2

ලෝකයේ පැරණිම රෝහල ශී‍්‍ර ලංකාවෙන් ද?

පොසොන් උදාවත් සමග අපට එක්වර ම සිතට නැෙඟන්නේ මිහින්තලයයි. මිහින්තලය සිහියට එන විට අමතක නොකළ යුතු දෙයක් ද තිබේ. එනම් මිහින්තලේ නටඹුන් අතර ඇති ලොව පැරණි ම රෝහල පිළිබඳ උරුමයයි.

ආරෝග්‍ය ශාලාවක් යනු කිසියම් ආකාරයක රෝග පිළිබඳ ව විනිශ්චයක් කොට ඊට අවශ්‍ය උපස්ථානයත්, ප‍්‍රතිකාරයත් ලබා දිය හැකි, ඊට අදාළ දැනුමක් ඇති, සේවක පිරිසක් හා උපකරණ ඇතුළු පහසුකම් ඇති, අවශ්‍ය වුවහොත් ඇඳ විවේකය සහිත නේවාසික ව ප‍්‍රතිකාර ලබා ගත හැකි, ආයතනයකි. මෙය බෙහෙත් ශාලාවකට හෝ සායනයකට හෝ වැඩිහිටි සාත්තු සේවක ආයතනයකට හෝ වෙනස් ය. ඉංගී‍්‍රසියෙන් ‘හොස්පිට්ල්’ යන්න බිඳී ආවේ ලතින් හොස්පිටියම් (hospitium) හෙවත් ‘ආගන්තුකයන්ට සත්කාරය සඳහා වූ තැන’ යන නමිනි. සිංහලෙන් ආරෝග්‍ය ශාලාව යන්නේ අරුත ‘නිරෝගී භාවය පවත්වන තැන’ යන යන්නයි. සමහරුන් මෙය ‘රෝහල’ යනු ‘රෝග හලන තැන’ කියා හෝ ‘රෝග ඇති ශාලාව’ කියා විග‍්‍රහ කරනු අප අසා ඇත. කෙසේ වෙතත් දැන් අපි ආරෝග්‍යශාලාව යන්නට රෝහල කියා යොදමු.


අතීතයේ දී මෙය රජයේ හෝ ස්වේව්ඡා ආයතනයක් හෝ පමණක් ම විය. එසේ වූයේ රෝගීනට ප‍්‍රතිකාර කිරීම ඔස්සේ මුදල් අය කිරීම, ලාබ ඉපැයීම, එදා සමාජය පිළිකුල් කළ බැවිණි. අද එවැනි පිළිගැනීමක් සමාජය තුළ නොමැති නිසා ලාබ ලබන සාර්ථක ව්‍යාපාර අතරට දැන් පෞද්ගලික රෝහල් ද ඇතුළත් වී තිබේ. රජයට අයත් රෝහල් අතර වෛද්‍ය විද්‍යාව හා ඒ ආශි‍්‍රත විෂයයන් ප‍්‍රායෝගික ව හැදෑරීමට ඊට අදාළ වූ කි‍්‍රයාකාරිත්වයක් සහිත ව ‘ශික්ෂණ රෝහල්’ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ කොට පිහිටුවා ඇත. බොහෝ රෝහල් සියලූ ආකාරයේ හදිසි සේවාවන් පවත්වා ගෙන යන අතර විශේෂිත වු රෝග සඳහා වෙන ම අංශ ද හා සායන ද පවත්වා ගෙන යයි. වෛද්‍ය විද්‍යාවේ විවිධ අංශවලට වෙන් වූ විශේෂිත රෝහල් ද තිබේ.

ඒ හැරුණු විට විශේෂිත රෝග සඳහා රෝහල් ද තිබේ. මානසික රෝග, අක්ෂි රෝග, වසංගත රෝග, විකලාංග පුනරුත්ථාපනය වැනි තත්ත්වයන් සඳහා ද කාන්තා ළමා හා වයෝවෘද්ධ ආදී පුද්ගල විශේෂිත වු රෝහල් ද තිබේ. මෙවැනි රෝහල්වල නේවාසික ව ප‍්‍රතිකාර කරනවා පමණක් නො ව බාහිර ව රෝගීන් පරීක්ෂා කර බලා ප‍්‍රතිකාර කිරීමට වෙන ම අංශයන් ද පිහිටුවා ඇත. අතීතයේ දී රෝහල් බිහි වූයේ ආගමික සිද්ධස්ථාන ඇසුරු කර ගෙනය. එයට හේතු වූයේ එකල මිනිසාට රෝග ඇති වන්නේ කිසියම් වරදකට දඬුවමක් වශයෙන් හෝ යක්ෂ භූත දෝෂයක් නිසා හෝ යැයි විශ්වාස කළ බැවිනි. කි‍්‍රස්තු වර්ෂයට සියවස් ගණනාවකට පෙර මිසරයේ මේ ආකාරයෙන් රෝග සුව කරන ආරාම තිබූ බව විශ්වාස කෙරේ. මේ පිළිබඳ ගී‍්‍රකයන් විසින් පසු කලෙක එපිඩෝරස් (Epidaurus) හී ඊස්කලපියස් (Aescula pius) දෙවොල ආශි‍්‍රත ව ගිලන්හලක් පිහිටුවීමෙන් රෝහල් ක‍්‍රමය ආරම්භ කළ බව සඳහන් ය. එහෙත් දැනට හඳුනා ගෙන ඇති පරිදි පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාධක අනුව ලොව පැරණි ම රෝහල පිහිටා තිබූයේ ශී‍්‍ර ලංකාවේ බැව් තහවුරු වී තිබේ.


