HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

මිහිරි වදනින් හා කටහඬින් රටක් සැනසූ, මියුරු ගීයෙන් ළමාලොව නැළවූ කරුණාරත්න අබේසේකර

අද ජූනි 03 වැනිදාය. ළමයින් වෙනුවෙන් මහ මෙහෙයක් කළ ‘කරු අයියා’ගේ 82 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. එතුමා උපන්නේ 1930 ජූනි 03 වැනිදාය. ඒ මාතර බඹරැන්දේ පෝසතුගොඩ පදිංචිව සිටි පොඩි අප්පුහාමි අබේසේකර සහ පේ‍්‍රමවතී යුවලගේ කුළුඳුල් පුත‍්‍රයා ලෙසය. එතුමා මිය ගියේ 1983 අපේ‍්‍රල් 20 වැනිදාය.


වරින්වර රෝගාතුර වූ පුතාත් රැගෙන මව්පියන් අගනුවර ආවේ වෛද්‍ය උපදෙස් අනුව ඔහු රැක බලා ගැනීමේ අරමුණ ඇතිවය. ඔහු මුලින් ම පාසල් ගියේ මාලිගාකන්දේ රජයේ පාසලටය. මාලිගාකන්දේ පිරිවෙනෙන් පෙරදිග භාෂා ඉගෙන ගත්තේය. ඒ අතර ඔහුට නාලන්දා විදුහලට ඇතුළත් වීමට වරම් ලැබුණේය. එවකට කවියකු හා ගුවන්විදුලි වැඩසටහන් සම්පාදකවරයකු ලෙස කීර්තියක් ඉසිලූ ‘සිරි අයියා’ නමින් ප‍්‍රකටව සිටි අධිනීතිඥ යූ. ඒ. එස්. පෙරේරා නාලාන්දා විදුහලේ සිංහල උගන්වන්නට ආයේ මේ කාලයේය. එකල ගුවන්විදුලියේ ළමා මණ්ඩපය මෙහෙය වූයේ සිරි අයියාය. කරූ ඔහුගේ කැපීපෙණුණු ගෝලයකු විය. කරූ පාසල් යුගයේ අති දක්ෂ කථිකයකු විය. ඔහු 1946 සිට 1950 දක්වා කාලයේ නාලන්දා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ද විය.

උපතේ දී දෙමාපියන් ඔහුට දී තිබූ නම ‘කරුණාදාස අබේසේකර’ විය. එහෙත් එය ‘කරුණාරත්න අබේසේකර’ වූයේ අහම්බෙනි. ඔහු පාසල් යන කාලයේ පටන් ම පුවත්පත්වලට කවි හා නිර්මාණ සැපයුවේය. ඒවා වරින් වර පළ වූ අතර 1942 දී ඔහු ඉතා ආශාවෙන් ලියා යැවූ කුළුඳුල් විද්‍යා ප‍්‍රබන්ධය පළ වූයේ ‘රත්මලේ කරුණාරත්න අබේසේකර’ යන නමිනි. මුද්‍රණයේ දී සිදු වූ ඒ වරද ඔහු හදන්නට ගියේ නැත. එය දෛවය ලෙස බාර ගත්තේය. ඉන්පසු ඔහු විද්‍යා ප‍්‍රබන්ධකරණයෙහි ද යෙදුණේ නැත. එහෙත් එදා සිට ඔහු ‘කරුණාරත්න අබේසේකර’ නම් විය. කවියකු, ලේඛකයකු, ගුවන්විදුලි විස්තර නිවේදකයකු, වැඩසටහන් සම්පාදකයකු වශයෙන් පමණක් නොව චිත‍්‍රපට ගීත රචකයකු වශයෙන් නමක් දිනා සිටියද ඔහු ළමයින් සඳහා ගීත රචනයෙහි දී අනෙක් සියලූ දෙනා අභිභවා ඉහළින් ම වැජඹුණේය. ඒ අතින් ඔහු අසම සම විය.


ඔහුට සරසවි පිවිසුමට හා ගුවන්විදුලියේ රැකියාවට වරම් ලැබුණේ එකම දවසේ ය. එවකට අගහිඟකම් මැද සිටි පවුලක නංගිලා මල්ලිලා නව දෙනකුගේ ලොකු අයියා වූ ඔහු පවුලේ බර කරට ගැනීමට සිතා රැකියාව බාර ගත්තේය. එයින් ඔහුගේ නංගිලා මල්ලිලාට ලොකු සෙතක් සැලසුණද ඉන් වඩාත් සෙත සැලසුණේ නිර්මාණ ලෝකයට පිය නඟන්නට ගුවන් විදුලියේ බලා සිටි නංගිලා මල්ලිලාටය. ඔහුගේ සෙවණේ නවපරපුරක් බිහි වූවා පමණක් නොව අතු ශාඛා විහිදුවමින් තවමත් බිහි වන බව කිවයුතුය.


