HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියූ හැටි : අපේ ජාතික ගීයේ කතාව

පසුගියදා අලූත් පොතක් දොරට වැඩියා. ලක්බිම ඉරිදා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සුන්දර නිහතමානී ද මැල් නම් අපේ සුන්දර හිතවතා තමයි, ඒ අපූරු පොතේ කතුවරයා. කවදත් සියුම් ලෙස උපහාසය මුසුව, සරල සිත් ගන්නාසුලූ බසකින් ලියන ඔහු මේ අමුතු පොත ලියලා තියෙන්නෙත් ඒ විදියටමයි. මේ පොතේ නමත් අමුතුයි. ‘මහින්දෙ තමයි ඉස්කෝලෙ!’ පොත දොරට වැඩියෙත් අපූරු විදියකයි. පාසල් විවාද කණ්ඩායමක් සිහිගන්නවන විදියට. මහින්දෙ යෝජිත පිලට දාල ප‍්‍රතියෝජක පිලට දිවයිනේ අනෙක් ප‍්‍රධාන සහෘද පාසල් දමලා කළ සංවාදයකිනුයි, පොත හඳුන්වා දුන්නේ.


‘මහින්දෙ තමයි ඉස්කෝලේ!’ පොතේ මුල් පරිච්ෙඡ්දය ලියා තිබුණේ ආනන්ද සමරකෝන් ජාතික ගීය ලියූ හැටි ගැනයි. කලින් අප ආනන්ද සමරකෝන් ගැන තැබූ සටහනට ඌනපූරණයක් ඒ ලිපියෙන් සපයන නිසා මේ සමග ඒ ලිපිය උපුටා දක්වන්න අපට සිතුණා. මෙන්න! සුන්දරගේ සුන්දර වදන්වලින් ම:

”මගේ රැකියාවේ ස්වභාවය අනුව මට නිතර දෙවේලේ නොයෙකුත් උත්සව වලට සහභාගි වීමට සිදු වෙයි. මේ බොහෝ උත්සව අවසානයේ ජාතික ගීය වාදනය කරන විට මගේ කල්පනාවට එන එක දෙයක් තිබේ. ඒ ජාතික ගීය සමග සභාවේ සිටින අනෙකුන්ගේ සිතේ මැවෙන චිත්තරූප මොනවාද කියාය. මගේ සිතේ නම් මැවෙන්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඕල්කට් ශාලාවේ හිඳින ආනන්ද සමරකෝන් මහතා පියානෝව වාදනය කරමින්, අවුරුදු අටේ ළමයින් පිරිසක් සමඟ ඒ ගීය ගායනා කරන සැටිය.

අපේ ජාතික ගීය මුලින්ම කියා ඇත්තේ මහින්ද විදයාලයේ සිසුන් පිරිසක් බව ඉතිහාසයට එක් වී ඇති කාරණයකි.
පසුකලෙක ජාතික ගීය බවට පත් වූ ගීතය තමා රචනා කළ හැටි ගැන එහි නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතා 1951 නොවැම්බර් 25 වැනිදා ‘ඉරිදා ලංකාදීප’ පත‍්‍රයට ලියූ ‘නිදි නැති රාති‍්‍රයක මා කළ ප‍්‍රාර්ථනාව’ නම් විශේෂාංග ලිපියේ සඳහන් කර ඇත්තේ මෙසේය:

”ඉන්දියාවේ හාපුරා සැරිසැරූ දින කිහිපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන් මතකයට නැගීමෙන් පිස්සෙකු වීමි. ඉන්දියාවේ සිට ලංකාව බලා එද්දී ඒ හැඟීම් යළි යළිත් බුර බුරා නැගුණි. ස්වදේශානුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුණු අතර ටී.ඞී. ජයසූරිය මහතා එවැනි ගීතයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. 1940 ඔක්තෝබර් 20වැනිදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇති වූ උදාර සිතුවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාතී‍්‍ර 10ට පමණ සිට පහන් නිවා කළුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේයත අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පදමාලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණ. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීය ප‍්‍රබන්ධ වූ සැටියි.”