කි‍්‍ර.ව. 4 වන සියවසේ දී මෙහි පැමිණි චීන දේශාටක පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවල මිහින්තලේ පිරිවෙන් ආරමවල උන්වහන්සේ වඩිනා විට භික්ෂූන් දෙදහසක් පමණ වාසය කළ බවත් දක්වා ඇත. ඒ කාලයේ භික්ෂූන් ආහාර සඳහා බත්ගෙවල් මෙන්ම රෝගවලට පිළියම් කිරීමට රෝහල් ද ඒවාට වෙදැදුරන් ද පත් කළ බව සඳහන්ය. දැනට එවැනි රෝහලක මිහින්තලේ නටබුන් අතර හමු වී තිබේ. බටහිර අර්ධ ගෝලයෙහි ප‍්‍රථම රෝහල කි‍්‍ර.ව.150 දී හිස්පැනියෝලා (Hispaniola) දිවයිනේ සැන්ටෝ ඩොමින්ගෝහිදී පිහිටුවන ලද්දක් බව සඳහන්ය. මේ රෝහල අද අතීතයට එක්වූවක් වුවත් තවමත් පවතින පැරණිතම රෝහල වන්නේ ඉන් වසර 20කට පමණ පසු මැක්සිකෝ නගරයේ හර්නැන්ඩෝ කෝටෙස් (Hernando Cortez) හි දී ඉදි කරන ලද රෝහලයි.

මහාවංසයේ දක්වා ඇති පරිදි පණ්ඩුකාභය රජ කි‍්‍ර. පූ. 4 වන සියවසෙහි දී අනුරාධපුරය පිහිටුවා එහි තිඹිරිගෙයක් හා ගිලන්හලක් ඉදි කර ඇත. මේවා පාලි භාෂාවෙන් හඳුන්වා ඇත්තේ ‘වෙජ්ජසාලා’, ‘ගිලානසාලා’, ‘භෙජ්ජගෙහ’ ආදී වශයෙනි. නරපතියකු මෙන් ම වෙදැදුරකු වූ ද බුද්ධදාස රජු (337-365) ලක් වැසියන්ගේ හිත සුව පිණිස ගම් දනවුවල ආරෝග්‍යශාලා ඉදි කොට ගම් දහයකට එක වෙදකු බැගින් පත් කළ බවත්, ඒ ප‍්‍රදේශයේ කෙත්වල ආදායමෙන් දහයෙන් කොටසක් වෙදුන් සඳහා දිවි වැටුප් කොට දුන් බවත් මහාවංසයෙහි දැක් වෙයි. ඒ රජුගේ දෙටුපුත් පළමු වන උපතිස්ස රජු (365-406) කොරුන්, ගර්භිණීන්, අන්ධයන් හා රෝගීන් සඳහා ගිලන්හල් හා දානශාලා කර වූ බවත් දැක්වෙයි. අතීතයේ බොහෝ සිංහල රජුන්ගේ සේවාවන් ගැන සඳහන් කරන හැමවිටෙක ම වෙහෙර විහාර තැන වීම සමඟ ගිලන්හල් හා අරෝග්‍යශාලා පිහිටු වීම විශේෂයෙන් දක්වා ඇත. මහාවංසය හැරුණු විට ඒ පිළිබඳ ව සඳහන් කෙරෙන සෙල්ලිපි ද රාශියක් ද තිබේ. ඉපැරණි නටබුන් අතර බොහෝ තැන්වල බෙහෙත් ඔරු හමු වී තිබේ. ඒ පිළිබඳ ව සඳහනක් කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් කියා ඇත්තේ බෙහෙත් ඔරුවක් ඇති සෑම තැනක ම පුරාණයේ රෝහලක් තිබු බවයි.

සාමාන්‍ය මහ රෝහලක (ලොව පුරා පොදු රෝහල්වලින් 80%ක පමණ) රෝග විනිශ්චය සහ උපකරණ, ඖෂධ ශාලාවක්, නේවාසික රෝගීන් සඳහා වාට්ටු, රසායනාගාරයක්, ශල්‍යාගාරයක්, විශේෂ මාතෘ හා ළමා වාට්ටු, බාහිර රෝගින් සඳහා ප‍්‍රතිකාර පහසුකම්, හදිසි අනතුරු සේවයක්, කායික හා භෞත චිකිත්සක අංශයක්, දන්ත ශල්‍ය ඒකකයක්, දැඩි සත්කාර ඒකකයක් හා සෞඛ්‍ය අධ්‍යාපන ඒකකයක් ආදී වශයෙන් අංශ රැසක් ඇතුළත් වේ.

වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ ඇත්තේ බි‍්‍රතාන්‍ය යුගයේ ඇති කළ ආරෝග්‍ය ශාලා පද්ධතියකි. ඊට පෙර ලන්දේසින් ද මෙහි ආරෝග්‍යශාලා ඉදිකර ඇති අතර හැඳල ලාදුරු රෝහල එවැන්නකි.

වර්තමාන ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය සත්කාර පද්ධතියට තුන් ආකාර මට්ටමක සුව සේවාවන් ඇතුළත් වේ. මධ්‍යම බෙහෙත්ශාලා, මාතෘ නිවාස, ග‍්‍රාමීය රෝහල්, පර්යන්ත ඒකක, දිස්ති‍්‍රක් රෝහල්, ප‍්‍රාථමික සෞඛ්‍ය සත්කාරය ලබා දෙන ආයතන වේ. ද්විතීය මට්ටමට අයත් වන්නේ මූලික රෝහල් හා පළාත් රෝහල් ය. තෘතීය මට්ටමේ රෝහල් වන්නේ ශික්ෂණ රෝහල් හා විශේෂ මහ රෝහල් ය. 2000 දෙසැම්බර් අවසානය වන විට රෝගීන් ඇතුළත් කර ගත හැකි ආයතන 558ක් හා ඇඳන් 57,195ක් තිබුණි. ශික්ෂණ රෝහල් 15 හි පමණක් ඇඳන් 14,659ක් තිබුණි. දිවයිනේ විශාලතම රෝහල වන කොළඹ පිහිටි ජාතික රෝහලෙහි ඇඳන් 2,881 ක් තිබුණි. විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥ පහසුකම් ද එහි ඇති අතර විශේෂ හදිසි අනතුරු අංශයක් එහි තිබේ. ඒ හැරෙන්නට කොළඹ සිට මුළු රටට සේවය කරන විශේෂ දන්ත වෛද්‍ය ආයතයනයක් ද ළමයිනට විශේෂික වූ රෝහලක් ද නයනාරෝග්‍යශාලාවක් ද එසේ ම කාන්තාවන්ට විශේෂ වූ රෝහල් 3ක් ද තිබේ. මෙරට රෝහල් පද්ධතිය තුළ පළාත් රෝහල් 6ක් ද, ශික්ෂණ රෝහල් 15ක් ද, මූලික රෝහල් 36ක් ද ග‍්‍රාමීය රෝහල් 167ක් ද දිස්ති‍්‍රක් රෝහල් 156ක්ද පර්යන්ත රෝහල් 93ක් ද වතු රෝහල් 15ක් ද අයත් විය. සෞඛ්‍ය නිවාරණ කටයුතු සඳහා දිවයින පුරා වෛද්‍ය නිලධාරි කාර්යාල 252ක් ද තිබේ.

(පර්සි ජයමාන්නගේ ළමා හා යොවුන් විශ්වකෝෂයෙනි.)

Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


2 අදහස්:

Hasitha said...

"මහාවංසයේ දක්වා ඇති පරිදි පණ්ඩුකාභය රජ කි‍්‍ර. පූ. 4 වන සියවසෙහි දී අනුරාධපුරය පිහිටුවා එහි තිඹිරිගෙයක් හා ගිලන්හලක් ඉදි කර ඇත. මේවා පාලි භාෂාවෙන් හඳුන්වා ඇත්තේ ‘වෙජ්ජසාලා’, ‘ගිලානසාලා’, ‘භෙජ්ජගෙහ’ ආදී වශයෙනි.

මේ සම්බන්ධව තියෙන්නේ මහාවංසයේ 10 වෙනි පරිච්ඡේදයේ 102 වෙනි ගාථාවේ

"සිවිකාසොත්ථිසාලං ච අකාරෙසි තහිං තහිං"

මෙහි දැක්වෙන සිවිකා ශාලාව සහ සොත්ථි ශාලාව යනු කුමක්ද කියලා සවිස්තරව කියන්නේ මහාවංස ටීකාව හෙවත් වංසත්ථප්පකාසිනියේ.

ඒකේ දක්වන විදිහට සිවිකා ශාලා කියන්නේ ශිව ලිංගය තැන්පත් කෙරුණු ශාලා හරි ප්‍රසූතිකාගාර හරි. සොත්ථි ශාලා කියන්නේ බ්‍රාහ්මණයන් ස්තෝත්‍ර ගායනා කරන ශාලා හරි ආරෝග්‍යශාලා හරි

දූපත් වැසියා said...

එතකොට ඔය ශිල්පය ලංකාවට ගෙනාපු ඉන්දියාවේ ඔයිට ඉස්සර රෝහල් තිබිල නැද්ද???

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top