කරු අයියා ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට සහභාගි වීමට ආ නංගිලා මල්ලිලා (දරුදැරියන්) සඳහා එසැණ ගී රැසක් ලියුවේය. ‘ලේනගෙ පිට මැද ඉරි තුන ඇන්දේ කවුද අනේ අම්මේ’, ‘අපේ අම්මා කොළඹ ගිහිල්ලා’, ‘දැන් නිවාඩු කාගෙ හින්ද නෑ ඉස්කෝලේ’,‘අපෙ ඇඟිලි අතේ - එක වගේ නැතේ’, ‘පුංචි මමයි අම්මෙ ඔබේ රත්තරන් පුතා’, ‘සුරතල් පොඩි හාවා මහ රෑටත්’, ‘සුරතල් අපේ පෙනීලා - වන මල් කැලේ පිපීලා’ ආදී ගීත සිය ගණනක් කරු අයියාගේ අතින් එසැණ ලියැවුණේ එදා ළමා මණ්ඩපයට ගොඩ වැදුණු දරුදැරියන්ගේ කුසලතා ඔප් නැංවීමටය. එදා තරාතිරම නොබලා දක්ෂතා අනුව, අවස්ථාවෝචිත භාවය හා විවිධත්වය අනුව පමණක් සලකා ලියූ ඒ ගී එදා එසැණ ගායනා කළ නංගිලා මල්ලිලා අද ගායන ක්ෂේත‍්‍රයේ දිදුලන තරු බවට පත් සිටිති. නන්දා මාලිනී, මාලනී බුලත්සිංහල, ඇන්ජලීන් ගුණතිලක, අමිතා වැදිසිංහ, එස්. ලියනගේ, චන්ද්‍රානි ගුණවර්ධන, මල්කාන්ති නන්දසිරි, චන්ද්‍රානි මානෙල් කල්දේරා, නාරද දිසාසේකර, විජිතකුසුම් ලියනගේ, රූපා ඉන්දුමතී, ඉන්ද්‍රලතා ජයසිංහ, දමයන්ති ජයසූරිය ඉන් කීපදෙනෙකි.


මීට අවුරුදු ගණනකට ඉස්සර දිවංගත කරුණාරත්න අබේසේකර අයියා ගුවන්විදුලියේ ළමා මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩසටහනට එසැණ ලියූ මේ ගීය ළමයින් වෙනුවෙන් ගී ලිවීමට ඔහු තුළ වූ ඒ හැකියාව මනාව ප‍්‍රකට කරන්නකි.

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි කියාලා
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් කියාලා
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා
වතුරට ටිකක් පොවාලා
උකුළ උඩින් තියාලා

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ
කිරියි පැණියි තිබෙන්නේ
මට දෝතක් ගෙනෙන්නේ

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී
ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි.......

කරු අයියාගේ ළමා ගී අතර ගුවන්විදුලියේ ඇසුණු දා සිට මේ දක්වා අපේ දෙසවනින් ඉවත්ව නොගිය ළමා ගීයක් ලෙස ‘අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි..’ නම් මේ ගීය සැලකිය හැකියි. වජිරා බාලසූරිය එදා මෙය ගැයූ හඬ අදත් එසේ ම වදන් සිහිපත් කළ සැණෙන් අප දෙසවන්හි රැව් දෙයි. කරු අයියා ලියූ මවුගුණ ගී අතර ඉහළ ම තැනක වැජඹෙන මේ ගීතයට එදා එසැණ තනුව යෙදුවේ එම්. ඩබ්ලිව්. පීරිස්ය. ගායනා කළේ වජිරා බාලසූරියයි.

සුරතල් පොඩි හාවා මහ රෑටත්...

සුරතල් පොඩි හාවා මහ රෑටත්
හඳහාමිගෙ උකුලේ ඉන්නේ ඇයි

නිල්වන් වලාකුළු කවදාටත්
ආකාසෙ විසිරී යන්නේ ඇයි

මුතු වාගේ පිණි කැට හිමිදිරියේ
තණ බිම් තලයේ දිලිසෙන්නේ ඇයි

උදයෙම පිපි මල් හැන්දෑවේ
හැකිළී ඉබේ පරවෙන්නේ ඇයි

මහ සාගරේ මුතු හංගලා
රහසෙම රළ පෙරළෙන්නේ ඇයි

සුරතල් පොඩි හාවා මහ රෑටත්
හඳහාමිගෙ උකුලේ ඉන්නේ ඇයි

ළමයකුගේ පුංචි හිතට නැගෙන සිතිවිලි ලෙසින් ඉදිරිපත් කෙරුණු මෙම ගීතය එදා එසැණ පුහුණුව ගායනා කළේ එවකට සරස්වතී මණ්ඩපයේ ‘මිණිකිංකිණි’ වැඩ සටහනට එක් වූ ළමා ගායිකාවක වූ නන්දා මාලිනී විසිනි. එසැණ තනුව ශාන්ති දිසානායකගේය. මෙය තවමත් එදා සිට ම අද දක්වාත් ජනපි‍්‍රය ළමා ගී අතර ඉහළ ම තැන හිමි කර ගෙන සිටින්නකි.

- පර්සි ජයමාන්න

Post a Comment

2 Comments

  1. මම අහල තියෙන විදිහට "හෙළ ජාතික අභිමානේ" ලිවුවෙත් කරුණාරත්න අබේසේකර මහත්මයා.

    ReplyDelete
  2. මම අහල තියෙන විදිහට "හෙළ ජාතික අභිමානේ" ලිවුවෙත් කරුණාරත්න අබේසේකර මහත්මයා.

    ReplyDelete