‍ය ඒවාට ඇතුළත් වෙනවා. එක්සත් රාජධානියේ වාර්ෂිකව පැවැත්වෙන එඩින්බරෝ අන්තර්ජාතික නාට්‍ය උළෙල මේ සඳහා ලෝක ප‍්‍රසිද්ධයි.

විකාශනය කෙරෙන නාට්‍ය
ගුවන් විදුලියට හෝ රූපවාහිනියට හුරුපුරුදු වූ අයට දිනපතා ම නාට්‍ය රස විඳින්න පුළුවන්. එදින ම අවසන් වන කතාවක්, එනම් ඒකාංගික නාට්‍යයක්, ලෙසින් හෝ කොටස් වශයෙන් දිනපතා හෝ සතිපතා වශයෙන්, එනම් මාලා නාටක ලෙසින් හෝ ඒවා ඔබ වෙත ගුවනින් විකාශය කෙරෙනවා. බොහෝ විට මෙම නාට්‍ය කලින් වේදිකාව සඳහා ලියූ ඒවා විය හැකියි. නැතිනම් ගුවන් විදුලි හෝ රූපවාහිනි මාධ්‍ය විශේෂ කොට නිර්මාණය කළ ඒවා විය හැකියි. මේවා වේදිකා නාට්‍ය මෙන් එක දිගට රංගනය කර අවසන් වන ඒවා නොවේ. නළු නිළියන් යොදා විටින් විට පටිගත කොට පසුව තාක්ෂණය යොදා ගෙන සැකසූ ඒවායි. ඒ නිසා ඔබට එකම නළුවාගේ හෝ නිළියගේ විවිධ රංගනයන් නාළිකා කීපයක් ඔස්සේ එක විට දැකිය හැකියි.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

1 Comments

  1. බොහොම වටිනා ලිපියක්. රූපවාහිනියේ ආරම්ඹය හා විකාශනය ගැනත් ලිපි පෙලෙක් ලියන්න. අපි ආසාවෙන් ඉන්නවා කියවන්න.

    ReplyDelete