ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහිවූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය


මීට වසර පන්දහසකට පමණ පෙර ආසියාවේ පැවති ලොව පැරණිතම ශිෂ්ටාචාරයක් පිළිබඳ තොරතුරු බිඳක් මෙම ලිපියෙන් ඉදිරිපත් කරමු. මේ ශිෂ්ටාචාරය හැඳින්වෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියායි. මෙය ටිබෙට් දේශයේ සිට කාෂ්මීරය ඔස්සේ පාකිස්තානය හරහා අරාබි මුහුදට ගලන ඉන්දු ගඟ ආශි‍්‍රතව බිහි වූවකි.


කි‍්‍ර.පූ. 2700 සහ 1750 අතර කාලයේ සාර්ථක ලෙස දියුණුවෙන් දියුණුවට පත්වෙමින් පැවති මෙම ඉපැරණි ශිෂ්ටාචාරය ගොඩ නැඟුණේ මොහෙන්ජොදාරෝ සහ හරප්පා නම් නගර ආශ‍්‍රිතවයි. මෙම එක් නගරයක පමණක් ජනගහනය 40,000 ක් වූ බව සඳහන් ය. මෙම නගරවල ඉදිකර තිබූ මැටි ගඩොලින් තැනුණු සුවිසල් මැඳුරු හා ගොඩනැගිලිවලින් නගරයේ සශ‍්‍රීකත්වය මැනෙවින් පිළිබිඹු විණි. මේ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී ඇත්තේ වර්තමාන පාකිස්තානයට අයත් ප‍්‍රදේශවලින් මතු කර ගත් මෙම නගරවල නටබුන්වලිනි. ඒ නටබුන්වලින් ලැබුණු පුරාවස්තු අද පාකිස්තානයේ කෞතුකාගාරවල දැක ගත හැකියි.


මෙසපොටේමියානු, සුමේරියානු හා මිසර වැනි ප‍්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාර සමග සම තත්වයෙහිලා සැලකිය හැකි මෙම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව මුලින් ම හෙළි කර ගනු ලැබුවේ 1856 වර්ෂයේ දීය. සියවස් එක හමාරක් තිස්සේ කරන ලද සොයා ගැනීම් අනුව එම ශිෂ්ටාචාරයේ එදිනෙදා දිවි පැවැත්ම ගැන ද අපට යම් යම් කරුණු හෙළි කර ගත හැකි වී තිබේ. ඒ අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වැසියන් සුමේරියානුවන් සමඟ වෙළඳ ගනුදෙනු කර තිබේ. මෙම ශිෂ්ටාචාරයට අයත් නටබුන් ඉන්දු නිම්නයෙන් පිටතට ප‍්‍රදේශවලින් ද සොයා ගෙන ඇති නිසා මෙම ශිෂ්ටාචාරය, ‘ඉන්දු නිම්න ශිෂ්ටාචාරය’ යනුවෙන් හඳුන්වනවාට වඩා ‘හරප්පා ශිෂ්ටාචාරය’ යනුවෙන් හැඳින්වීම වඩා උචිත යැයි පුරාවිද්‍යාඥයෝ කියති. ඉතා සාර්ථකව පැවති මෙම ශිෂ්ටාචාරය ක‍්‍රි.පූ. 1750 දී හිටිහැටියේ හදිසියේම හා අබිරහස් අයුරින් පරිහානියට පත්විණි. පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් ප‍්‍රකාශ කරනුයේ ආක‍්‍රමණ හා ඉන්දු ගංගාවේ ගමන් මඟ වෙනස් වීම මීට හේතු සාධක වූ බවයි.

කි‍්‍ර.පූ. 2300 දී පමණ පාරාවෝ මිසරයේ රජකම් කරද්දී, මහා සෙරගොන් සුමර්හි රජකම් කරද්දී තවත් ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ලෙස ඉන්දු ගංගාව ආශි‍්‍රත නිම්නයේ බිහිවීම ඇරඹුණි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියා හැඳින්වෙන මේ ශිෂ්ටාචාරය බිහිවුණේද මෙසපොටේමියානු ශිෂ්ටාචාරය ආරම්භ වූ අයුරිනි. සාරවත් ගංගා නිම්නයේ ඇරඹුණු කෘෂිකාර්මීක කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වෙද්දී නගරවල ජීවිතයට අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය නිපදවීමට හැකිවිණි. වෙළඳ කටයුතුවල කේන්ද්‍රස්ථානය බවට පත් වූයේ මේ නගර ය. වෙළඳ ගනුදෙනු මෙපොටේමියාව හරහා ඩිල්මන් (වර්තමානයේ බහරේනය) දක්වා පැවැතිණි.

මොහෙන්ජො-දාරෝ සහ හරප්පා
මේ වන විට ඉන්දු ගංගා නිම්නය ආශි‍්‍රතව පැවති ශ්‍රේෂ්ඨ නගර දෙකක පුරා විද්‍යා සාක්ෂි හමුවී තිබේ. ඒවා නම් මොහෙන්ජෝදාරෝ සහ හරප්පා යන නගරයි. මැටි ගඩොල්වලින් ඉදි කළ ගොඩනැගිලිවලට අමතරව නගරවල පුළුල්ව, ඉතා හොඳින් සැකසූ මංමාවත් දකින්න හැකිවිණි. මෙම මාර්ග නියමිත කොන්වලින් එකිනෙක හමුවන අයුරින් ඉදිකර තිබූ අතර නගරයේ කොටස් මෙම මාර්ගවලින් සමචතුරස‍්‍රාකාර කොටස්වලට වෙන් විණි.


