ඇති හැකි, නැති බැරි අය ගල් යුගයේත් හිටියා! වසර 7,000කට පෙර ජන ජීවිතයේ රහස් හෙළිවේ! මිනිසුන් අතර අසමානතාව ඇති වුණේ අපි හිතුවාට වඩා කලින්.

පන්ති භේදය මීට වසර 7,000කට පෙරත් ජනතාව අතර තිබුණු බව අලූත් ම අධ්‍යයනයකින් හෙළිවෙනවා. අපි මෙතෙක් සිතා සිටියාට වඩා බොහෝ කලකට පෙර දුප්පත් පොහොසත් භේදය අප සමාජයේ තිබුණු බව හෙළි වීම එක අතකින් පුදුමයට කරුණක්. මිසර ජාතිකයන් පිරමීඩ තනන්නට බොහෝ කලකට පෙර කි‍්‍රස්තු පූර්ව 5,000දී පමණ යුරෝපයේ ජීවත් වූ මිනිසුන් ‘ඇත්තන්’ හා ‘නැත්තන්’ ලෙස සමාජමය වශයෙන් බෙදී පැවතුණු බව දැන් හෙළිවෙනවා.

මේ තොරතුරු හෙළිදරවු වන්නේ වසර 7,000කට පමණ පෙර, නව පාෂාණ යුගයේ මුල හරියේ මධ්‍යම යුරෝපයේ සමහර ගොවියන්ට හොඳ ඉඩකඩම් හා වගා කිරීමට හොඳ මෙවලම් තිබුණු බව ඔවුන්ගේ සොහොන් බිම්වල කළ කැණීම්වල දීයි. ඒ ගොවීන් සරු බිම්වල වගා කළ අය වූ අතර ගොවිතැන සඳහා ඒ කාලයේ හැටියට නවීන පන්නයේ මෙවලම් භාවිත කළ බව ඔවුන් සමග සොහොන් කර දමා තිබූ උපකරණවලින් හෙළිවෙනවා. ඒ අතර අනෙක් ගොවියන් කුස ගින්නේ සිට ඇති බවද මේ සොහොන් පරීක්ෂා කිරීමේ දී හෙළිදරවු වුණා.

 
මධ්‍යම යුරෝපයෙහි හමු වී ඇති වසර 7,000ක් පමණ පැරණි සොහොන් බිම් විශ්ලේෂණය කිරීමේ දී නව පාෂාණ යුගයේ සමහර ගොවීන්ට අනෙක් සාමාන්‍ය ගොවීන්ට වඩා හොඳ ඉඩම් හා හොඳ මෙවලම් තිබූ බව හෙළි වෙනවා.

ඒ කාලයේ ලෝක ජනගහනය මිලියන පහක් හෝ හතක් අතර ගණනක් වන්නට ඇති. ගොවිතැන යුරෝපයට ව්‍යාප්තවන්නට පටන් ගත්තා විතරය. එදා ඔවුන්ට මුතුන්මිත්තන්ගෙන් උරුම වූ ඒ ධනය වගේ ම ‘ඇති’ ‘නැති’ පරතරය ද ඒ තරම් දුරාතීතයක සිට ම ඔවුන්ට උරුම වී තිබුණේ යැයි කීම එක් අතකින් පුදුමයට කරුණකි.

මධ්‍යම යුරෝපයේ ස්ථාන ගණනාවකින් හමු වූ මිනිස් ඇටසැකිලි 300ක් පමණ අධ්‍යයනය කිරීමෙන් පසු මහාචාර්ය ඇලෙක්ස් බෙන්ට්ලි ප‍්‍රමුඛ අන්තර්ජාතික පර්යේෂකයන් කණ්ඩායමක් විසින් නව පාෂාණ යුගයේ මුල් මිනිසුන්ගේ භූමි පරිභෝජනය පිළිබඳ වෙනස්කම් කීපයක් හෙළිදරවු කර ගෙන තියෙනවා. ඉඩම් උරුමය පිළිබඳ මෙතෙක් හමු වී ඇති පැරණිම සාධක මේවායි. මේ පර්යේෂණ සඳහා ප‍්‍රතිපාදන සපයා ඇත්තේ බි‍්‍රතාන්‍යයේ කලා හා මානව කටයුතු පිළිබඳ කවුන්සිලයයි.

ඔවුන් මේ පර්යේෂණයේ දී ඇටසැකිලි පරීක්ෂාවට යොදා ගෙන ඇත්තේ විකිරණශීලී ‘ස්ට්‍රොන්ටියම් විශ්ලේෂණ’ ක‍්‍රමයක්. ඒ ක‍්‍රමයට කිසිවකු යම් ප‍්‍රදේශයක ඉපදී හැදී වැඩුණාද එසේ නැතිව වෙනත් ප‍්‍රදේශයක ඉපිද ඇටසැකිල්ල හමු වූ ප‍්‍රදේශයට පැමිණියාද කියා නිර්ණය කරන්න පුළුවන්. රේඩියෝ කාබන් දින නිර්ණයේ දී කාබන් ක්ෂයවීම් තමයි, යොදා ගන්නේ කාල නිර්ණයට. එහෙත් මෙහිදී යොදා ගන්නා ක‍්‍රමය ඊට වඩා හුඟාක් සියුම් වෙනස් ක‍්‍රමයක්. මෙහි දී යොදා ගන්නේ ස්ට්‍රොන්ටියම් සමස්ථානිකවල වෙනස්වීම් විමර්ශනයට ලක් කළ හැකි ක‍්‍රමයක්.