සමරකෝන් මහතා කොතැනකවත් සඳහන් කර නැතත් ඔහු ජීවත් වූ පරිසරයේ එනම් මහින්ද විද්‍යාලයේ සෞන්දර්යයද ශෝභමාන ලංකාව පිළිබඳ ඔහුගේ සිතිවිලිවලට අවිඥානකව වුවත් බලපාන්නට ඇතැයි මට නම් සිතෙයි. මහින්දයට පැමිණීමට ඇති මාර්ග හතරෙන්, අලපලාව කන්ද ඔස්සේ වැටුණු මාර්ගයෙන් කන්ද මුදුනට පැමිණි කල මහින්දය පෙනෙන තරම් ලස්සනට දර්ශනය වන වෙනත් පාසලක් රටේ තිබේ නම් ඒ ගැන අප අසා නැත. මා උගත් පාසල ගැන කියන කයිවාරුවක් හැටියට දැනෙන්නට ඉඩ ඇතත්ඳ මහින්දයේ රමණීයත්වය අත්විඳ ඇති කවුරුන් වුවද මගේ කියමනට එකඟතාවය පළ කරමින් හිස වනනවා ඇත. (මගේ පුතා පවා!)

කොළඹ ආනන්ද හා නාලන්ද විද්‍යාල ද්වයේම ඉගෙනීම ලැබූ මගේ පුතා මහින්දයේ ලස්සන ගැන කියන කතා කවදත් අසා සිටියේ සාවඥ සිනාවක් මුවේ රඳවා ගෙනය. ඒ සිය ගමේ නෑදෑයාට ලෝඬේ පෙනුමකට වැඩි යමක් තිබෙන්නේ කෙසේදැයි සිතන නාගරිකයකු මෙනි. ලක්බිම ඉරිදා සංග‍්‍රහයේ කර්තෘ වීමෙන් පසු පාසලේ දී මා පිළිගනු ලැබූ විට පුතාද ඒ උත්සවයට සහභාගි වීම සඳහා ගාලූ යන්නට ආවේය. එදා පළමුවැනි වතාවට මහින්දය දැක එහි මනාස්කාන්ත බවින් වශීවූ ඔහු දැන් මහින්ද ලංකාවේ ලස්සනම පාසල යැයි කියන විට කට ඇද තරන්නේ නැත.

ඒ කෙසේ වුවද සමරකෝන් මහතා කියන හැටියට ගීතය ලියූ දිනයට පසුදා ඔහු එවකට සේවය කළ මහින්ද විද්‍යාලයේ ශිෂ්‍යයන්ට උගන්වා තිබේ. එය මුලින් ම ඉගෙන ගත් පන්තියේ සිටි ඩබ්ලියු. එම්. කල්‍යාණ ද සිල්වාට ලියන ඕනෑම දෙයක් අදාළ දිනය සමග ලියාගැනීමේ පුරුද්දක් තිබුණේය. ඒ පුරුද්ද නිසා අපේ ජාතික ගීය මුලින්ම කියවුණු දවස ගැන සාක්ෂියක් දැන් ඔහු සතුව තිබේ. 2006 පෙබරවාරි 5වැනිදා ලක්බිම ඉරිදා සංග‍්‍රහයට ජාතික ගීය එළි දුටු දිනය ගැන මිහිරි ෆොන්සේකා ලියූ විශේෂාංග ලිපියේදී කල්‍යාණ ද සිල්වා ඒ දවස ගැන මෙසේ කියා තිබේ. ”ඉස්කෝලේ පියානෝව තිබුණේ ඕල්කට් ශාලාවේ. ඒ නිසා අපි සංගීතය ඉගෙන ගන්න ඕල්කට් ශාලාවට යනවා මට මතකයි. අපට එදා සංගීතය උගන්වන්නට ආරිය සිංහල ඇඳුම ඇඳගත් මහත්මයෙක් ආවා. ඒත් මා දැනගෙන හිටියෙ නෑ ඔහු ආනන්ද සමරකෝන් කියලා.

අපේ සංගීත ගුරුතුමා කළුලෑල්ලේ ‘නමෝ නමෝ මාතා’යන ගීතය ලිව්වා. මම මගේ ඇක්සයිස් පොතේ වම් පැත්තේ එදා දිනය සටහන් කරගෙන කළුලෑල්ලේ තිබුණු ගීතය ලියා ගත්තා. ඉන්පසුව සංගීත ගුරුතුමා පියානෝව වාදනය කරමින් අපි ලවා කළුලෑල්ලේ ලියා තිබූ ‘නමෝ නමෝ මාතා’ගීතය ගායනා කෙරෙව්වා.

