අපේ ඉලක්කම් සෙල්ලම් යටතේ පළ වූ ‘2කේ අරුමය’ ගැන කොමෙන්ටුවක් එවපු නමක් නැති පාඨකයෙක් අපෙන් ඉල්ලීමක් කළා මේ ගැටලූව ඔබට දෙන්න කියලා.

මේ කතාව ජාතික රූපවාහිනියේ ‘ඉරිදා ආයුබෝවන්’ නම් උදෑසන වැඩ සටහනක් ඉදිරිපත් කරමින් එතුමාගේ හරබර කටහඬෙන් අප වෙත ගෙනාවේ, ප්‍රේමකීර්ති ද අල්විස් නම් අපේ සුමිතුරායි. ඒ 88-89 ශී‍්‍ර ලංකාවේ පැවති භීෂණ සමයෙදියි. මේ වාගේ අමතක නොවන කතා කී ඒ හඬ ඒ කාලෙ පැවති භීෂණ සමය විසින් ගිලගත් හැටි සිහි වෙනකොට අපට අදත් ඇති වෙන්න වාවන්න බැරි දුකක්.

මං දැන් මේ කතාව කියන්නේ ඔහුගේ හඬෙන් නොවෙයි, අපට මේ කතාව ලියා එව්ව, අප නොදන්න මිතුරාගෙ හඬෙන්. ඔන්න එහෙනම් අහගන්න.

චෙස් ක්‍රීඩාව ගැන පුංචි කතාවක් මම අහලා තියෙනවා. සමහරවිට ඔයාලත් අහලා ඇති. මේක මම ඇහුවේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ රූපවාහිනි වැඩසටහනකින්.

චෙස් ක්‍රීඩාව නිර්මාණය කරපු නිර්මාණකරුගෙන් ඒ රටේ රජ්ජුරුවෝ අහලා තියෙනවා, මොකක්ද අවශ්‍ය තෑග්ග කියලා, එයා ඉල්ලපු තෑග්ග මොකක්ද කියලා දන්නවාද?

චෙස් බෝඩ් එකේ කොටු 64ක් තියෙනවානේ, ඉතින් එයා කීවාලු පළමු කොටුවට 1 වී ඇටයක් තියන්න කියලා. දෙවැනි කොටුවට 2ක් තියන්න කීවාලු. තුන්වැනි කොටුවට 4ක්, හතරවැනි කොටුවට 8ක්, පස්වැනි කොටුවට 16ක්, හයවෙනි කොටුවට 32ක්, ඒ විදියට දෙකේ ගුණාකාරයෙන් වැඩිවෙන විදියට කොටු 64ටම වී ඇට තියන්න ඕනෑ.

රජ්ජුරුවෝ මේක රජ්ජුරුවන්ගේ ධාන්‍යාගාරයට පැවරුවා. පැයකට විතර පස්සේ රජ්ජුරුවෝ ධාන්‍යාගාරයෙන් ඇහුවා වී ඇට හරිද කියලා. එයාලා කීවා ගණන් කරනවා කියලා. හවස් වෙනකොටත් මේ වී ඇට පුමාණය ගණන් කරනන් බැරි වුණා. ඊළග දවසේ උදේ වෙනකොටත් බැරි වුණා. එදා හවස් වෙනකොටත් බැරි වුණා.

අන්තිමේදී ධාන්‍යගාරයෙන් කීවා මේ මුළු රටම අස්වැද්දුවත් මේ වී ඇට ගණන එකතු කරන්න බැහැ කියලා.

පුළුවන්නම් ඔයාලා ඒ ගණන කීයද කියලා හදලා බලන්න. චෙස් ක්‍රීඩාව හරිම සංකීර්ණයි. ඒක හදපු නිර්මාණකරුවා ඉල්ලපු තෑග්ග ඊටත් වඩා සංකීර්ණයි නේද කියලා ඔයාලට හිතෙයි.

චෙස් කී‍්‍රඩාව පටන් ගත්තු හැටි ඉදිරියේ දී ඔබට ගෙන එන්නම්.