HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

බ‍්‍රහස්පතීගේ තවත් චන්ද්‍රයන් දෙකක් සොයා ගනියි! දැන් මුළු චන්ද්‍රයන්ගේ ගණන 67යි!

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට අයත් විශාලතම ග‍්‍රහයා ලෙස සැලකෙන බ‍්‍රහස්පතී වටා තවත් චන්ද්‍රයන් දෙකක් පසුගිය දා සොයා ගනු ලැබුවා. මේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් එක් චන්ද්‍රයකුගේ විෂ්කම්භය කිලෝමීටර් දෙකක් විතරයි. ඒ බ‍්‍රහස්පතීගේ චන්ද්‍රයන් අතර කුඩා ම සාමාජිකයායි. මේ චන්ද්‍රයන් දෙදෙනාත් සමග ඒ වටා භ‍්‍රමණය වන චන්ද්‍රයන්ගේ ගණන 67ක් වෙනවා.

මේ චන්ද්‍රයන් නම් කර ඇත්තේ එස්/2010 ජේ 1 හා එස්/2010 ජේ 2 කියායි. බ‍්‍රහස්පතීට වඩාත් දුරින් පිහිටා ඇති මේවා මුලින් ම හඳුනා ගත්තේ 2010 සැප්තැම්බර් මාසයේදීයි. ඒවා වරින් වර පරීක්ෂා කළ විද්‍යාඥයන් දැන් ඒවා තහවුරු කර ගෙන තියෙනවා.

 
බ‍්‍රහස්පතීගේ අලූත්ම චන්ද්‍රයන් දෙදෙනා වූ එස්/2010 ජේ 1 (කවයෙන් දක්වා ඇති* හා එස්/2010 ජේ 2 මුලින් ම හඳුනා ගත්තේ 2010 සැප්තැම්බරයේදියි.

බ‍්‍රහස්පතීගේ චන්ද්‍රයන් ගණන වැඩි කරමින් සොයා ගත් මේ නව චන්ද්‍රයන්ට සමාන තවත් චන්ද්‍රයන් ගණනාවක් තිබිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.

පෘථිවියේ සිට මේ මෙවැනි චන්ද්‍රයන්ගේ ප‍්‍රමාණයන් නිර්ණය කරන්නේ ඒවායේ දීප්තිය අනුවයි. ඒ අනුව එස්/2010 ජේ 1 චන්ද්‍රයාගේ විෂ්කම්භය කිලෝමීටර් 3ක් ලෙසත්, එස්/2010 ජේ 2 චන්ද්‍රයාගේ විෂ්කම්භය කිලෝමීටර් 2ක් ලෙසත් ඇස්තමේන්තු කර තියෙනවා.

විද්‍යාඥයන් කියන විදියට එස්/2010 ජේ 1 චන්ද්‍රයාගේ ප‍්‍රමාණයේ හා ඊට වැඩි ප‍්‍රමාණයේ චන්ද්‍රයන් සියල්ල ම දැන් හඳුනා ගෙන අවසන්. ඒත් ඊට වඩා කුුඩා තවත් චන්ද්‍රයන්, එනම් විෂ්කම්භය කිලෝමීටර් 1-3ත් අතර චන්ද්‍රයන්, සොයා ගැනීමට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා. අනාගතයේ දී බ‍්‍රහස්පතීගේ චන්ද්‍රයන් ගණන තවත් වැඩි වෙතැයි අපේක්ෂා කරනවා.

මේ ගැන පර්යේෂණ වාර්තාවක් පසුගිය දා ජගත් තාරකා විද්‍යා සඟරාව වූ ඇස්ට්‍රොනොමිකල් ජර්නල්හී පළ කරනු ලැබුවා.

බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මේ පිළිබඳව පර්යේෂණ කරන මයික් ඇලෙක්සැන්ඩර්සන් කියන්නේ, ”සෞර ග‍්‍රහ මණ්ඩලයේ දැනට සොයා ගෙන ඇති කුඩා ම චන්ද්‍රයා වූ එස්/2010 ජේ 2 පෘථිවියේ සිට හසුකර ගන්න ලැබීම ආස්වාදජනක දෙයක්.” කියායි.

එස්/2010 ජේ 1 චන්ද්‍රයා බ‍්‍රහස්පතී ග‍්‍රහයා වටා යන්නේ කිලෝමීටර් මිලියන 23.5ක් පමණ දුරින් ඇති කක්ෂයකයි. ඊට බ‍්‍රහස්පතී වටා වරක් යාමට අවුරුදු 2.02ක් ගත වෙනවා. කිලෝමීටර් මිලියන 21ක් පමණ දුරින් ඇති කක්ෂයක යන එස්/2010 ජේ 2 චන්ද්‍රයාට එක කක්ෂයක් සම්පූර්ණ කිරීමට වසර 1.69ක් ගත වෙනවා.

අක‍්‍රමවත්ව ගමන් කරන මේ චන්ද්‍රයන් බ‍්‍රහස්පතී වටා යන්නේ ‘පොකුරු’ හැටියටයි. ඇතැම් විට සමාන කක්ෂවලයි. ඉතා ඈත කාලයක සිදු වූ වල්ගාතරු හා ග‍්‍රහක බ‍්‍රහස්පතීගේ පැරණි චන්ද්‍රයන් හා ගැටීමෙන් මෙසේ කුඩා චන්ද්‍රයන් බිහි වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙහි පළවන එස්/2010 ජේ 1 චන්ද්‍රයාගේ පිළිබිඹුව සොයා ගෙන ඇත්තේ පැලමෝර් අඟල් 200 හේල් දුරේක්ෂයෙන් නිතිපතා ලැබෙන දත්ත ගොනුවෙන්. ඒ සඳහා මූලිකත්වය ගෙන කි‍්‍රයා කළේ නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ෂන් ලැබොරටරිහී තාරකා විද්‍යාඥයන් වන රොබට් ජේකොබ්සන් හා මරීනා බ්‍රොසොවික් ඇතුළු පිරිසක්. බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා මහාචාර්ය බ්රෙට් ග්ලැඞ්මන් හා ආචාර්ය උපාධි අපේක්ෂක පර්යේෂකයකු වූ ඇලෙක්සැන්ඩර්සන් ද ඊට එක් වුණා.

එස්/2010 ජේ 1 චන්ද්‍රයාගේ පිළිබිඹුව හඳුනා ගෙන ඇත්තේ මීටර් 3.6ක් වූ කැනඩා-ෆ‍්‍රාන්ස්-හවායි දුරේක්ෂයේ ඇති මෙගාකැම් මොසයික් සීසීඞී කැමරාවකින් ගන්නා ලද පිළිබිඹු අතරින්. එම දුරේක්ෂයේ විධායක අධ්‍යක්ෂවරයා හා තවත් අධ්‍යක්ෂවරයකු වූ කි‍්‍රස්ටියන් වෙයිලට්ගේ සහය ඒ සඳහා ලැබුණා.

මෙහි පළ වන එස්/2010 ජේ 2 චන්ද්‍රයාගේ පිළිබිඹුව ලබා ගෙන ඇත්තේ දින කීපයකට උඩ දී පැලමෝර් දුරේක්ෂයෙන්.

Post a Comment

0 Comments