”‘නමෝ නමෝ මාතා’ ගීතය මගේ පොතේ ලියාගන්න කොට මට තේරුණේ නැහැ කවද හරි මේ ගීය ගායනා කරනවිට මුළු ලෝකෙම ජනතාව ඒකට ආචාර කරමින් නැගිටීවි කියලා. ඒක ආනන්ද සමරකෝන් ගුරුතුමාවත් හිතන්නේ නැතුව ඇති.”

ආනන්ද සමරකෝන් මහතා ජාතික ගීය ලියූ කඩදාසිය ජාතිය සතුව නොමැති බැවින් ජාතික ගීය ලියැවුණු පැරණිම කඩදාසිය දැන් ඇත්තේ කල්‍යාණ ද සිල්වා මහතාගේ ඇක්සයිස් පොතේ යැයි සිතිය හැකිය.
කෙසේ වුවද ආනන්ද සමරකෝන් මහතා ජාතික ගීය ලියූ දිනය හැටියට ‘ඉරිදා ලංකාදීප’ ලිපියේ සඳහන් කරන්නේ 1940 ඔක්තෝබර් 21වැනිදාය. එහෙත් කල්‍යාණ ද සිල්වා කියන හැටියට ඔවුන්ය එය උගන්වා ඇත්තේ 1940 මාර්තු 05වැනිදාය. ඔහු ළඟ ඇති ඇක්සයිස් පොත ඊට සාක්ෂි දරයි.

දැන් රටේ ජාතික ගීය වී ඇති ‘නමෝ නමෝ මාතා’ ගීතය සමරකෝන් මහතා විසින් කල්‍යාණගේ පන්තියේ ළමුන් සමග මුලින් ම ගායනා කර ඇති  ඕල්කට් ශාලාවේ අදාළ ස්ථානයේ දැන් ඒ බව සඳහන් පුවරුවක්ද සවි කර තිබේ.

ජාතික ගීය හාපුරා කියා සිය ඇක්සයිස් පොතේ ලියාගත් කල්‍යාණද සිල්වා 1939 සිට 1950 දක්වා මහින්දයේ උගත් අතර 1949 හා 1950 අවරුදුවලදී ඔහු විද්‍යාලයීය කි‍්‍රකට් කණ්ඩායමටද ඇතුළත් වූයේය. පසුකාලයකදී ඔහු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ පුස්තකලයාධිපතිවරයා විය.

මෙසේ ජාතික ගීය මහින්දයේදී මුලින්ම ගායනා කිරීම අහම්බයක් වුවත්, ඒ වාසනාවන්ත සිද්ධිය තමන්ගේ පාසලේදී සිදුවීම ගැන මහින්දීයයෝ කවුරුත් ආඩම්බර වෙති. ඒ නිසා ජාතික ගීය නුසුදුසුය කියා එය වෙනස් කර වෙනත් ගීතයක් යොදා ගන්නට වරින්වර කෙරෙන යෝජනා ඔවුන්ගේ සතුටට හේතු වන්නේ නැත. එසේ වුවද ජාතික ගීයට වඩා ගැළපේයැයි නිතර දෙවේලේ කියනු ලබන ‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතයට නම් මහින්දීයයන් අකමැති වන්නට හේතුවක් නැත! ඒ සුනිල් ශාන්තයන් ගන මේ ගීතය අරීසෙන් අහුබුදුවන් විසින් ලියා ඇත්තේ ද අහුබුදු මහතා මහින්දයේ ආචාර්යවරයකුව සිටි කාලයේ (1948) බැවිනි.

Post a Comment

1 Comments

  1. //”‘නමෝ නමෝ මාතා’ ගීතය මගේ පොතේ ලියාගන්න කොට මට තේරුණේ නැහැ කවද හරි මේ ගීය ගායනා කරනවිට මුළු ලෝකෙම ජනතාව ඒකට ආචාර කරමින් නැගිටීවි කියලා. ඒක ආනන්ද සමරකෝන් ගුරුතුමාවත් හිතන්නේ නැතුව ඇති.” //

    මේ කොටස කියවනකොට මගේ ඇස් වලට කඳුළු අවා. ඒ මගේ මේ පුංචි රටට තියෙන ආදරය නිසා.

    ReplyDelete