නගර නිවාස වර්ග දෙකකින් නිර්මාණය කර තිබිණි. එයින් නිරූපණය වී ඇත්තේ සමාජ පංති දෙකකි. සමහර නිවාස විශාලයි. මනා නිමාවෙන් යුක්තයි. පිරිසිදුකම අතින් මෙම නිවාසවලට සමාන කළ හැකි වෙනත් නිවාස පැරණි ලොවේ නොතිබිණි. මේ නිවාස ධනවත් වෙළඳුන්ට අයත්ව තිබෙන්න ඇත. අනෙක් නිවාස මුඩුක්කු මෙනි. ඒවා වෙළඳසල් සහ වෙනත් රැකියා ස්ථානවලට යාබදව එකගොඬේ ඉදිකර තිබේ. මේ නිවාස අඳගොවීන්ට සහ අත්කම් නිර්මාණකරුවන්ගේ විය හැකියැයි අනුමාන කෙරේ.




බර අනුව සිදුවූ කිරුම් මිනුම්
බොහෝ පුරාණ ශිෂ්ටාචාරවල වැසියන් මෙන්ම ඉන්දු නිම්න වැසියන් ද බර අනුව මිනුම් පද්ධතියක් සකස් කරගෙන තිබිණි. මේ අනුව වෙළඳ කටයුතු පහසුවක් විණි. ඒ අනුව බඩු බාහිරාදියෙන් බදු අය කිරීම පහසුවක් විණි.

ශිලා ලේඛන සහ මුද්‍රා
මේ නගරවල පැරණි නටබුන් අතර තිබී පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති ගල්පුවරුවල යම් යම් දේ කොටා තිබේ. ශිලා මුද්‍රා ලෙස හැඳින්වෙන ඒවායෙහි වෙනත් ඉපැරණි අක්ෂරවලට සමාන ලේඛන දක්නට ලැබේ. ඒවා ඉතා කෙටි වීම නිසා වෙනත් ශිලා ලේඛනවල හමු වී ඇති අක්ෂර මෙන් කියවීමට අසීරුය. ඒ කෙටි සංකේතවලින් කියවෙන්නේ කුමක්දැයි තවමත් හෙළි කර ගෙන නැත. මේ ශිෂ්ටාචාරයට අයත් වැසියන් මේ ශිලා මුද්‍රා භාවිත කළේ තම අයිතිය තහවුරු කිරීමටය. මේ සෑම ශිලා මුද්‍රාවකම සතකුගේ කුඩා අනුරුවක් සමග කෙටි සංකේතයක් කොටා තිබුණේය.

 
සත්ව රුවක් සහිත ශිලා මුද්‍රාවක්.



ඉන්දු වැසියන්ගේ ආගම්
ඉන්දු නිම්න වැසියන් ඇදහූ ආගම් ගැන දැනගන්න ලැබී ඇති විස්තර ඉතා අල්පය. කෙසේ වෙතත් ඔවුන් ජලයේ වැදගත්කම තේරුම් ගනිමින් ජලය දේවත්වයෙන් ලා සැළකීම සිදු කළ බව මොහෙන්ජෝදාරෝ නගරයේ ඉදි කළ ස්නාන ගොඩනැගිලිවලින් පෙනී යයි. මේ නිසා ඉන්දු නිම්න වැසියන් හින්දු ආගමට මුල් වූ පැරණි විශ්වාසයන් ඇතිව සිටි බව හෙළිවන්නේ යැයි කීමට බොහෝ විද්වත්තු පෙලඹෙති. හින්දු දේවරූපවලට සමාන දෙවි දේවතාවුන් නියෝජනය කරන පිළිම ගණනාවක් ද පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගෙන ඇත.

> 
ශිව දෙවියන්ගේ යැයි සලකෙන මුද්‍රාවක්.


ඉන්දු නිම්න වැසියන්ගේ නිර්මාණ
ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වැසියෝ මැටි කර්මාන්තයෙහි නිපුණයන් වූහ. එපමණක් නොව අති දක්ෂ කම්මල්කරුවො ද් වූහ. ඉතා අලංකාර ලෝහ සහ මැටි පිළිම, රන් ආභරණ ඔවුන් නිපද වූහ. ඔවුහු තඹ සහ ටින් ලෝහ මිශ‍්‍ර කරමින් ලෝකඩ නිර්මාණය කර ගැනීමට ඉගෙන ගෙන සිටියහ.

 
ඉන්දු නිම්න වැසියන් විසින් නිර්මිත රජ හෝ පුජක වරයකුගේ පිළිරුවක්

 
නර්තනයේ යෙදෙන ස්ත්‍රී රූපයක්.



ද ඒන්ෂන්ට් වර්ල්ඞ් සහ
ඞී.කේ. ෆැමිලි එන්සයික්ලොපීඩියා ඇසුරින්



Sinhala Samanartha Pada Koshaya

Buy Sinhala Samanartha Pada Koshaya Book

Nasrudin Books

Buy Nasrudin Books

Zen Book

Buy Zen Book

Post a Comment

2 Comments

  1. ඉස්කෝලෙදි ඉතිහාසය පාඩමේ ඉගෙන ගත්තට පස්සේ මේ ගැන වැදගත් තොරතුරු ටිකක් දැන ගත්තේ..

    ReplyDelete
  2. indu nimnaye pradana agama maw dewagana pidima neda

    ReplyDelete