 
නව පාෂාණ යුගයට අයත් දිගු නිවාසයක්. වසර 7,000කට පෙරත් සමහර ගොවීන්ට අනෙක් අයට වඩා සුවපහසු නිවෙස් තුබූ බව හෙළි වී තියෙනවා.

නව පාෂාණ යුගයේ මෙවලම් වන දැව රැහීමට, ඔප දැමීමට යොදා ගත් ගල් වෑයන් වැනි ආයුධ සමග මිහිදන් කර ඇති පිරිමින්ගේ විචල්‍ය සමස්ථානික ලක්ෂණ එවැනි උපකරණ රහිත ව මිහිදන් කර තිබූ පිරිමින්ට වඩා අඩු බවයි පෙනී ගියේ. මෙයින් පැහැදිලි වූයේ එවැනි උපකරණ සහිතව වළැලූ අයට ඒ ආසන්නව වඩා හොඳ සරු ඉඩම් හිමිව තිබූ බවයි. උපකරණ රහිත ඇටසැකිලි හමු වූයේ වඩා නිසරු බිම්වලිනුයි.

එංගලන්තයේ බි‍්‍රස්ටල් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය බෙන්ට්ලි කියන්නේ, ”වෑය වැනි මෙවලම් සමඟ මිහිදන් කෙරුණු මිනිසුන් ජීවත් වුණු ප‍්‍රදේශ ගංගා නිම්නවල ලොයෙස් පස සහිත ආහාර වර්ග හොඳින් වැවුණු සරු ඒවා වුණා. එයින් තහවුරු වුණා ඔවුන් හැම විට ම අනිත් මිනිසුනට වඩා එවැනි හොඳ තැන් අල්ලා ගෙන ජීවත්වීමට තරම් ඇති හැකි අය බව.”

ස්ට්‍රොන්ටියම් සමස්ථානික විශ්ලේෂණයන් මගින් හෙළි වී තියෙනවා, මෙතෙක් හමු වී ඇති සිරුර කොටස්වලින්, නව පාෂාණ යුගයේ පිරිමිනට වඩා කාන්තාවන්ගේ ජීවිත ආරම්භ කරන්නට ඇත්තේ ඒවා හමු වූ පරිසරයට වඩා වෙනස් පරිසරවල බව. මෙයින් වඩාත් පැහැදිළි වෙනවා, එකල සමාජය පුරුෂ කේන්ද්‍රීයව සකස් ව තිබූ බව. ඒ නිසා බොහෝ කාන්තාවන් ඔවුන් විවාහ වීමෙන් පසු පිරිමින් ජීවත්වූ පරිසරවල වාසයට ගිය බවත් තහවුරු වෙනවා.

 
වෑයන් සමග මිහිදන් කෙරුණු මිනිසුනට ඒවා නැතිව මිහිදන් කෙරුණු අයට වඩා හොඳ බිම් ලැබුණු බව පෙනී ගියා.

ඇටසැකිලිවලින් ලැබෙන මේ නව සාක්ෂි වෙනත් පුරාවිද්‍යාත්මක, ජානමය, මානව විද්‍යාත්මක කරුණු හා සැසඳෙන අතර නව පාෂාණ යුගයේ පතිකුල වාසය සඳහා කාන්තාවන් යාම පිළිබඳ සාක්ෂි ඒ ඒ භාෂාවන් තුළින් ද දැක ගන්න පුළුවන්. මේ ප‍්‍රතිඵලවලින් පෙනී යනවා, නව පාෂාණ යුගයේ මානව ජනගහනයන් ව්‍යාප්ත වූ ආකාරය ගැන. ලිංගිකත්වය පදනම් කර ගත් චලන රටාවන් හා ඔවුන් අතර ඇති වූ වෙනසකම්වලට බලපෑම් සිදු වූ ආකාරය ගැනත් යම් අදහසක් ගන්න පුළුවන්.

”අපේ පර්යේෂණවල ප‍්‍රතිඵල අනුව, විශේෂයෙන් ම පුරාඋද්භිවිද්‍යාත්මක අධ්‍යයනයන්ට අනුව, පෙනී ගිය දෙයක් නම් නව පාෂාණ යුගයේ ජර්මනියේ පැරණි ගොවීන්ට ඉඩම්වල හිමිකම් ක‍්‍රමයක් පැවති බවයි. ඉඩම්වල අයිතිය ඒ තරම් පැරණි කාලයක්, එනම් නව පාෂාණ යුගය තෙක් දිව යාම විස්මයට කරුණක්.

”නව පාෂාණ යුගයේ ඇතැම් ගොවීන්ට ඔවුන්ගේ දරුවන්ට උරුම කර දිය හැකි වස්තුව (ඉඩම් හා පශු සම්පත්) තිබූ බව මේ විමර්ශනවලින් පෙනී ගොස් තියෙනවා. යුරෝපයේ මේ තත්වය උදා වෙද්දී තමයි, සම්පත් බෙදී යාම නතර වුණේ. ඇතැම් අය තමන්ට වෙන ම ගොඩ ගසන්නට පටන් ගත්තේ. මේ වෙනස ඇති වූ පසු මිනිසාගේ ආපසු හැරීමක් සිදු වුණේ නැහැ. ලෝකඩ යුගය, අයස් යුගය පසු කර කර්මාන්ත යුගය කරා යන විට මේ ඇති නැති පරතරය එන්න එන්නම වර්ධනය වුණා. අපට දැන් පැහැදිලියි, අසාමානත්වයේ ‘බීජ’ වපුරන්නට පටන් ගත්තේ නව පාෂාණ යුගයේ පටන් බව.”

Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න.


1 අදහස්:

IP MAN said...

හොද ලිපියක්

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
Back to Top