HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පොසොන් පොහෝදා පැවැත්වූ බුද්ධි පරීක්ෂණය! එය ලෝක ඉතිහාසයේ පැරණිම බුද්ධි පරීක්ෂණය ද?

යමක් පැවරීමට පෙර එම කටයුත්ත ඉටු කිරීමට යමකු තුළ ඇති හැකියාව විමසා බැලීම සඳහා බුද්ධි පරීක්ෂණයක් (IQ test) සිදු කිරීම වර්තමානයේ ලොව පුරා සිදු වන සාමාන්‍ය දෙයකි. අභියෝගතා පරීක්ෂණ ලෙස හැඳින්වෙන මෙවැනි පරීක්ෂණයක් මීට සියවස් දහනවයකට පෙර පැවැත්වූයේ යැයි සිතීම පවා අද විස්මයට කරුණකි. එය සිදු වූයේ මිහින්තලේ මිස්සක පව්ව මත දී, කි‍්‍රස්තු වර්ෂ තෙ වන සියවසේ අද වැනි දවසකය. මීට වඩා පැරණි බුද්ධි පරීක්ෂණයක් ලෝක ඉතිහාසයේ පැවැත් වූයේ යැයි වාර්තාවක් කිසිම ඓතිහාසික ලේඛනයක හෝ ආගමික ලේඛනයක හෝ සඳහන් වී නොමැත. වර්තමානයේ පවතින බුද්ධි පරීක්ෂණයකට බොහෝ සේ සමාන මෙහි ඇත්තේ ප‍්‍රශ්න 7කි. මෙය සිදු වූයේ මෙරටට වැඩම කළ මහින්ද මහ රහතන්වහන්සේ හා එවකට මෙහි පාලකයා වූ දේවානම්පිය තිස්ස රජතුමා අතරය.


එය මෙසේ සිදු විය.

රජුගේ නුවණ විමසනු සඳහා මහා ප‍්‍රඥාවන්ත තෙරුන් වහන්සේ නුවණැති රජුගෙන් ප‍්‍රශ්න ඇසූහ. ඇසූ ඇසූ ප‍්‍රශ්නයට නැණවත් රජු පිළිතුරු දුන්නේය.

”රජතුමනි, මේ ගසේ නම කුමක් ද?”

”මේ ගස අඹ නම් වේ”

”මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?”

”බොහෝ අඹ ගස් ඇත.”

”මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තිබේද?”

”ස්වාමීනි, බොහෝ ගස් තිබේ. ඒවා අඹ ගස් නොවේ”

”ඒ අඹ ගසුත්, වෙනත් ගසුත් හැර තවත් ගස් තිබේද?

”ඇයි ස්වාමීනි, මේ අඹ ගස?”

”ඔබ ඥානවන්තයි මහ රජ. ඔබට නෑයෝ සිටිත්ද?”

”ස්වාමීනි, බොහෝ නෑයෝ වෙති”

”නෑයන් නොවන අයත් සිටිත්ද මහරජ?”

”නෑ නොවන අයද බොහෝ වෙති.”

”ඒ නෑයනුත් නෑ නොවන අයත් හැර තවත් අය සිටිත්ද?”

”ස්වාමීනි, මම?”

”ඉතා හොඳයි. ඉතා හොඳයි.” යනුවෙන් තෙරුන් වහන්සේ කීහ. රජු පණ්ඩිත බව දැන, නැණවත් තෙරුන් වහන්සේ නැණවත් රජුට චුල්ලහත්ථි පදෝපම සූත‍්‍රය දේශනා කළහ.

(උපුටා ගැනීම මහාවංස ප‍්‍රථම භාගය, මොග්ගල්ලාන සංස්කරණය. සිංහල අනුවාදය: අරුණ තලගල)

Post a Comment

0 Comments