වසර මිලියන 300කට ඉස්සර අහසේ පියෑඹූ යෝධ බත්කූරන්ට මොකද වුණේ?

අද කෘමීන් මේ මිහිමත වෙසෙන ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂයක්. ඒත් වසර මිලියන 300කට පෙර එහෙම නොවෙයි. ඔවුන් දැවැන්ත සතුන් ලෙස අහසේ සැරිසැරුවායි කීවොත් ඔබ පුදුම වෙනවාට සැකයක් නැහැ.
”ඔව්! ඒ කාලේ බත්කූරෙක් පියාපත් විදාහළ විට සෙන්ටි මීටර් 70ක් (අඟල් 28ක්) විතර වෙනවා. ”ප‍්‍රමාණයෙන් කපුටකු විතර ඇති.” ඇමරිකාවේ සැන්ටා කෲස්හී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පේලියෝ ජීව විද්‍යාඥ මැතිව් ක්ලැපම් කියනවා.

අද පළල් ම අත්තටු ඇති කෘමීන් වන්නේ සමනල්ලූ හා ශලබයන් විතරයි. ඔවුන් අතරින් ලොකුම පියාපත් ඇති සමනලයා හෝ ශලබයා සෙන්ටි මීටර් 30ක් (අඩියක්) විතර දිග ඇති.


ප‍්‍රාග් ඓතිහාසික කෘමීන්ගේ ඇදහිය නොහැකි වර්ධනයට හේතුව ඒ කාලේ වායුගෝලයේ ඇති ඔක්සිජන් ප‍්‍රතිශතය 30ක් වීම විය හැකි යැයි මේ විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මෙය සසඳන විට අද මේ ඔක්සිජන් ප‍්‍රතිශතය 21ක්. මේ අතිරේක ඔක්සිජන් ප‍්‍රතිශතය ඒ කෘමීන්ට ලොකු සිරුරු පවත්වා ගෙන යන්නට උපකාර වෙන්න ඇති.

ක්ලැපම් හා තවත් අයකු කළ මේ නව අධ්‍යයනයට වසර මිලියන 320ක කාලයක් තිස්සේ පැවති අත්තටු හා පියාපත් පිළිබඳ කෘමි පොසිල 10,500ක් යොදා ගෙන තියෙනවා.

”වායුගෝලයේ ඔක්සිජන් වැඩි වන විට කෘමීන් ප‍්‍රමාණයෙන් විශාල වුණා. ඔක්සිජන් මට්ටම පහළ යන විට ඔවුන් ප‍්‍රමාණයෙන් කුඩා වුණා.” යැයි පේලියෝ ජීව විද්‍යාඥ ක්ලැපම් කියනවා.

නමුත් මේ තත්වය, වසර මිලියන 150කට පමණ පෙර, ජුරාසික යුගයේ දී ඩයිනොසෝරයන් සමග මුල්ම කුරුල්ලන් බිහි වෙද්දී වෙනස් වුණා. කුරුල්ලන් අහස් කුස සරන්නට පටන් ගත් කාලයේ දී තටු ඇති කෘමීන්ගේ විශාල වීම නතර වුණා. ඔක්සිජන් මට්ටම වැඩි වුණත් ඔවුන්ගේ විශාල වීම තවදුරටත් සිදුවුණේ නැහැ.

”මෙහිදී අපේ තර්කය වන්නේ කෘමීන්ගේ සිරුරු ප‍්‍රමාණය තීරණය කරන්න ඔක්සිජන් වැදගත් වූවාය යන්නයි. ඒත් කුරුල්ලන් පරිණාමය වූවාට පසු ඔවුන් තමයි, බලවත් සාධකයක් වුණේ කෘමීන්ගේ සිරුරේ ප‍්‍රමාණය තීරණය කරන.” ක්ලැපම් කියනවා.

මේ යෝධ කෘමීන් කුරුල්ලන්ගේ ගොදුරු බවට පත් වුණාද? ක්ලැපම් කියන්නේ, ” ඕනෑම පියාසර කරන සතකුගේ සිරුරේ ප‍්‍රමාණය බලපානවා අහසේ හොඳින් පියාසර කිරීමට. ලොකු සතුනට වඩා හොඳින් පියාසර කරන්න පුළුවන් කුඩා සිරුරු ඇති සතුනට.” කියායි.

තවත් විදියකින් කියනවා නම් ලොකු කෘමීන් ගොදුරු කර ගන්නන්ගේ පහසු ඉලක්ක වුණා. එක්කෝ කුරුල්ලන් ඒ ලොකු කෘමීන්ගේ ආහාරය ඔවුන්ට අහිමි කරන්න ඇති.

”බත්කූරන් විලෝපිකයන්. ඔවුන් ආහාරයට ගන්නේ කුඩා කෘමි සතුන්. සමහර විට කුරුල්ලන්ට හා බත්කූරන්ට එක ම ගොදුරුවලට තරග වදින්න සිද්ධ වෙන්න ඇති.”

මෙහිදී කුහුල දනවන දෙයක් වන්නේ පියෑඹූ උරගයන් වන ටෙරෝසෝරසයන් කුරුල්ලන්ට කලින් බිහිවුවද මේ බත්කූරන් ආහාරයට ගත් බවට සාධක තිබීමයි. ඔවුන්ගෙන් කෘමීන් සිරුරුවල ප‍්‍රමාණයට බලපෑමක් වුණේ නැහැ.


” ටෙරෝසෝරසයන් පරිණාමය වුණාට පස්සෙ කෘමියාගේ ප‍්‍රමාණය ඔක්සිජන් මට්ටම අනුව එතරම් වෙනසක් වුණේ නැහැ. මං හිතන්නේ ටෙරෝසෝරසයන්ට කුරුල්ලන් තරම් හොඳට කඩිසරව අහසේ සරන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ.” ක්ලැපම් කියනවා.
මේ නව අධ්‍යයනයෙන් මතු වූ එක් වැදගත් කරුණක් වන්නේ කුරුල්ලන් නොඑන්නට නව ලොව කෘමීන් මීට වඩා ප‍්‍රමාණයෙන් විශාල වන්නට ඉඩ තිබුණා.

”සමහර විට අද සිටින ලොකු ම කෘමීන් දැන් සිටිනවාට වඩා තුන් ගුණයකින් විශාල වන්නට ඉඩ තිබුණා. ඔක්සිජන් මට්ටම සලකන විට. මෙයින් අදහස් කරන්නේ නැහැ අද ඉන්නා හැම කෘමියෙක් ම දැනට ඉන්නා ප‍්‍රමාණයට වඩා තුන් ගුණයකින් විශාල විය යුතුයි කියා. ඒත් සුළු ප‍්‍රමාණයකින් හෝ වැඩි විය යුතුයි” ක්ලැපම් තවදුරටත් කියනවා.

මේ කෘමීන් හා කුරුල්ලන් පිළිබඳ පර්යේෂණය ළඟදීම ඇමරිකානු ජාතික ඇකඩමියේ විශේෂ සැසිවාරයක දී එළි දක්වන්නයි ඒ විද්‍යාඥ පිරිස බලාපොරොත්තු වෙන් ඉන්නෙ.

Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

3 Comments

  1. මේ පිලිබදව මම දැනගෙන හීටියේ නැහැ.හොද ලිපියක්!ස්තුතියි!

    ReplyDelete
  2. ඉතා වැදගත් ලිපියක්

    ReplyDelete
  3. ඉතා වැදගත් ලිපියක්

    ReplyDelete